කළුකුමාරයා කාන්තාවන්ගේ මුළු ජීවිතයම කණපිට හරවනවාද?

මැයි 13, 2022

 

 

අද ලියන්න යන්නේ, කාන්තාවන්ගේ මුළු ජීවිතයම පවා කණපිට හරවන්නට හේතු වන දෝෂයක් ගැනයි. මම එලෙස කියන්නේ මෙම දෝෂය මඟින් අධ්‍යාපනය, ආදරය, විවාහය හා බැඳුණු සියලුම කටයුතු අඩපණ කරවන්නට සමත් වන නිසයි. කළු කුමාරයා එසේත් නැතිනම් කළු යක්ෂ දෘෂ්ටිය කියලත් මෙය හඳුන්වන්න පුළුවන්. මෙම කළුකුමාරයා කියන වචනයට බොහෝ කාන්තාවන් බියක් දක්වනවා.

 

සාමාන්‍යයෙන් මේ කළු කුමාරයා කියන්නේ, භූත ආත්මයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ගැහැනු දරුවා මල්වරවීමත් සමඟ මෙම දෘෂ්ටියට ලක් වීම සිදු වෙන බව පැවසෙනවා. මල්වරය සමඟ සිදුවන රුධිර වහනයත් සමඟ මෙය සිදුවන බවත් එලෙසම මෙයට රිරී යක්ෂයාගේ බලපෑමකුත් එල්ල වන බවටත් හේතු සාධක පවතිනවා. ඒ මෙම සංසිද්ධියට රුධිරය සම්බන්ධවන නිසාවෙන්. කළු කුමාරයා මල්වරයත් සමඟම වැඩිවිය පැමිණි දැරියන්ගේ ඔසප් චක්‍රය ආරම්භයේ සිට අවසානය දක්වාම ගැහැනු දරුවන් වටා ජීවත් වෙන බව පැවසෙනවා. වයස අවුරුදු 14දී මල්වර වූවා නම්, අවුරුදු 55දී ඔසප් චක්‍රය අවසන් වන්නේ නම්, ඒ වනතුරුම කළු කුමාරයා කාන්තාවන් සමඟ සිටින බව පැවසෙනවා. බොහෝ විට මෙය සිදුවන්නේ, මල්වරය සිදු වූ දිනයේ ඇය තනිවීම මතය. නැතිනම් තුන්මංසලක දී, පාලු තැන දී, වතුර කඩිතිවලදී, පාලු පාරකදී වගේ තැනකදී මෙය සිදුවීම මත ඔවුන්ට එම බලපෑම එල්ල වෙනවා. විශේෂයෙන් පැරණි කියමනක් තිබෙනවා ගොම්මන් වෙලාවට පු‍ළුටු වර්ග කකා, රතු පාට, කලු පාට ඇදුම් ඇඳගෙන එහෙ මෙහෙ තනි පන්ගලමේ යන්න එපා කියලා. එලෙස කියන්නේ මේ නිසයි.

මෙහිදී ගැහැනු දරුවාට බොහෝ විපත්වලට මුහුණ පෑමට සිදුවෙයි. ඉන් කිහිපයක් අතර ආදර සම්බන්ධතා බිඳවැටීම, පිරිමි පුද්ගලයන් නොරුස්නා ගතිය, ගබ්සා වීම්, ඔසප් වන දිනයේ අධික රුධිරයක් පිටවීම, ඔසප්වීම දින ගණනාවක්ම ක්‍රියාත්මක වීම, අධික වේදනාවක් දැනීම වැනි කරුණු මූලික වෙයි. එය බොහෝ දුරට මුල් අවස්ථාවේ සිදුවන සිදුවීම්ය. ඒ වගේම විවාහය දිනෙන් දින ප්‍රමාද වීම ද මෙයට මුල් වේ. මෙහිදී වටහා ගන්න අවශ්‍ය තවත් කරුණක් තමා විවාහය ප්‍රමාද වන සියලුම දෙනාට මෙම දෝෂය ඇතැයි යන්න නොසිතිය යුතු බව. මන්ද වෙන වෙන ග්‍රහපිහිටිම්වල බලපෑම නිසාත් එය සිදුවන්නට හැකියාව පවතිනවා.

ඒ වගේම තමයි බොහෝ ගැහැනු දරුවන්හට මෙම කළුකුමාර බලපෑම තිබුණත් එය පවසන්නට නොයෑම. තමාගේම සිතේ සඟවාගෙන හිත යටින් දුක් විදීම මෙවැනි ගැහැනු දරුවන්ගෙන් දැකිය හැකි ලක්ෂණයක්. එසේ කරන්නේ, මෙය අප සමාජය විසින් පිළිකුල් සහගත තත්ත්වයකට ඇද දමා ඇති බැවි‍ණි. මන්ද කළු කුමාර දෝෂය තිබෙනවා යැයි පැවැසූ විට එම යුවතිය දෙස වෙනත් අය‍ අමුතු විදියෙන් බලන නිසයි. සමාජයේ වුවත් පිළිකුල් සහගතව ඇයව කොන් කිරීමකට ලක් කරනවා. එහෙත් සමාජය විසින් එලෙස සිදු කිරීමෙන් වැළකිය යුතුයි. මෙය තවත් අයකුට බෝවන ලෙඩක් හෝ වසංගත ලෙඩක් හෝ අනවශ්‍ය ලිංගික එක්වීමෙන් සෑදෙන රෝගයක් හෝ නොවෙයි. එමනිසා එවැනි තරුණියන්ව කොන් කිරීමෙන් වැළකීම සමාජයේ වගකීමක් වෙනවා. එසේ නොවුණ හොත් අවසානයේ මෙවැනි යුවතියන් මානසික රෝගී බවට පත් වී සිය දිවි නසාගැනීමට පවා යොමුවෙන්න පුළුවන්.

ඒ වගේම, මෙහිදී තමන්ගෙ රෑ නිදි යහනට සිහිනයෙන් හෝ අඩ නින්දෙන් කළු පූසො කළු බළල්ලු වගේම කළු පාට මිනිසකු ගොඩ වෙනවා වගේ දැනෙන්න පුළුවන්. මෙය කළුකුමාර දෝෂයේ මූලික ලක්ෂණයන් වෙනවා. මුල් අවස්ථාවේ එලෙස සිදු වීමෙන් අනතුරුව ඇය සමඟ ආදර සම්බන්ධතා පවත්වන අයව පළමුව ඇගෙන් ඈත් කිරීම සිදු කරනවා. ඈත් කර ඇයව මානසිකව වට්ටා ඇය වෙත කළු කුමාර යක්ෂයා ඇතුළු වී ඇයට ආදරය කරන්නට පටන් ගන්නවා. පසුව ඇයත් එලෙසම ආදරය කරන්නට පටන් ගන්නේ ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගෙයි. කරකියා ගැනීමට දෙයක් නොමැති නිසාවෙන්,අවසානයේ මෙවැනි යුවතියන්ගේ දිනෙන් දින විවාහය පවා මේ නිසා ප්‍රමාද වෙනවා.

විවාහක කාන්තාවන්ටත් මෙය බලපානවා ද? ඒ ගැනත් මම මේ සිදුවීමකට මුහුණු දුන් කාන්තාවකගෙන් උදාහරණයක් පවසන්නම්. විවාහයේ දී තමාගේ ස්වාමියා නැති වෙලාවට ඇය සිහිනයෙන් වගේම තමාගේ සිතිවිලිවලින් පුරුෂයා නැති පාළුව කාන්සිය ගැන සිතමින් සිටින විට මෙම දෝෂය ඇතුළු වෙන්න පුළුවන්. එමඟින් කළුකුමාර යක්ෂයා ඇගේ තනිකම මකන්නට සිරුරට ඇතුළු වෙනවා. අවසානයේ මෙය බොහෝ දුර දිග යෑමට හැකියි. ඉන් පසු කළුකුමාර යක්ෂයා සමඟ මනසින් දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් තමාගේ ස්වාමියා සමඟ එක්වීම පවා ඇයට නීරස වෙයි. එසේ වන්නේ ඇයි? එයට හේතුව මනසින් සිදුවන ප්‍රතික්‍රියායි. එමනිසා ඇය තම ස්වාමියා ගෙන් දුරස් වේ. එවිට බොහෝ විට ඇයට වෙන සම්බන්ධතා ඇති බවට ස්වාමියා හිතන්නට වෙනවා. එනිසා ඇයත් සමඟ මේ කරුණ පදනම් කරගෙන විවාහයේ දී ඇන කොටා ගන්නවා. එවැනි සිදුවීම් අනන්තවත් මේ සමාජය තුළ සිදුවෙනවා. එම අවස්ථාවේ දී කාන්තාව ඉතාම අසරණ භාවයට පැමිණිම සිදුවෙනවා.

පසුව එම කාන්තාව කළුකුමාර යක්ෂයා සමඟ එක්වීමට බොහෝ ප්‍රිය කරන තත්ත්වයට පත් වෙනවා. මොකද ඇයට කළු කුමාරයාගෙන් උපරිම තෘප්තියක් ලැබෙන නිසා. මෙහි ප්‍රතිඵලය වන්නේ, අවසානයේ ඇය කල්පනා කිරීමයි. මෙය දිගින් දිගටම සිදුවන විට ඇගේ ශරීරය ක්ෂය වී යාමයි. මොකද ඇය නොදැනුවත්වම ඇ‍ගේ ශරීරයේ ලේ ටික විනාශ වී ඇගේ ශරීරය අඩපණ වෙයි. මෙම අවස්ථාවන් වලදී පවුල් විනාශ වී දරුපල පවා අහිමි කරයි. තවකරුණක් කියන්නත් අව‍ශ්‍යයි. දරුපල නෑ කියලා, ප්‍රමාදයි කියලා එම දෝෂය ම තියෙනවා කියා සිතීම නොකළ යුතුයි. මන්ද වෙනත් හේතු නිසාත් දරුපල ගැටලු ඇතිවෙන්නත් පුළුවන් නිසා.

ඔබේ හඳහන තුළින් මෙම කළුකුමාර දෝෂය අත්දැයි බලාගනිමු.

ඔබේ කේන්දරයේ කුජ ග්‍රහයා කුමන ආකාරයකින් හෝ පීඩා වී ඇත්නම් මේ සඳහා යොමු වීමට අවදානම පවතී.

ඒ වගේම කුජ - ශනි යෝගය වගේම පාප දෘෂ්ටි වැටෙනවා නම්

කුජට, ශනිගේ දෘෂ්ටි වැටෙනවා නම්, කුජ රාහු යෝගය සමඟ පාප දෘෂ්ටි වැටෙනවා නම් සහ ඉන්න රාශිය අනුව ස්වහාවය මත තීරණය වේ.

එලෙසම 22 දෙර්කාණාධිපති කුජ වීම සහ පාප දෘෂ්ටි වැටීම.

කුජ නීචව සතුරු ව රාශියක සිටිනවා නම්,වැනි කරුණු මත මේ පිළිබදව ව සොයා බලන්න පුළුවන්.

කළුකුමාර දෝෂය පිළිබඳ සමාජය සැලකිළිමත් විය යුතු කරුණු -

01. ඔබ කළුකුමාර දෝෂයට ලක් වී ඇති බව දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ වැඩිහිටියන්ට, ඔබේ ස්වාමියාට ඒ බව පවසන්න.

02. එවැනි අය පිළිකුල් කිරීමෙන් වළකින්න. මන්ද මෙය රෝගයක් නොවන නිසා. ඒ අයට උදව් කරන්න.

03. මෙම දෝෂය අනිවාර්යයෙන්ම තමාගෙන් ඉවත් කරන්න පුළුවන් බැවින් ඒ සඳහා පිළියම් කරගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.