මේෂ ලග්නයට හිමි රැකියා

සැප්තැම්බර් 16, 2022
 
ඕනෑම කෙනකුට ජීවත්වීමට රැකියාවක් අවශ්‍ය වේ. විවිධ රැකියා තිබුණත් කෙනකුගේ අනාගත රැකියාව ගැන ද එම රැකියාව උසස් එකක් ද පහත් එකක් ද යන වග ඡ්‍යොතිෂයෙන් හෙළිදරව් කර ගත හැකි වේ. ඡ්‍යොතිෂයේදී රැකියාව ගැන කතා කරන විට ලග්නාධිපති දහවැන්නත් දහවැන්නාධිපතිත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් පරීක්ෂා කර බැලිය යුතු යි.  
 
රාශි චක්‍රයේ ආරම්භක රාශිය වන මේෂ රාශිය හෙවත් මේෂ ලග්නයට හිමි රැකියා ගැන කතා කරන විට ලග්නාධිපති කුජ ගැනත් කර්මකාරක ශනි ගැනත් බැලිය යුතු වේ. මේෂ ලග්නය කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වන අතර එම ලග්නයෙන් උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වේ. කර්මකාරක ශනි ඕනෑම දෙයක් ඔරොත්තු දෙන දුක මෙහෙවර කාරක වන අතර ලග්නාධිපති කුජ ආයුධ කාරක වේ. ඒ අනුව එම ලග්න හිමියන්ට පොලිසිය, හමුදාව, ශල්‍ය වෛද්‍යවරු, ගින්දර ආශි‍්‍රත රැකියා අරැක්කැම්, උළු ගඩොල්, බේකරි ආශි‍්‍රත රැකියා, මස් වෙළෙඳාම වැනි රැකියාවල යෙදීම මේෂ ලග්න හිමියන්ට උරුම රැකියා වේ. 
 
ඉගෙනීම වාසනාව බුද්ධිය උනන්දුව අනුව රැකියා තත්ත්වයන්ගේ උස් පහත් වීම් සිදු වේ. ඉගෙනීම උසස් නම් සෙනසුරුට අයත් උසස්ම රැකියාව ලබා දෙයි. මේෂ ලග්නයේ ශනි ග්‍රහයා දෙවැනි තෙවැනි පාදයක වේ නම්  ඒ පාද ගණනට සමාන වෘත්තීය අයිතියක් පෙන්නුම් කරයි. 
 
අමතර වෘත්තීන් මතුකරගත් මේෂ ලග්න හිමියා එක්වර ආදායම් මාර්ග දෙක තුනක් ලැබීමට උරුමකම් කියයි. ලග්නාධිපති වන කුජගේ බලයත් අධ්‍යාපන කාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති වූ රවිගේ බලයත් තිබූ විට මේෂ ලග්න හිමියාට හොඳ උසස් රැකියාවක් හිමි වීමට භාග්‍ය උදා වේ. 
 
දහවැන්න වූ මකර රාශිය අධිපති ශනි ග්‍රහයා නියෝජනය කරන තැන අනුවත් නැකත අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ. මකර රාශිය චර රාශියක් බැවින් සංචාරක රැකියා, විදේශ ගත රැකියා ලැබිය හැකිය. මේෂ ලග්න හිමි ජන්ම පත්‍රයේ දහවැන්න හෝ ශනි සමඟ රාහුගේ සබඳකමක් වේ නම් රැකියාව නිතර වෙනස් කරන තත්ත්වයන් ද ඇති වේ. 
 
කුජගේ පිහිටීමත් ශනිගේ පිහිටීමත් නියෝජනය කරන නැකත අනුවත් කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතු දෙදෙනා නියෝජනය කරන තැන හා නැකත ද මේෂ ලග්න හිමියාගේ රැකියාව සඳහා බලපායි. 
 
චතුරිකා දිල්හානි ගමආරිය
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.