බුද්ධ පූජා බහිරව පූජා සහ ග්‍රහ පූජා

පෙබරවාරි 10, 2023

 

මනුෂ්‍යත්වය ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ කියල පැරණි කතාවක් තිබෙනවා. ඒ තරමටම අමාරුයි. දුර්ලභයි. මෙලොව ඉපදුන ඔබ ඉතා වාසනාවන්තයි. එහෙනම් එය දියුණුූ කරන්න තව තවත් කුසල් කරන්නට වේවි. කුසල් කරල ජීවිතය යහපත් කර ගන්නා අපට වටිනා ගුරුවරු ඉන්නවා. බුදුන් වහන්සේ ජේසුස් වහන්සේ, අල්ලා දෙවියො මේ අය ආගමික වශයෙන් අපට උපදෙස් දෙනවා. බුදුන් වහන්සේට බුදුවීමට බෝ වෘක්ෂය උපකාර වුණා. උන්වහන්සේ බුදුවීමෙන් පසු දෙසතියක් ඇසිපිය නොහෙලා බලා සිට කෘතගුණ සැලකුවා කියල ත්‍රිපිටකයේ තිබෙනවා. එම නිසා එතැන් සිට බෞද්ධ දර්ශනය විශ්වාස කරන අය බෝධිපූජා පවත්වනවා. ඒකෙන් සෙතක් සැලසෙනවා. සිත නිමෙනවා. සිතේ කුරිරු කම් නැති වනවා. බෝ කිව්වේ විශාල සෙවණක් දෙන වෘක්ෂයක්. ඒ සෙවණේදි තමයි කලින් කිව් දේවල් ඇති වන්නේ.

 

බෝධි පූජාව

 

අපි ඔක්කොම බෝධිපූජා පවත්වනවා තමයි. අන්‍ය ආගම්වලත් හිත දියුණු අය මේ පූජාව කරනවා. මේ බෝධිපූජා කරන කොට පුංචි රහසකුත් කියන්නම්කෝ. ඕනෑම ශාස්තෘවහන්සේ කෙනෙක් තමා ඉගෙනගත් ශිල්පයට මුල්තැන දෙනවා. ශිල්පයට අධිපති ග්‍රහයා තමයි ගුරු නැත්නම් බ්‍රහස්පති. දිසා චක්‍රය අනුව බ්‍රහස්පතිට ඊසාන දිශාව බල වැඩියි. ඊසාන කිව්වේ උතුරටත්, නැඟෙනහිරටත් මැද දිශාව. අනික මරු නැති දිශාව, මරු නැති එකම දිශාව ඊසාන, බෝධිපූජා කරන කොට ගෙදර දරුවෝ පාඩම් කරන කොට ඒ දිශාව බලා කරන්න. ලැබෙන ඵල වැඩියි. ඔබත් කරල බලන්න. ව්‍යාපාරවලදි මුදල් උපයන්නෙ ඊසාන දිශාව බලලා. ඒ මුදල් තැන්පත් කරන්න බටහිර බලා. මේවා කරල බලන්න. හරිනම් දිගටම කරල දියුණූ වන්න. ඒක නිසාමයි බ්‍රහස්පතිට කිව්වේ “රාජස්ස පදංචිය නෛපූන මග්‍යපෛනී ප්‍රඥා ප්‍රතාප ධන ධාන්‍ය සමාමංච – සම්මංත කොට පරිභෝජන වර්ග සිද්ධම් – ජන්ත බ්‍රහස්පති දසා ගුනාත්ථ සිද්ධම්” කියලා මේ බෝධිපූජා ඉතා ගෞරවයෙන් කරන්න ඕනෑ.

 

විශ්ව ශක්තිය

 

මේ ලෝකය නැත්නම් විශ්වය මහ පුදුමාකාර එකක්. ඕනෑම කෙනෙකුට දෙයකට පවත්වාගෙන යාම සඳහා ශක්තියක් /බලයක් අවශ්‍ය වනවා.අශ්වයකුට ඉතා වේගයෙන් දුවන්න බලයක් ඕනවනවා. පවතිනවා. අපි ඒකට අශ්ව බලය කියනවා. විශ්වය කිව්වේ හැම මොහොතකම චලනය වන වස්තුවක්. එහෙනම් ඒකටත් බලයක් ඕනෑවනවා. ඒකට කියනවා විශ්ව බලය කියලා නැත්නම් විශ්ව ශක්තිය කියලා. මේ විශ්වය තුළ ඇති පෘථිවිය වටේ කරකැවෙන කොට පෘථිවියේ සිටින ජීවින්ට බලපානවා. එක් එක් කාලයට එක එක සතුන් වදවී යන්නෙ මේ හේතුව නිසාමයි. කොටින්ම කිව්වොත් මේ ජීවින් පාලනය කරන්නෙ මේ ග්‍රහකිරණ සමූහයා. එනම්,රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, රාහු හා කේතු මේ කිරණ එක එක ජීවියාට බලපාන කොට ඒ ඒ ග්‍රහයා නමින් කියැවෙන ග්‍රහයා හොඳ හෝ නරක් වුණා යැයි ඡ්‍යෝතිෂ්‍යයේ පහසුවට උගන්වනවා. ඇත්තටම කිව්වොත් සිදුවන්නෙ ග්‍රහකිරණ මේ සත්ත්වයන්ට බලපාන එක තමයි.

කිසියම් කෙනෙකුට සමේ රෝග,කුෂ්ඨ රෝග, බෝවෙන රෝග හැදුනාම වැඩිපුරම කොහොඹ කොළ ශරීරයට ස්පර්ශ කරනවා. හිසට තෙල් ගාන කොට හිසට නුගකොළත්, පයට තොලබෝ කොළත්, උඩට කොහොඹ කොළත් එල්ලනවා. එනම් එක ග්‍රහයන්ට එක එක කොළ වර්ග ආවේණික වනවා. ඒ වගේම ඒ ඒ ග්‍රහයාට ඒ ඒ දිශාවන්ද උදෙසා කිරණ බලපෑම වැඩිවනවා. එනිසාම එක් ග්‍රහයෙකුට ආවේණික දිශාව, ගස්වර්ගය, වෙන්කර දී ඇතිව තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඉරුට, ඉන්ද්‍ර දිශාවද, ඉඹුල් වෘක්ෂයද, රාම අවතාරයද වශයෙන් වෙන්කර තිබෙනවා. අන් ග්‍රහයන්ටත් ඒ වගේමයි.

 

ග්‍රහ පූජා

 

ග්‍රහ පූජා කරන කොට මේ දේවල් ගායනා කර කර මෙනෙහි කරනවා. සාමාන්‍යයෙන් මිය ගිය කෙනෙකුට පින් පිණිස දනක් දෙනකොට ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය කැමැතිව තිබූ ආහාරයක්, කැමැති වස්ත්‍රයක්, දෙන බවට සිරිතක් පවතිනවා. එහෙම කරන්නෙ මරණයට පෙර ඔහු හෝ ඇය ඒ දේ තදින් අල්ලා සිටීම නිසයි. අපි පේ‍්‍රත තටු දෙන කොටත් සුපුරුදු දෙයට අමතරින් ඔහු කැමතිව තිබූ දේවල්ද තබන්නෙ එනිසාමයි. ග්‍රහ පූජා කරනකොට නියමිත ග්‍රහයා වෙනුවෙන් ඒ ඒ ග්‍රහයාට සාපේක්ෂව දිශාව, විමානය, අවතාරය, ගහකොළ, යාමය,රදාගෙන සිටින ආයුධය, වර්ණය ගැන සඳහන් කරල තමයි පූජාව සම්පූර්ණ කරන්නෙ. හිතන්න පන්සලේ හාමුදුරුවො බුද්ධ පූජාව දෙනකොට “අධිවාසේ තුනෝභන්ථෙ භෝජනං පරිකප්පිතං” කියන ගාථාවෙන් විතරද ඒ ආහාරය සඟ සතු කර පූජා කරන්නේ. තව කොච්චර ගාථා තිබෙනවද? ඒක තමයි නියම ක්‍රමය හා සම්ප්‍රදාය. එතකොටයි ඒ පූජාව සම්පූර්ණයෙන්ම කැප කිරීම සිදුවන්නේ. ඒ වගේම තමයි ග්‍රහ පූජාව දෙනවිටත්. මේ පූජා දෙනකොට ඉතාම දැනීමෙන් අවබෝධයෙන් කළ යුතු වනවා. ඒ ක්‍රමයටම නුදුන්නොත් දීපු දෙයින් වැඩක් නැතිව යනවා. ඔය බොහෝ අය පූජාවන් දීලා ඉන් ප්‍රයෝජන ගන්ට බැරි ඒකයි. අපි නිකන් හිතමු ග්‍රහ පූජාවක් කරනව කියලා. එහෙනම් පලතුරු පූජාවක්, කැවිලි පූජාවක් දෙන්ට ඕනෑ. ඕක නිකන් දීලා හරියන්නෙ නැහැ. කසපැන් නැත්නම් තැඹිලි තබන්නටම ඕනෑ. නාගවල්ලි බුලත් තබන්නට ඕනෑ. ඒවා හැර පලතුරු වර්ග 5ක් වන්ට ඕනෑ. ඒ පලතුරුවලට ගස්ලබු තබන්නෙ නැහැ. එතකොටයි පංචෝපාකාර පූජාවක් වන්නේ. මේ ආහාර පසුව මනුෂ්‍ය ආහාරයට ගන්නවා. මේ ආකාරයට එක එක පූජාවට සාපේක්ෂව පලතුරු තබනවා. ඔබ දන්න එකක් තමයි පුංචි දූලා පුතාලා අකුරු කියවන කොට කළු උක්ගස් තබනවා.

අනිකුත් පලතුරු, කැවිලිවලට අමතරව, අනික තමයි ගිතෙල් හකුරු අනිවාර්යයෙන්ම තබන්න ඕනෑ පත්තිනි මෑණියන්ගේ පූජාවලදී. ඔය සමහරු දේවාල කළාට මේ විස්තර සම්පූර්ණව දන්නෙ නැහැ. කොච්චර රස කෑම සමඟ බැදුම් පිලිස්සුම් එහෙමත් තබලා බල්ලෙකුට දෙන කෑම ටිකකට කපුටු මස් හෝ කබර මස් ටිකක් දාලා දෙන්න කාවිද කියල බලන්න. උන්ගේ ජාන ශක්තියෙන් දන්නවා ඒවා නුසුදුසු බව. සතා වුණත් පිළිගන්නෙ අවශ්‍ය දේ විතරයි. මිනිසුන් විතරයි ඕන එකත් එපා එකත් නොමිලේ දුන්නොත් ගන්නේ.

මේ ග්‍රහ පූජා කරන්නෙ කොහොමද? ඒ ඇයි? මුලින්ම කෙනෙකුට කිසියම් කරදරයක් පීඩාවක් සිදුවන්ට ප්‍රථම ඒක යාන්තම් සංඥා කරනවා. තේරුම් යනවා. මේ වෙලාවට තත්කාල කේන්දරය පරික්ෂා කළාම පූර්ව රාශියෙන් එය අවබෝධ කර ගන්ට පුළුවන්. එක පාරටම වර්තමාන රාශියට බලපාන්නෙ නැහැ. පියවර 3කින් තමයි පලදෙන්නෙ. ග්‍රහයකුට පියවර 3ක් තියෙනවා. පූර්ව, වර්තමාන, පසු කියලා. බොහෝවිට අතුරු දශාව, අතුරු දශාව තිබෙන කාලයට තමයි පලදෙන්නේ. තත්කාල කේන්දරයේ වර්තමාන රාශියට එනකොට අතුරු දසා කාලය මුදුන් වනවා වැඩියි. අන්න ඒ කාලයට තමයි මේ ග්‍රහ පූජාව කරන්න ඕනෑ. මෙම පූජාවකින් කෙනකුගේ මරණය පවා වළක්වාගන්ට පුළුවන්කම තිබෙනවා. අවශ්‍යතාවය අනුව යන්ත්‍රයකින් වුවත් මේ නරක කාලය ගෙවා ගන්න පුළුවන්. නරක කාලයට ඉතාම යහපත් පූජාවක් තමයි මේ නවග්‍රහ පූජාව.

 

බහිරව පූජාව

 

මේ වගේම අපි කරන තවත් පූජාවක් තමයි බහිරව පූජාව. මේ බහිරව පූජාව බොහෝ දෙනෙක් කරල යහපත් ප්‍රතිඵල නොලැබූ බවට කොතෙකුත් දුරකතන පණිවුඩ ලැබෙනවා. මේ බහිරව පූජාවන් ගැනද හොඳ අවබෝධයක් තිබිය යුතු බවයි මගේ හැඟීම. බහිරව පූජාව මූලික වශයෙන් වර්ග දෙකයි. පාතාල බහිරව හා නිධන් බහිරව කියලා. මේ දෙකම බහිරව වුණාට ක්‍රම 2යි. නිධන් බහිරවයාට දෙන බහිරව පූජාවට අතතියන්ට ප්‍රථම නිධන් වදුල කියවලා හොඳ දැනීමක් තිබිය යුතුවනවා. මොකද ඒ ගැන පූර්ව විස්තරයක් ඒ පොතේ තිබෙනවා.

 

පාතාල බහිරවයා

 

කවුරු හරි ඉඩමක් ගත්තාම, ගෙයක් හැදුවාම පවතින රජයට වරිපනම් මුදලක් ගෙවිය යුතුවනවා. නොවුනොත් රජය ඔබට කරදර කරනවා. ඒ වගේම තමයි මේ ගෘහයට /ඉඩමට අධිගෘහිත බහිරව දේවතාවාට නියමිත පුද පූජා දෙන්ට ඕනෑ. ඉඩමක් අරගෙන හෝ ගෙයක් හදලා දින 90ක් යන්ට ප්‍රථම මේ පූජාව දෙන්ට ඕනෑ. මේ බහිරව පූජා සර්ව සම්පූර්ණ පූජාවක්. බහිරවයෝ 8 දෙනයි. අහසට එකයි. පොළොවට එකයි. ඔක්කොම දස දෙනයි. දස බහිරව පූජා නමින් හැඳින්වනවා. 1.නික්ඛංඩ බහිරව 2.ථූල බහිරව 3.උග්‍ර බහිරව 4.උච්චාටන බහිරව 5.තාල රාක්ෂ බහිරව 6.අධි බහිරව 7.අහාසි බහිරව 8.සංඛ බහිරව 9.සන්නි බහිරව 10.අෂ්ට බහිරව යනුයි. මේ සියලුම බහිරවයන් මුල්කරගෙන අෂ්ට බහිරව පූජාව දෙනවා. මේ සියලුම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රධානියා ඊශ්වරයා. එනම් ඊශ්වර තටුව මුලින්ම උඩටම හදනවා. ඊළඟට බහිරව පූජාව කෙසෙල් පතුරුවලින් අෂ්ට බහිරව පූජාව හදනවා. අන්තිමට පේ‍්‍රත තටුව හදනවා. මේ පූජාව විශේෂයෙන් කරන්නෙ පොළොව උඩ හදන ගෙයක් වෙනුවෙන් නැත්නම් මිලදී ගත් ඉඩමක් වෙනුවෙන්. ඔබ අහල ඇති දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හදපු හැටි. රත්නමාලි කියන බහිරව දේවතාවා ඇයගේ විමානය වන ගස කපා සෑය හදන්න ඉඩ දුන්නාද, කී වතාවක් සෑය ගිලා බැස්සුවාද? අන්තිමේදී රජතුමා ඇයට පොරොන්දු වුනාලු මෙතන හදන සෑයට ඇයගේ නම තබනවා කියා. එතකොට තමයි සෑය නිම කරන්න ඉඩ ලැබුණේ. මේවා ඔක්කොම වන්නෙ බහිරව පූජාව මඟින්. මේවා මිත්‍යා මත කියලා අහක දමන්න හොඳ නැහැ. මේ පොළොව මත ඕනෑම ගොඩනැඟිල්ලක් හදලා හෝ පෙර මේ පූජාව නොකොළොත් කරදර ඇතිවනවා.

 

 

පාරම්පරක ගුප්තවිද්‍යාධර /ඡ්‍යෝතිෂවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.