යුග දිවිය ගිනි තියන මරු කැඳවන අනාවැකි

මැයි 20, 2022

පාඨකයින්ගෙන් ලැබෙන ලිපි සහ විද්‍යුත් මාධ්‍යය හරහා (තෙවැනි ඇසින්) බලන විටදී අත්දැකීම් සමූහයක්ම ලබා ගැනීමට හැකි වී ඇත. මෙම ලිපි හා විද්‍යුත් සටහන් කියවා බැලීමේදී ඇතැම් අය ඡ්‍යොතිෂ සිද්ධාන්ත කනපිට හරවා ඒ අනුව ක්‍රියාකරන බව පැහැදිලි වන්නේය.

37 හැවිරිදි කාන්තාවක් ලියා ඇත්තේ මා දරු දෙදෙනෙක් සිටින ඉතාම දයාබර සැමියෙක් ද සිටින මවකි. මගේ සැමියා මට ආදරයෙන් ලෙන්ගතුකමෙන් පිරිපුන්ය. පංච මාතාවක් ලෙස සලකයි.

මම විවාහ වීමට පෙර ප්‍රසිද්ධ ඡ්‍යොතිෂවේදියකු මගේ කේන්දරය බලා මගේ පළමු විවාහය අසාර්ථකවන බවත් දෙවැනි විවාහයකට යන බවත් සඳහන් කරන ලදී.

මට අදත් වරින්වර ඒ අනාවැකිය සිහිපත් වෙනවා. වත්මන් විවාහය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් සැක සංකාවක් නැතිමුත් අර ඡ්‍යොතිෂවේදියා පලකරන ලද අනාවැකිය ගැන මට මහත් බියක් දැනෙනවා. මට දැන් මේ ගැන මොනවා කරන්ටදැයි සිතෙනවා. මේ හා සමාන ලිපි විශාල සංඛ්‍යාවක් යොමුවන බැව් දක්වමු. කේන්දරයක එක් ග්‍රහ පිහිටීමක් ගැන පමණක් බලා මෙවැනි බියකරු අනාවැකි පැවසීම කෙනකු නොමරා මැරීමකි. අඟල් තුනක දිවකින් අඩි හයක කෙනෙකු මරා දැමිය හැක යන්න කියමන් තිබේ.

මෙවැනි අනාවැකි නිසා අපේ රටේ කීදෙනෙක් අසහනයට පත්වී ඇද්ද? උගත් නූගත් දෙපක්ෂයම මෙවැනි බියකරු අනාවැකිවලින් මානසිකව ඇද වැටී සිටීම ඇත්තකි.

එපමණක් නොව කුළුදුලේ දරුවා මිය යන බව ද පවසා අනාවැකි ප්‍රකාශ කර තිබේ. මොන තරම් අපරාධයක් ද? කේන්දරයක් අතපතගාමින් එවැනි පුහු අනාවැකි කියා මුදල් සාක්කුවේ දමා ගැනීම අපායට පාර පෙන්වන්නකි.

රාහු, කේතු,ශනි, කුජ ආදි ග්‍රහයන් 2- 7.8 යන භාවයන්හි සිටි තරමින් යුගදිවිය අසාර්ථක වීමක් හෝ දෙදරා යාමක් හැම විටම සිදුවේද? ගුරු සිකුරු වැනි සුබ යැයි සලකන ග්‍රහයින්ගෙන් පවා එකී තැන්වලදී විවාහය දෙදරා ගොස් ඇති අවස්ථා එමටයි.

ලැබෙන සහකරු සැර පරුෂ හිංසාකාරි අයෙක් විවිධ කායික මානසික වද හිංසාවලට ලක් වෙනු ඇතැයිද යන්න තවත් අනාවැකියකි. මෙයට බියෙන් පසුවන බිරින්දෑවරුන් අපමණයි.

ශ්‍රී ලාංකීය සමාජයේ විවාහ දිවි අසාර්ථක වී ඇත්තේ අඹු සැමි ප්‍රශ්නවලට වඩා ඔවුන් හා බැඳී සිටින මවුපිය සහෝදර සහෝදරියන් ඇතුළු පවුල්වල සාමාජිකයින්ගේ විවිධ බලපෑම් මත යැයි මනාව හෙළි වී තිබේ.

මගේ සැමියා ඉතාම යහපත්ය. ඔහුගෙන් මට කිසිදු වරදක් නැත. අපි දෙන්නාට එක වහලක් යට හොඳින් ජීවත්වීමට ඉඩ නොදෙන්නේ සැමියාගේ පවුලේ අයයි. මෙසේ මැසිවිලි නඟන බිරින්දෑවරුන් කොතෙකුත් සිටී. දෙපක්ෂයට තමන්ගේ පාඩුවේ සාර්ථක යුගදිවි ගෙවන අයට හිරිහැර කරන පවුලේ සහෝදරියන්ද මේ අතර වේ. නංගී විවාහ වී අක්කා පැදුරටම නාකි වන විටදී එයා සමඟ එක ගෙයක් තුළ අඹුසැමියන් දෙදෙනා ජීවත් වන්නේ කෙසේද?

කුජ හෝ රාහු 2 හෝ 8 හිත් එසේ නැත්නම් ශනි කේතු 8 සිටි පමණින් හෝ වෙනත් ග්‍රහ පිහිටීමක් නිසා දරු ප්‍රසූතියට බාධාවක් නොවී පහසු අන්දමට දාරක සම්පත් හිමිකර ගත් අය ඕනෑතරම් සිටී.

විවිධ අන්දමේ රෝගාබාධ ගර්භාෂගත ව්‍යාධි නිසා විවාහ ජීවිත කඩා වැටුණු අවස්ථා ද නැත්තේම නොවේ.

ලෙඩ රෝග, ආර්ථික දුබලතා, රැකියා, සතුරු කරදර, යක්ෂ, පේ‍්‍රත, අමනුෂ්‍ය දෝෂ ගැන පල කොට ඇති අනාවැකි නිසා බියට පත් අය ද බොහෝය. කේන්දරය හෝ අතබලා අනාවැකි කියන විට ද හොඳ සිහි බුද්ධියෙන් ඇසිය යුතුවේ.

කේන්දරයක පිහිටා ඇති අසුබ යැයි සම්මත ග්‍රහ පිහිටීමක් නිසා ප්‍රශ්නවලින් මඟහැර යෑම බුද්ධිමත් නොවේ. ඊට විකල්ප මාර්ගයක් සොයා ගෙන සාර්ථක ජීවිතයක් ගොඩනඟා ගැනීමට උපක්‍රමශීලිවිය යුතුයි.

ඡ්‍යොතිෂය යනු මිනිසා ප්‍රශ්න හමුවේ හිරකර තැබීම නොව එකී ගැටලු විසඳා ගැනීමට නියම මඟ පෙන්වන ගැඹුරු ශාස්ත්‍රීය ක්‍රමවේදයකි.

ග්‍රහයින් නව දෙනෙකුගෙන් මෙවැනි සාමාජීය අපරාධ කරන්නේනම් තව ග්‍රහයින් වැඩි දෙනෙක් සිටියා නම් වෙන්නේ කුමක්ද යන්න පැහැදිලිය. සැමියා හෝ බිරිඳගෙන් එක් අයෙකු විදේශ ගතවී සිටීම හරහා යුගදිවියේ ඇතුළු පැත්ත ගිනිගෙන ඇති බවක් ද සමහර විට පෙනේ. අළුතින් විවාහ වී දින කිහිපයක් හෝ මසකින් පමණ විදේශ ගත රැකියාවකට යන සැමියා හෝ බිරිඳ සියලුම දෙනා නොව සමහර පිරිසක් අනියම් සබඳතා ගොඩනඟා ගැනීම හරහා යුගදිවියට තිත තබන තැනට පත්වී තිබේ. එක්තරා සුරූපී 25 හැවිරිදි බිරිඳක් තනිකර දමා රැකියාවට පිටරට ගියේ විවාහ වී දින 20කින්ය. දෙවැනි මාසය වන විට අනියම් පෙමක පටලැවිණි.

පූර්ව හරිහැටි විමසුමකින් තොරව යුගදිවියට පත්ව නොසිතූ අන්දමට කඩා කප්පල්වන තැනට වත්මන් සමාජයේ සිදුවීම් එමටයි. දික්කසාද අද එක්තරා කලාවක් බවට පත් වී ඇත්තේ නොගැලපෙන කායික හා මානසික ඇද වැටුණු දෙදෙනකු එක්වීමේ ප්‍රතිඵලයක් ලෙසටය.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු

විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.