ඔබට ලැබෙන සහකරු සහකාරිය කොහොම වේද?

ඔක්තෝබර් 14, 2022

යම් අයකුගේ කේන්දරයේ සත්වැන්නේ ගුරු ග්‍රහයා උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල් දේපළ ඇත්තියක් වේ.

කෙනකු උපදින අවස්ථාවේ සිටින ග්‍රහයන්ගේ තත්ත්වයත් එම ග්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයත් ඔවුන්ගේ බල දුබලතාවයත්, ග්‍රහ දෘෂ්ටිය හා ග්‍රහ සංයෝගයත් අනුව තමන්ට හිමිවන සහකරු හෝ සහකාරියගේ ස්වභාවයත් ඡ්‍යෝතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත. ඡ්‍යෝතිෂයට අනුව විවාහයක් ඉක්මන් කරන්නේ කුජ ග්‍රහයාත් සිකරු ග්‍රහයාත් යන දෙදෙනාය. විවාහයක් වාසනාවන්ත එකක් කරන්නේ ගුරු ග්‍රහයාත් චන්ද්‍රයාත් යන දෙදෙනාය.

විවාහයක් ප්‍රමාද කරන්නේ ශනි නොහොත් සෙනසුරු ග්‍රහයාත් කේතු ග්‍රහයාත්ය. රවි ග්‍රහයාත් රාහු ග්‍රහයාත් දෙදෙනාම වැඩි බලය ඇති පැත්තට සහය දක්වයි. බුධ ග්‍රහයා මධ්‍යස්ථ භාවයක් දක්වයි. විවාහය පිළිබඳ සලකා බැලීමේදී කේන්ද්‍රයේ හත්වැන්නත්, හත්වැන්නේ ත්‍රිකෝණ ස්ථානය වූ තුන්වැන්නත්,

එකොළොස්වැන්නත් පරීක්ෂා කළ යුතු අතර කේන්ද්‍රයේ අටවැන්න ද මේ සඳහා බලපෑමක් කරයි.

යම් අයකුගේ කේන්දරයේ සත්වැන්නේ ගුරු ග්‍රහයා උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල් දේපළ හිමි ඇත්තියක් වේ. තම ස්වාමිපුරුෂයාට කීකරුව ඔහුගේ අවශ්‍යතා සොයාබලා අවශ්‍යතාවන් සුපරාලන තැනැත්තියක් වෙයි. පුරුෂයකු නම් තම බිරියට ආදරයෙන් සෙනෙහසින් සලකන ඇයගේ සියලු අඩුපාඩුකම් සපුරාලන අයෙක් වෙයි. ගුණ යහපත් කමින් පිරිපුන් අයෙක් වෙයි. මේ නිසා ඉතා යහපත් යුග ජීවිතයකට සාර්ථක විවාහයකට එබඳු පිහිටීම් වැදගත් වෙයි.

සිකුරු, බුධ, ගුරු ආදී සෞම්‍ය ග්‍රහයෝ පළමුවැන්න, හතරවැන්න,හත්වැන්න, දහ වැන්න, ආදී කේන්ද්‍රස්ථානයක පිහිටි දෙවැන්න හා හත්වැන්න අධිපති ග්‍රහයෝ ස්වක්ෂේත්‍රව පිහිටා ඇති කේන්දර හිමියෝද ඉතා වාසනාවන්ත යුග දිවි ගත කරන්නෝ වෙති. අන්‍යෝන්‍ය දැඩි බැඳීමෙන් හා දැඩි ආදරයෙන් යුතුව ඔහු හා සැමදා යුගදිවිය ගත කරයි. මිල මුදල් සේම ගේ දොර ඉඩකඩම් ආදියෙන් අඩුවක් නැත්තෝ වෙති. යහපත් දුදරුවෝ ලැබ සැමදා යුගදිවිය සතුටින් ගත කරයි.

කේන්දරයේ හත් වැන්න අධිපති ග්‍රහයා පාප ග්‍රහයන් සමඟ සංයෝගව දොළොස්වැන්නේ සිටියහොත් එබඳු අය ක්ෂණික කෝපයට පත්වන්නෝ වෙති. මෙම අයගේ විවාහ ජීවිතය අවුල් වියවුල්වලින් ගහන එකක් වෙයි. නැති වැරදි හදා ගන්නා ඔවුහු සුළු දෙයකට පවා තදින් කෝප වෙති. කුජ ග්‍රහයාත් බුධ ග්‍රහයාත්, බ්‍රහස්පති ග්‍රහයාත් චන්ද්‍රයාත් සංයෝගව යම් කාන්තාවකගේ කේන්දරයේ හත් වැන්නේ හෝ කටක රාශියේ යෙදී ඇත්නම් එබඳු කේන්දර හිමි කාන්තාවෝ ඉතා රූමත් අය වෙති. දුටුවන් වශී කරන රූ සපුවකින් යුක්ත වේ.

යම් ස්ත්‍රියකගේ හත් වැන්න එක ග්‍රහයකුගෙන් යුක්තව හෝ එක ශුභ ග්‍රහයකුගෙන් යුක්තව හෝ එක ශුභයකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ස්වාමියාට ප්‍රිය වේ. ශුභයන් දෙදෙනකුගෙන් යුක්තව හෝ දෙදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ආචාර සම්පන්න වේ. ශුභයන් තිදෙනකුගෙන් දෘෂ්ටි ලැබ තිබේ නම් ඉතා යහපත් උසස් තැනැත්තියක් වෙයි.

එක පාපියකුගෙන් යුක්තව හෝ දෘෂ්ටිය ලැබ තිබේ නම් අන් පුරුෂයන් දෙස කාමුකව බලන තැනැත්තියක් වේ. පාපයින් දෙදෙනකුගෙන් යුක්තව හෝ පාපයන් දෙදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ආචාර සම්පන්න නොවේ. පාපයින් තිදෙනකුගෙන් යුක්තව හෝ තිදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඉතා අයහපත් වේ යැයි කියා ඇත.

බුධහු උච්චව හත්වැන්නේ සිටිය දී උපන් තැනැත්තියගේ ස්වාමි පුරුෂයා ශෝභා සම්පන්නවූ පිනට දහමට ලැදි පොත්පත් කරන්නා වූ කීමෙහි හා ලිවීමෙහි දක්ෂ උගත් අයෙක් වෙයි. කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙක් වෙයි.

සිකුරු උච්චව හතේ සිටිය දී උපන් තැනැත්තිය නච්චගීතවාදිතා දියට ප්‍රිය වූ යහපත් පෙනීමෙන් යුතු සියලු වස්ත්‍රාභරණ ආදියෙන් යුතු ස්වාමි පුරුෂයා ප්‍රීතියෙන් පිනවන තැනැත්තියක් වන්නීය. ස්වාමි පුරුෂයා ද එවැනිම කෙනෙක් වෙයි. ගුරු, සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී බුධහු උච්චව අඟහරු මකරයේත් සඳු කටකයේත් සිටියදී උපන් තැනැත්තී රූප සම්පත්තියෙන් අනූන ගුණවත්, බලවත් රජ බිසවක් හා සමාන සැප විදින්නියක් වෙයි. ඉතා උසස් විවාහයක් වෙයි.

කුජ, සඳු දෙදෙනා පමණක් එකට සිටීම ස්ත්‍රී කේන්දරයේ අශුභ යෝගයක් ලෙස ජ්‍යෝතිෂයේ පෙන්වා ඇත. විශේෂයෙන් දුෂ්ට ස්ථානයක නම් එම නිවෙසෙන් ශ්‍රියාව බැහැර වන බව කියා ඇත. පුරුෂ කේන්දරයක වුවත් කුජ චන්ද්‍ර යෝගය පාප ක්‍රියා කිරීමටත් ඒ සඳහා මුදල් නාස්ති කිරීමටත් හේතු වේ. රවි හතේ සිටීමද ස්ත්‍රී කේන්දරයක අශුභ පිහිටීමකි. ස්වාමි භක්තිය අඩු කරන පිහිටීමක් වෙයි. බොහෝ විට දෙදෙනා අතර අසමගියට හේතු වේ.

මේෂ වෘශ්චික ලග්න දෙකෙන් එකක චන්ද්‍රයා සිටිය දී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය අඟහරුගේම වූවහොත් එකල උපන් තැනැත්තී ඉතා තද පරුෂ නපුරු ස්ත්‍රියක් වෙයි. ශනිගේ ත්‍රිංශාංශකය වුවහොත් පහත් ක්‍රියා කරන්නියක වෙයි. ගුරුගේ ත්‍රිංශාංශකය වුවහොත් යහපත් ස්ත්‍රියක් වෙයි. බුධගේ ත්‍රිංශාංශකය වුවහොත් නුවණ මෙහෙයවා ක්‍රියා කළ හැකි මායා දන්නියක් වෙයි. සිකුරුගේ ත්‍රිංශාංශකය වුවහොත් කාමචේතනා අධික තැනැත්තියක් වෙයි.

ධනු,මීන දෙකින් එකක් ලග්නයට චන්ද්‍රයාත් ධනු මීන දෙකින් එකක සිටියදී ලග්නයේ උදාවන ත්‍රිංශාංශකය ගුරුගේ නම් ගුණ නුවණින් යුක්ත වූ ඉතා යහපත් තැනැත්තියක් වෙයි. කුජගේ නම් ක්‍රියා ශූර ඉක්මන් ගතිගුණ ඇති ගුණ නුවණින් යුතු තැනැත්තියක් වෙයි. ශනිගේ නම් නුවණ අඩු අලස තැනැත්තියකි. බුධගේ නම් සියුම් නුවණ ඇත්තා වූ ක්‍රියා සූර තැනැත්තියක් වන අතර සිකුරුගේ නම් වීර්යාධික වූ ද කෝමල ගති ඇති යහපත් වූ නුවණ හා ගුණවත් උතුම් භාර්යාවක් වෙයි.

 

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.