ඔබ පි‍්‍රය කරන්නේ කවර පැහැයක් ද?

අගෝස්තු 19, 2022

මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් පාට හෙවත් වර්ණය බලපාන ආකාරය ද පිළිබඳ වැටහීමක් තිබීම වැදගත් කරුණක් සේ සැලකිය යුතු ය.

කාන්තාවක් හෝ පිරිමියෙක් තම තමන් වඩාත් කැමති පාට ඇත. රෙදි පිළි සාප්පුවට යන කාන්තාව මම මේ පාටට කැමති නෑ. මේ පාටට කැමතිය. මේ පාට ඇන්දාම හරි සතුටක් ඇතිවෙනව ආදී වශයෙන් සිතමින් නැතහොත් තවකෙනකු හා පවසමින් පාට ගැන අවධානය යොමු කරයි. මම කැමති රෝස පාට කමිසවලට විතරයි. කොළපාට කමිසවලට විතරයි ආදී ලෙස පිරිමිද ඇඳුම ගැන අවධානය යොමු කරති. තම තමන් විසින් පි‍්‍රය කරනු ලබන පාට හෙවත් වර්ණය ඔහුගේ ජීවිතය කෙරේ බලපායි.

ප්‍රධාන පාට වර්ග අතර රතු පාට කැපී පෙනේ. රතුපාට සන්සුන් මනස මහා ව්‍යාකූලත්වයට පත්කරවයි. ඕනෑවට වඩා රතුපාට පි‍්‍රය කිරීම, මනුෂ්‍ය චිත්ත ධාරා ආකූල ව්‍යාකූල කරවන, සිතේ ක්‍රියාකාරීත්වය අඩපණ කරවන, සෑම මොහොතකම තමා ඉමහත් චංචලභාවයට පත් කරවන සුළු ය. නිතරම ඔහු දකින්නේ ඔහු ජීවත්වන්නේ රතු පාට මුල් ව නම් මානසික රෝගියකු වීමේ ප්‍රවණතාව ඉක්මනින් ළං වෙයි. ඉතා තද රතු පැහැ බිත්තිවලින් යුතු කාමරයක ජීවත්වන පුද්ගලයා නිතරම උම්මත්තක ස්වරූපයක් ගනියි.

තමන් ඉන්නා නිවස, කාමරය, ඇඳුම, ඇස් කණ්ණාඩිය, පාවහන්, වාහනය ආදී සියල්ල සම්බන්ධයෙන් පි‍්‍රය කරනු ලබන පාට ඔහුගේ ජීවන රටාව, චරිතය සෞඛ්‍යය ස්වභාවය ආදී සෑම කරුණක් සම්බන්ධව බලපායි.

කෙනෙක් සුදු පැහැ මෝටර් රථයට කැමතිය. ඔහු ශාන්ත පුද්ගලයෙකි. බොහොම සන්සුන් මනසකින් රිය ධාවනය කරයි. එම පැහැය ඔහුගේ මනස සංයමයෙන් කලබලයෙන් තොරව ක්‍රියා කිරීමට පොළඹවයි. වාහන අනතුරු පිළිබඳව විමර්ශනාත්මක ඇස යොමුකරන මනෝ විද්‍යාඥයෝ රතු පැහැය ඉතා දැඩිලෙස සිය වාහනයේ පවත්නේ නම් එබඳු පුද්ගලයින් බොහෝ වාහන අනතුරුවලට භාජනය වන බව පෙන්වති. එක්තරා සඟරාවකින් මා කියවූ පුවතක් මෙහිදී මට සිහිවෙයි. මේ සිද්ධිය අපේ රටේ නොවේ. රුසියාවේ ය. වාහන පැදවීම සම්බන්ධයෙන් මහත් දක්ෂතාවයක් තිබූ රියදුරෙකු පසු කලෙක නිතර නිතර වාහන අනතුරුවලට ලක්විය. තුන් මාසයක් වැනි කෙටි කාලයක් තුළ වාහනය හතළිස්පස්වතාවක් බරපතල අනතුරුවලට ලක්විය. ඔහුගේ මානසික තත්ත්වයේ වෙනස්කම් පෙනෙන්නට විය. අවසාන වාහන අනතුරේ දී මොළයේ ස්වභාවය ක්‍රියාකාරීත්වය චංචල වෙමින් මේ දක්ෂ රියදුරා අසාධ්‍ය රෝගියෙක් බවට පත්විය. මනෝ විද්‍යාඥයෙක් රියදුරා සහ ඔහු භාවිතා කරන වාහනය ගැන දීර්ඝ වශයෙන් සිත් යොමු කළහ. තෙමසක් තුළ අනතුරු හතළිස් පහකට ගොදුරු වීමත් චංචල මානසිකතාවයට පත්වීමත් ඔහුගේ මෝටර් රථයේ පැහැය හේතු වී ඇති බව නිගමනය විය. ඔහුගේ වාහනය පිටත ඉතා තද රතු පැහැය. ඇතුළත ඇත්තේ රතු පැහැය ආසන පවා රතු පැහැය. රියදුරුට නිතර දර්ශනය වන්නේ රතු පැහැය. ඔහු නිතරම සිටින්නේ මේ තද රතු පැහැ හැම තැනම දිස්වන රථය තුළය. එබඳු විටෙක රියදුරාගේ සිතේ සන්සුන් භාවයක් හට නොගනියි. ඉන්නේ රතු පැහැයේ මෙන්ම ඇස නිතර ගොදුරු වන්නේ රතු පැහැටය. මේ ලක්ෂණ ඇති කළ තැන්පත් සංයම සන්සුන් ස්වභාවයෙන් රිය හසුරුවාලීම සිදුකළ නොහේ. මනෝ විද්‍යාඥයන් තමන්ගේ පර්යේෂණාත්මක ප්‍රතිඵලය රියදුරට පෙන්වා දෙමින් වාහනයේ පැහැය වෙනස් කරන ලෙසත්, ඊට වඩාත්ම සුදුසු කොළ පාට බවත් පෙන්වා දුන්හ. රියදුරා මේ උපදේශය මහත් ඉහළින් පිළිගත්තේ ය. හෙතෙම වාහනය කොළ පාට ගෑවේ ය. ඉන් පසු කළ විමසුමේ දී කිසිදු අනතුරකට ඔහු භාජනය වී නැති බවත් සන්සුන් යහපත් මානසික ස්වභාවකින් යුත් නීරෝගි පුද්ගලයකු ලෙසත් සමාජයේ ගැවසුණු බවත් පෙනී ගියේ ය.

රතු පැහැය අතිශයින්ම පි‍්‍රය කරන්නා වූ කලී සමාජයට පීඩාකාරී පුද්ගලයෙකි. රතු ඇස් ඇත්තේ රක්තාක්ෂි රාක්ෂසයා විය. පෙර අපරාධකරුවනට දඬුවම් පැමිණවීමේ දී රතුමල් මාලා පළඳවන අතර ඉන් ඔහු සමාජ ද්‍රෝහියෙකු බව හඟවයි. අපාය ගැන කීමේ දී රත් පැහැ ගින්නෙන් නිරය පිරී ඇත. සතර පැති උඩ යට හැම තැනම ගිනිජාලාවෝ ය. පව්කාරයන්ගේ අපරාධකාරයින්ගේ භූමිය රත් පැහැ බිහිසුණු බව හැඟ වෙයි.

කිසියම් අයෙකු රතු පැහැ ඇස්කණ්ණාඩි භාවිතා කරන්නේ නම් දින කිහිපයකින් ඔහුගේ මනස ව්‍යාකූල වෙයි. ඇස් නොපෙනී යයි. රතු පැහැයට බර පුද්ගලයා පෙරළිකාර, විප්ලවකාර හැඟීම්වලින් යුක්තය. නිරන්තරයෙන් රතු පැහැ පරිසරයක ජීවත්වන පුද්ගලයා මානසික රෝගියකු බවට පත්වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහෝ බව මනෝවිද්‍යාඥයෝ අදහස් කරති.

රතු පැහැ පි‍්‍රය කාන්තාව ඉතා රාගාධික කාමාධික කාන්තාවන් බව හඳුනාගෙන ඇත. මහා රණකාමී සීසර් අධිරාජ්‍යයා වසඟ කළ ක්ලියෝපැට්රා වඩාත් පි‍්‍රය කළේ රතු පැහැයටයි. ලොව අපරාධකාරී වූවන් රතු පැහැය පි‍්‍රය කළ අතර, රතු පැහැ පි‍්‍රය කරන කාන්තාවන්ගේ විවාහ ජීවිත අසාර්ථක බවද පැවසේ.

කොළ පාට හිත සංසුන් කරයි. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගත් භික්ෂු සිත සන්සුන්ව භාවිත කිරීම සඳහා වනයට වැඩියහ. අදත් කොළ පැහැ පරිසරයේ වාසය කරමින් සිත් සන්සුන් කරගන්නෝ වෙති. සංවරශීලී චරිත ඇත්තෝ වෙති.

යම් ස්ත්‍රියක් කොළ පාට පි‍්‍රය කරයි නම් ඇය තුළ සෞන්දර්යාත්මක, කලාත්මක හැඟීම් ඇත්තේ ය. මුදු මොළොක් හැඟීම් ඇය තුළ පවතින්නේ ය.

ලා නිල්පාට ප්‍රේමවත්තයින්ගේ අතිශයින්ම පි‍්‍රය පාටය. ප්‍රේමනීය හැඟීම් මත් කරවන පාටක් සේ නිල්පාට සැළකේ. පෙම්වත්තු නිල්පාට තීන්තෙන් පෙම් හසුන් ලියන්නට බලවත් ආශාවක් පෙන්වති. සිත් සතන් ප්‍රබෝධමත් කරන පාටකි, නිල්පාට සුදු පැහැයට පි‍්‍රය කරන්නෝ ශාන්ත ගති පැවතුම් ඇත්තෝ ය. සංවරශීලීය, සුදු පැහැය පි‍්‍රය කරන කාන්තාව ස්වාමියාට කීකරුව ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නීය. සුදු පැහැයට පි‍්‍රය කාන්තාව ලබන දරුවෝ ද හික්මුණු, විනීත, අවංක, සමාජය ගැන නිරන්තරයෙන් වෙහෙසෙන පරාර්ථකාමී හැඟීමෙන් යුක්තය.

කළු පැහැ පි‍්‍රය කරන ස්ත්‍රිය පී‍්‍රතිමත් ජීවිතයක් ගත නොකරයි. නිතරම කණස්සල්ලෙන් පසුවෙයි. දොම්නස් මුහුණින් කල්පනාවෙන් කාලය ගෙවයි. කහ පැහැයට පි‍්‍රය ස්ත්‍රින්ද සුදු පැහැයට පි‍්‍රය ස්ත්‍රින්ගේ ලක්ෂණ පෙන්නුම් කරයි. යහපත් දූ පුතුන් ලබමින්, ස්වාමියාට කීකරුව සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඇති මෙම ස්ත්‍රිය ජීවිතය ගොඩ නඟා ගත යුත්තේ කෙසේ දැයි ඉතා දුරදර්ශිව කල්පනා කරමින් නිවැරදි මඟ ගනියි.

සමහර ස්ත්‍රීහු අළු පැහැය පි‍්‍රය කරති. එබඳු ස්ත්‍රිය ජීවිතය ගැන කලකිරුණු ස්වභාවයක් පෙන්වයි. උත්සාහවන්තව ධෛර්යවන්තව ජිවිතය ගොඩනඟා ගත හැකි යයි කල්පනා නොකරයි. මටමනෙ මේ දේවල් වෙන්නේ කියමින් ඔහේ බලාගත් අත බලා සිටියි.

රෝස පැහැයට පි‍්‍රය ස්ත්‍රීන් සමබර අදහස්වලින් යුක්තය. කිසියම් අවශ්‍යතාවයක් කාරණයක් පිළිබඳව වහා උත්සුක නොවන උපේක්ෂා සහගත ස්වරූපයක් පෙන්වයි.

ජන සමාජයේ ඇතැම් කාන්තාවෝ නිතරම සිනහ මුසු මුවෙන්, කා සමඟත් පි‍්‍රය ශීලීව, හිතවත්ව සිත් දිනා ගනිමින් කෙළි දෙළෙන් උදව් පදව් කරමින් බොහෝ සතුටින් දිවි ගෙවයි. ඔවුහු කිසි විටෙකත් තද පැහැයට පි‍්‍රය නොකරන්නෝ ය. ලා පාටට ද පි‍්‍රය නැත. නිතරම බලන්නේ දීප්තිතිමත් පාට ගැන ය.

 

ආචාර්ය

සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.