කේන්දරයේ හත්වැන්න ඔබේ විවාහයට බලපාන්නේ මෙන්න මෙහෙමයි

සැප්තැම්බර් 16, 2022

නක්ෂත්‍ර විද්‍යාවේ දී කේන්දරයක හත්වැන්නට ඉතා වැදගත් ස්ථානයක් හිමි වෙයි. මෙම ස්ථානය කලත්‍රස්ථානය වශයෙන් හඳුන්වා තිබේ. හත්වෙනි භාවය අධිපති ග්‍රහයා හෝ එහි ලැගුම් ගෙන සිටින ග්‍රහයා අනුව ඔහුගේ හෝ ඇයගේ දෛවය කෙසේ සිදුවේ දැයි තීරණය කරනු ලබයි. බොහෝවිට හත්වෙනි භාවයේ සිටින ග්‍රහයා නීච වී සිටියොත් ඒ අය තමන්ට වඩා අඩු කුලයේ කෙනකු සමඟ විවාහ වීමට වැඩි ඉඩකඩක් පවතී.

එමෙන්ම යම් පුරුෂ කේන්දරයක හත්වැන්න කටකය වී එහි කුජ ද මකර රාශිය වී එහි ගුරු ද නැතිනම් කන්‍යා රාශිය වී එහි සිකුරු සිටියදී යම් ස්ත්‍රී කේන්දරයක හත් වැන්නේ රවි සිටියොත් එම අයට ටිකක් සැර පරුෂ ආඩම්බර ස්ත්‍රියක්ම ලැබෙයි.

කෙසේ වෙතත් හත් වැන්නේ රවි ග්‍රහයා පිහිටා සිටි අයට, අනිත් කෙනාගේ හත්වෙනි භාවයේ කුජ පිහිටා සිටින කේන්දරය ගැළපෙන බව සනාථ වී තිබේ. විවාහයේදී කේන්දරයේ පොරොන්දම් බලනවාට වඩා එහි හත්වැන්න මෙන්ම ග්‍රහ තත්ත්වය ද ඉතා මැනවින් පරීක්ෂාවට භාජනය කිරීම අතිශයින්ම වැදගත් වේ. තවද හත්වැන්නේ සඳු පිහිටා තිබීම විවාහයට සුබදායක බවට මතයක් ද පවතී. ස්ත්‍රියකගේ විවාහය ඉක්මන් වෙයි.

ඉපැරැණි නක්ෂත්‍ර පොතපතේ සඳහන් වෙනවා පමණක් නොව මගේ පෞද්ගලික අත්දැකීම ද අනුව විමසා බලන කළ හත්වැන්නේ සඳු සිකුරු යෝගය පිහිටා තිබුණොත් ඇය ඒකාන්ත වශයෙන්ම අපචාරයට යොමු වෙයි. ඇතැම් විට තම සිරුර විකුණා ජීවත් වීමට තරම් වැඩි අවකාශයක් ඇතිවිය හැකි ය.

තවද හත් වැන්නේ සඳුත් දෙපස හය, අට යන රාශිවල මොනම ග්‍රහයෙක්වත් නොසිටිය හොත් ඒ අයට විවාහයෙන් පසු අනේකවිධ දුක් ඇති කරනු ලබන කේමධ්‍රැම යෝගය පිහිටනු ලබයි.

හත් වැන්නේ කුජ ග්‍රහයා පිහිටා සිටි කේන්දරය ද ශුභ දායක නොවේ. එහෙත් තුලා ලග්නයෙන් උපත සිදු වූ යම් ජන්මියකුගේ හත් වැන්නේ කුජ පිහිටා සිටීම අශුභදායක නොවේ. කේන්දරයේ හත්වැන්නේ බුධ පිහිටා සිටීම සුබයි. තවද යම් ජන්මියකුගේ කේන්දරයේ (07 වෙනි භාවයේ) බුධ උච්ච බලයෙන් කේන්දර ගත වීම අතිශයම සුබදායකයි. එමෙන්ම භද්‍රා නම් යෝග බලයෙන් ද පරිපූර්ණ වෙයි. එවිට එබඳු කෙනකුගේ යුග දිවිය සාර්ථකවී විවිධ සම්පත් ලැබී මෙලොව, හා එලොව ජීවිතය ද සැපවත් වෙයි.

හත්වැනි භාවයේ ගුරු ග්‍රහයා ලැගුම් ගැනීම එහෙමටම සුබදායක නැත. එබඳු ජන්මියා අවැඩ දායක කටයුත්තකට යොමු නොවූවත් ලෝකෝත්තර පැත්තට නැඹුරුව ක්‍රියා කරන නිසාය. කොටින්ම පවුල් ජීවිතය ගැන එහෙමටම තැකීමක් නොකරයි.

තවද කේන්දරයක හත්වැන්න කටක රාශියවී එහි බ්‍රහස්පති ග්‍රහයා තැන්පත් වුවහොත් ගුරුහංස නම් බලවත් යෝගය උදා වී ජන්මියාට කොතෙකුත් සැප සම්පත් ලැබී යුගදිවිය ඉතා සාර්ථක භාවයට පත්කර ගනියි.

කවර ජන්ම පතක හෝ හත්වැන්නේ සිකුරු සිටීම සුබයි. කොටින්ම හත් වැන්න මීන රාශිය වී එහි සිකුරු උච්ච බලයෙන් පිහිටා සිටීමෙන් මාලවී නම් යෝගය උදා කරයි. එවිට ඒ අයගේ යුග දිවිය අතිශයම සාර්ථක වෙයි. උපරිමයෙන් කම්සැප විඳින අයෙකු ද වෙයි.

හත් වැන්නේ සෙනසුරු සිටීම ශුභදායක නැත. එහෙම අයට එම භාවයේම (07) ගුරු හෝ කේතු ග්‍රහයා සිටින ජන්ම පත්‍ර කදිමටම ගැළපේ. හත්වෙනි භාවයේ රාහු සිටීම ද යුග දිවියට හොඳ පිහිටීමක් නොවේ. විවාහය ප්‍රමාද වෙයි. බොහෝවිට ප්‍රේම සම්බන්ධතා කීපයක්ම සිදු වී පසුව විවාහ වෙයි.

බොහෝවිට ඈත දුර පළාතක කෙනකු සමඟ විවාහ වෙයි. නමුත් යුග දිවිය එහෙමටම යහපත් නොවේ. ඔහේ ඉන්නවාට ජීවත් වෙයි. හත්වෙනි භාවයේ කේතු සිටීම ද යුග දිවිය නී රස කරයි. මෙබඳු අය හට ගැළපීමක් ඇති වන්නේ හත් වැන්නේ ගුරු ශනි හෝ කේතු පිහිටා ඇති ජන්ම පත්‍ර හිමිකරුවන් ය. එසේම හත්වෙනි භාවය අධිපති අටවැන්නේ සිටීමද කිසිසේත්ම සුබදායක නොවේ. එනමුත් හත්වැන්න අධිපති ග්‍රහයා දස වැන්නේ නොහොත් කර්මස්ථානයේ සිටීම ජන්මියාට යහපතක්ම උදා කරයි.

ඉත්තෑකන්දේ, ගාමිණී එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.