සාර්ථක විවාහයකට...

දෙසැම්බර් 16, 2022

 

රාහු අඟහරු සෙනසුරු වැනි ග්‍රහයකු සත්වැන්න තුළට බලපෑම් ඇත්නම් එයින් ඇතිවන කුරිරු විපාක නොවිමසා බලා විවාහවීම යහපත් ද? 7 වැන්නාධිපති 8 වැන්නේ සිටීමත් 8 වැන්නාධිපති 7 වැන්නේ වීමත් වැනි පරිවර්තන යෝග විවාහයට සුදුසු නැත.

 

විවාහපේක්ෂිත දෙපක්ෂයටත් දෙමාපියන්ටත් ඉතාම වැදගත් කරුණක් වී ඇති තම දූ දරුවන්ගේ විවාහය ගැනයි අද අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ. කාලයක් තිස්සේම අපි හුරු පුරුදු වී ඇත්තේ විවාහයක් වීමට පොරොන්දම් බැලීමයි.

 

මෙම පොරොන්දම් බැලීම ගැන, අප විමසිලිමත් වන විට දී, විවාහ වූවන් විවාහයක් අතිසාර්ථකව ගෙන යාමට හැකිවේද යන්න ගැනත් විමසිලිමත්වීම අනිවාර්ය වේ. මේ ගැන විවිධ මති මතාන්තර ගොඩනැඟී ඇතත් ඇත්ත ඇති සැටියෙන් සොයා ගැනීම වැදගත් ය.

කායික හා මානසික සංයුතිය නිරෝගී බව ආර්ථික තත්ත්වය දරුවන් පිළිබඳ වාසනාව ලෙඩ රෝග හදිසි විපත් ආදී විවිධ කරුණු කාරණා මත විවාහය ගොඩනැඟී තිබේ. මෙවන් කරුණු ගැන නොවිමසා විවාහයකට දෙදෙනකු තෝරා ගැනීම නුවණට හුරු නොවේ. පොරොන්දම් විස්සට පමණක් මුල් තැනදී විවාහයකට තීරණය කිරීම ඕනෑම උම්මත්තකයෙකුගේ කේන්ද්‍රයකට වුවද රාජ කුමාරියකගේ පොරොන්දම් ලෙස ගත හැකි වෙයිද?

පුද්ගලයාගේ ජීවන චරිතය හෙළිකරන සටහන ජන්ම පත්‍රය හෙයින් පොරොන්දම්වලට පළමුව ජීවිතය හඳුනාගත හැකිවෙයි. අඩුවයසින් මියයන කෙනකුගේ කේන්දරයක් දිගුකල් ජීවත්වන කෙනකුගේ කේන්දරයත් පොරොන්දම් ගැළපීම් තිබිය හැක. පොරොන්දම්වලට දිය යුත්තේ දෙවැනි තැනයි. මෙහි පළමු අයිතිකරුවා භාරතයයි. ඒ රටේ විශ්වාස හා ඇදහිලිත් සංස්කෘතියටත් වැඩි නැඹුරුවක් ඇත. වැන්දඹුවක් වීම මහා අවාසනාවක් ලෙස සැලකීම සිරිතක් ලෙස භාරතය සතුවිය.

මෙවන් විසි පොරොන්දම් ක්‍රමය අපේ රටට නොගැළපෙන තැන්ද ඇත්තේ ය. විචාරශීලීව තෝරා බේරාගත යුතුයි. මෙහි දැක්වෙන වෘක්ෂ ගස් පොරොන්දම තුළ කිසිදු වටිනාකමක් නැත. කිරිගස්වලින් දාරක සම්පත් ගැන කිව හැකිද? ස්ත්‍රී පුරුෂ බීජ අණු දෙකක සංයෝගයෙන් හටගන්නා අන්තරාස්කන්දය සමඟ එක්වීම හරහා වර්ණාංශු හා ජනකාණුවලින් දාරක සම්පත් හිමිවේ. පියාට දරු බීජයන් ඇති අතර මවට දරා ගැනීමේ ශක්තිය තිබේ දැයි විමසා බැලීම අනිවාර්ය වේ. නාඩි පොරෝන්දම වා, පිත්, සෙම් යැයි නම්කර ඇතත් මෙහි අන්තර්ගතය ජීව විද්‍යාත්මකයි. නාඩි පොරොන්දම නොගැළපේ නම් රජ්ජු පොරොන්දම යහපත් නම් එයින් සෑහීමකට පත්වීම දුම්මැල්ල වෙනුවට පතෝල ගැනීම වැනිය. විවාහයක් සඳහා පොරොන්දම් බලන විටදී එයට අමතරව පරීක්ෂා කර බැලිය යුතු දෝෂ විශාල සංඛ්‍යාවක් තිබේ. මේවා හරිහැටි තෝරා බේරා ගත යුතුයි. උඩින් පල්ලෙන් කේන්ද්‍ර දෙස බලා විවාහයකට තීරණ ගැනීම දෙකොන විලක්කු බැඳීමක් වැනිය.

මංගල දෝෂය භෛෟම දෝෂය වන කුජ අඟහරුගේ දෝෂය ගැන බැලිය යුතු වේ. කුජගේ භෛෟම දෝෂය කේන්ද්‍ර දෙකෙහිම ඇත්නම් එකී දෝෂය බිඳ වැටේ. නැත්නම් ගුරු බ්‍රහස්පතීගෙන් බිඳ වැටේ. කුජ හෙවත් අඟහරු කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන තැන්වල සිටීම භෛෟම දෝෂය වේ. ලග්න ලෙස බලනවිට මේෂ ලග්නයට 2 වැන්නේද මිථුනයට 4 වැන්නේ ද තුලාවට 8 වැන්නේ ද වෘශ්චිකයට 8 වැන්නේ ද ධනුවට 7 වැන්නේ ද මීනයට 4 සහ 7 වැන්නේ ද අඟහරු දෝෂය ඇතිවේ. වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ යන ලග්න හයට අඟහරු කුජ දෝෂය නොමැත. මේ හැර විවාහ දෝෂ 20ක් තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ පොරොන්දම් ලකුණු පමණක් සලකා බලන විවාහයකට එකවරම තීරණයක් ගැනීම සුදුසුද? සාර්ථක යුගදිවියක් ගෙවීම පිළිබඳව ගැඹුරින් විමසා බැලීම අනිවාර්ය වේ.

ලකුණු 36 මතම විවාහයක් තීරණය කිරීම සුදුසු නොවේ. අද වන විට දෙමාපියන් එකවරම අසන්නේ ලකුණු කීයක් තිබේද යන්නයි. මෙහි කිසිදු හරයක් නැත. ලකුණු වැඩි වූ පළියටම විවාහයක් සාර්ථක නොවේ. මූලිකමව අවශ්‍ය වන්නේ දෙදෙනාගේ කායික හා මානසික ගැළපීම් ශක්තිමත්ව තිබේද යන්න. එයයි ඇත්ත.

රාහු අඟහරු සෙනසුරු වැනි ග්‍රහයකු සත්වැන්න තුළට බලපෑම් ඇත්නම් එයින් ඇතිවන කුරිරු විපාක නොවිමසා බලා විවාහවීම යහපත් ද? 7 වැන්නාධිපති 8 වැන්නේ සිටීමත් 8 වැන්නාධිපති 7 වැන්නේ වීමත් වැනි පරිවර්තන යෝග විවාහයට සුදුසු නැත. එම විවාහය සාර්ථක නොවේ. මේ අනුව ග්‍රහ හැසිරීම් රටාවේ කරුණු 27ක් තුළම විවාහයක් අසාර්ථක වන අන්දම වඩාත් පැහැදිලි වේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය හරහා විවාහය පිළිබඳව ඇතුළු පැත්තේ හැසිරීම් රටාව විස්තර කිරීමට අපහසුය. එය හරිහැටි තේරුම්ගෙන මූලික කටයුතු සිදුකළ යුත්තේ ය. වත්මන්හි විවාහය දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වී ඇත. පුරුෂ පක්ෂයට වඩා ගැහැනු සංඛ්‍යාව වැඩිය. දහ අට ලක්ෂයක් පවා ඉක්මවා අවිවාහක ස්ත්‍රී පක්ෂය සිටී. වයස 30 ඉක්මවූ උගත් උසස් රැකියා කරන කාන්තාවන් අධිකයි. කායික හා මානසික පීඩනයන්ට ගොදුරුවීමේ ගැටලුව මත විවාහය කල්යන තැනට පත් වී ඇත.

අවසන් වශයෙන් කිවයුත්තේ විවාහවීමේ දී ඔබ පොරොන්දම් පරීක්ෂා කර බලනවිටදී පොතේ එන ලකුණු මට්ටම ගැන නොසලකා ග්‍රහ හැසිරීම් රටාවට අනුව දෙදෙනාගේම ග්‍රහ ශක්තියේ බල දුබලකම් මැනවින් සියුම්ව ගැඹුරින් දැන හඳුනාගෙන විවාහ වීම බුද්ධිමත් බවය.

*******************************

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.