ඉතිරිවන බත්වලින් රසවත් ආහාර

දෙසැම්බර් 23, 2022

ආහාරපාන මිල ගණන් දිනෙන් දින ඉහළ යන යුගයක අපි දිවි ගෙවන්නෙමු. හාල් ඇටයේ සිට එදිනෙදා පරිභෝජනය කරනු ලබන සියලුම ද්‍රව්‍යයන්හි මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. එහෙත් තත්ත්වය මෙසේ වුවද නිවෙස්වල හරි හැටි අරපිරිමැස්මක් සිදු වෙනවාද යන්න ගැටලුවකි. කාර්යබහුල ජීවිත ගෙවන බොහෝ දෙනා ක්ෂණික කෑම බීම වෙත යොමු වී ඇත. මෙනිසා නිවෙසේ පිරිසුදු, පෝෂ්‍යදායි ගුණයෙන් අනූනව ආහාර පිසුවත් ඒවා කෑමට හෝ බීමට දක්වන්නේ ඉතා අඩු කැමැත්තකි.

මෙනිසාම බොහෝ නිවෙස්වල උදේ , දවල්, රාත්‍රී පිසින බත් ප්‍රයෝජනයක් නොගෙනම ඉවත හලන බව පෙනී යයි. මෙයින් සිදු වන්නේ ආහාර නාස්තියක් වගේම අනවශ්‍ය වියදමක් දැරීමට සිදු වීමයි. නිවෙසේ ඉතිරිවන බත් ඉවත නොදමා සෞඛ්‍යාරක්ෂිත මෙන්ම පෝෂණයෙන් හා රසයෙන් ඉහළ කෑම වර්ග කීපයක් සාදා ගන්නා අන්දම පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ අරමුණයි.

 

ඉතිරිවන බත්වලින් රසවත් ආහාර වර්ග සකසන අන්දම

වැලිතලප

අවශ්‍ය ද්‍රව්‍ය – ඉතිරිවන බත් කෝප්ප 2ක් පමණ ,ජලය අවශ්‍ය පමණ, පොල් කෝප්ප 2ක්. සීනි කෝප්ප 1 යි. ලුණු රස අනුව, වැනිලා

පළමුව සීනි හා ජලය යොදා රන්වන් පාට වනතුරු සීනි කැරමල් කරගන්න. සීනි පැණි උණුවන විට එයට පොල් දමාගන්න. එයට බත් කෝප්ප 2ක ද එකතු කරන්න. වැනිලා රස අනුව ලුණු එකතු කර මිශ්‍රණය ඝන වනතුරු හැඳි ගාන්න.

මිශ්‍රණය ඝන වූ පසු තෙල් ගා ගත් තැටියකට දමා කැබලි කපා ගන්න.

 

ඉතිරි වන බත්වලින් අග්ගලා සකසමු

අවශ්‍ය ද්‍රව්‍ය

බත් කෝප්ප 2 ක් පමණ, පොල් කෝප්ප 1යි, රස අනුව සීනි හා ලුනු,ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ඉතිරිවන බත් ටික තැටියකට දමා අව්වේ වියළා ගන්න. අවුවේ වියළා ගැනීමට නොහැකි නම් බත් ටික ට්‍රේ එකකට දමා අවන් එකට දමා සෙල්සියස් අංශක 100කට පමණ රත් කර පැය 1 1/2ක් පමණ වියළා ගන්න. පසුව බත් ටික ඉවතට ගෙන රන්වන් පැහැ වනතුරු කබලේ බැද ගන්න. බැදගත් බත් ලුණු ස්වල්පයක් දමා හොඳින් කුඩු කරගන්න. ඉන්පසු එයට ගා ගත් පොල් කෝප්පය එකතු කරගන්න. සීනි ද රස අනුව එකතු කරන්න. ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එකතු කොට හොඳින් ගුළි කරගන්න.

ඉතිරි බත්වලින් රොටී හදමු

බත් කෝප්ප 2 යි, පාන්පිටි කෝප්ප 1 යි, අමුමිරිස්, ලුණු, කරපිංචා, අවශ්‍ය නම් පොල් කෝප්ප 1 යි

බත් කෝප්ප 2ට ජලය ස්වල්පයක් දමා හොඳින් බ්‍රෙන්ඩර් කර ගන්න. (අඹරා ගන්න) එයට පිටි හා පොල් එකතු කරන්න. ලුණු, කපාගත් ළූණු, අමුමිරිස්, කරපිංචා, එකතු කරන්න. අවශ්‍ය නම් කපා ගත් කැරට්, ගොටුකොළ, ද එකතු කරන්න. ඉන්පසු පිටි බෝල සකසා ගෙන රොටී ලෙස පදම් කර කබලේ බැඳ ගන්න. පෝෂණීය රසවත් ආහාරයකි.

 

ඉතිරි බත්වලින් වඩේ හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :–

බත් කෝප්ප 2ක් පමණ, පාන්පිටි කෝප්ප 1යි, රස අනුව ලුණු වතුර, අමුමිරිස්, කරපිංචා බැදීමට තෙල්.

බත් කෝප්ප 2ට ජලය ටිකක් දමා හොඳින් අඹරා ගන්න. එයට පිටි එකතු කරන්න. කරපිංචා, අමුමිරිස්, ලුණු එකතු කර ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කරන්න. කහ පිංචක් ද දමා ගන්න. මේවා සියල්ල එකට අනා පිටි බෝල සකසා උලුඳු වඩේ බෝලය සේ සකස් කර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.

ඉතිරි බත්වලින් රසවත් තෙම්පරාදු බතක්

අවශ්‍ය ද්‍රව්‍ය – බත් කෝප්ප 2ක් පමණ, සුදුලූණු, ඉඟුරු ස්වල්පයක්, වියළි හාල්මැස්සන් හෝ ඉස්සන් 10ක් පමණ, වියළි මිරිස් කරල් 2ක්, තෙල් ස්වල්පයක්

භාජනයකට තෙල් ස්වල්පයක් දමා එය රත්වන විට හාල්මැස්සන් හෝ ඉස්සන් දමා බැදගන්න. එයට ඉඟුරු. සුදුළූණු, කරපිංචා, වියළි මිරිස් කරල් කැබැලි දමා තෙම්පරාදු කරන්න. ඉන්පසු බත් කෝප්ප 2ද එකතු කරන්න. විනාඩි 3ක් පමණ තෙම්පරාදු කර ආහාරයට ගන්න.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.