මේ දිනවල පැතිරයන වෛරස් රෝග

අගෝස්තු 12, 2022

දේශගුණික විපර්යාස ඇතිවීමෙන් වැළඳෙන රෝගාබාධ බොහොමයකි. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සමඟ වෛරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයක් පවතී. මේ අතර ශ්වසන රෝගී තත්ත්වයෙන් පසුවන රෝගීන්ගේ රෝග තත්ත්වයන් ද උත්සන්නවිය හැකි ය.

මේ අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග තත්ත්වයන් ද බහුලව පැතිරයා හැකි ය. ඊට අමතරව ඇඟපත වේදනාව, හිසරදය, උගුරේ වේදනාව, කිවිසුම්යාම, කැස්ස, හන්දිපත් වේදනාව, තුනටියේ අමාරුව, අප්‍රාණිකත්වය, දහඩිය දැමීම, කැසීම, කෑම අරුචිය, ඈනුම්යෑම ආදී රෝග ලක්ෂණ ද ඇතිවන අතර සිරුරේ පලුමතුවීම්ද ඇතිවේ. මේ අතර නිතර ඇතිවන රෝග තත්ත්වයන් දින දෙක තුනකින් සුව අතට පත්වූවත් සමහර රෝග තත්ත්වයන් සති දෙක තුනක් වුවත් පැවතිය හැකි ය. වෛරසයක් ශරීරගත වූ රෝගීන්ගෙන් බොහෝ දෙනකුට පවතින රෝග ලක්ෂණ නොපෙන්වන අතර හිටි හැටියේ උත්සන්නවන රෝග තත්ත්වයන්ද පැවැතිය හැකි ය.

බොහෝ විට රෝග තත්වයක් පැවතීමට මුල් වන්නේ ප්‍රතිශක්ති පද්ධතියේ බලපෑම් හේතුවෙනි. රෝග කාරක වෛරසය ශරීරගත වූ අයකු කහිනවිට හෝ කිවිසුමක් අරිනවිට හෝ ඉන් පිටවන කෙළ බිඳිති මඟින් විශාල ප්‍රමාණයක් සංඛ්‍යාවක් වෛරසය පැතිරීම සිදුවන බැවින් ඒ ගැන විමසිලිමත් විය යුතු ය. විශේෂයෙන් එසේ පිටවන කෙළිබිඳිති මඟින් දහස් ගණනින් වෛරසය පරිසරයට මුදා හැරේ. එමෙන්ම සොටු දියර ආදියද තැන් තැන්වල තැවරී තිබීමෙන් ද රෝගය වෙනත් අයට බෝවීමේ තත්ත්වයක් පවතී. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට ආසන්න වූ විට ද කිවිසුම්යාම සිදුවේ. එසේ පිටවන කිවිසුම් මඟින්ද පිටවන්නේ ශරීරගත විෂබීජයයි. සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍ය රෝගයක් ලෙස සැළකුවත් ඉන් වන උපද්‍රව නම් බොහෝ ය. අවේලාවේ ශීත ජලය ප්‍රයෝජනයට ගැනීම, පින්නට අසුවීම, නිදිවැරීම, සීත සුළඟට ලක් වීම, ජලය අඩුවෙන් ස්නානය කිරීම හා සෙම් කෝපයට හේතුවන ආහාරවලට ලැදිවීම බෙහෙවින් එම තත්ත්වයට හේතුවේ.

සෙම් කෝපයද රෝග රැසකට හේතුවේ. සෙම හේතුවෙන් රෝගීන් බවට පත්වන අය කායිකව මෙන්ම මානසිකවද පීඩාවට පත්වේ. කෑමෙන් බීමෙන් වගේම සමහර මත්ද්‍රව්‍ය මත් පැන් නිසාද සෙම් රෝගීහු බවට පත්ව සිටිති. සෙම වර්ධනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයේ දී කතා කරන විට වචන පිට නොකෙරේ. දෝංකාර තත්ත්වයක් මතුවේ. සෙම කෝපවූ විට සෙමෙහි ගොරෝසු බවක් ඝනකමක් ඇතිවීම නින්ද අධිකවීම ශරීරාංගවල වේදනාව ශරීරයේ බරගතිය ඇතිවේ. බර වූ සෙම ගතිය නිසා නිතර නිතර කසිනගතියක් පවතී. සමහර අවස්ථාවලදී සෙම කහපාටට පිට කරයි. මේ තත්ත්වය නොසළකා සිටීමෙන් ඇදුම, පීනස වැනි රෝගාබාධයන්ට පවා හේතු විය හැකි ය. සෙම කෝප වූ විට නළලට තද වේදනාවක් දැනේ. වරින්වර හිසරදයද කිවිසුම් යාමද බඩගින්න ද ඇතිවේ. උදේ කාලයේ සෙම් රෝග ද දිවා කාලයේ වාත රෝගද සවස් කාලයේ පිත් රෝගද ඇතිවේ.

කැස්ස විවිධ රෝගයන්හි ලක්ෂණයක් ලෙසත් සමහර රෝගයන්හි උපද්‍රවයක් ලෙසත් ඇතිවිය හැකි බව සඳහන් කළ හැකි ය. කැස්සෙන් වේදනාකාරී තත්ත්වයක් හටගනී. වියළි බවක් මෙන්ම සෙම් තත්ත්වයක් ද ඇතිවේ. වාත, පිත හා සෙම ප්‍රකෝපවීමෙන්ද කැස්ස ඇතිවේ. වාතය කිපීමෙන් උගුර මුඛය යන තැන් වියළෙයි. රුජා කරයි. වියළි කැස්ස ද හටගනී. සෙම නිසා මුඛය ද තිත්ත වේ. රත්පිත්, වමනය ඇති වේ. සෙම ප්‍රධාන කොට ඇති වූ කැස්සේ දී හිසෙහි ද වේදනාවක් ගෙන දේ. හිසරදයේ දී වේදනාව හටගන්නේ වාත කෝපයේ දී පවතින බලපෑම් හේතුවෙනි. එය ශිරෝ රෝග රැසකටම බලපා ඇත. බොහෝ විට වැසි කාලයේ දී උණ, බෝවෙන වෛරස් උණ කුඩා දරුවන්ට ගැබිනි මව්වරුන්ට හා වැඩිහිටියන්ට වැළඳීමේ තත්ත්වයක් පවතී. උණ හට ගැනීමෙන් මාංශ පේශී හෝ ශරීර වේදනාව මෙන්ම කැස්සද ඇතිවේ. මේ අතර සමහර රෝගීන්ට වමනය මෙන්ම පාචනය ද ඇතිවේ. මෙසේ වසංගත උණ තත්ත්වය ඇතිවීමට හේතු වන්නේ වාතය හා සෙම ප්‍රබල වීම හේතුවෙනි.

බඩේ කැක්කුම, බඩ දැවිල්ල, බඩ පුරවා දැමීම, බඩ කොරවීම ආදියෙන්ද සමහරුන් බෙහෙවින් පීඩා විඳිති. බඩ කොරවීම, බොහෝවිට සිදුවන්නේ තරුණ මධ්‍යම වයස්වල අයටයි. වයස්ගත වූවන්ට එය නිතර නිතර සිදුවේ. බඩ කොරවීම ඉවසිය නොහැකි තරමේ වේදනාවකට පවා පත්වේ. මෙහිදී බඩේ මස්පිඬු තදවීම බඩ පුරවා දැමීම තුනටියේ කැක්කුම දහඩිය දැමීම ආදිය ද සිදුවේ. මෙය වාත කෝපය නිසා සිදුවන්නකි. වෛරස් රෝගයට ගොදුරු වූ රෝගියකුට රෝගය සුවකර ගැනීමට ප්‍රතිකාර ලබන අතර ඇඳ විවේකය ලබාගත යුතුමව ඇත. ඔහුට හෝ ඇයට නිතරම පානීය වර්ග ලබාදිය යුතු ය. ඇතිවන විජලන තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩිපුර දියරවර්ග ද ලබාදිය යුතු ය. එමෙන්ම පවතින තත්ත්වය අනුව රෝගියාට මුඛ ආවරණයක් පැළඳවීමට කටයුතු කිරීම වඩාත්ම සුදුසු ය. උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම වඩාත්ම යෝග්‍යය. වෛරස් රෝගයකු සිටීනම් ඔහු හෝ ඇය සමඟ ස්පර්ෂවීම ඔවුන් භාවිතා කරන උපකරණ වෙනත් අයකු පරිහරණය නොකිරීම, ඇඳුම් පැළඳුම් වෙන්කර තිබීම, කෙළ සොටු සෙම නොගෑවෙන සේ තැබීම, මුහුණ ආසන්නයේ සිට ආශ්වාස ප්‍රාශ්වාස නොකිරීම ආදී කරුණු ගැන ද විමසිළිමත් විය යුතු ය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.