අපේ දේශීය අල වර්ග

මාර්තු 31, 2023

විදේශිකයන් ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ආහාරය වූයේ බත් ය. අතිරේක ආහාර ලෙස කුරක්කන්, මෙනේරි, ඇල් වී, තල, උඳු වැනි ධාන්‍ය වර්ගත් විවිධ අල වර්ගත් යොදා ගත් බව පැහැදිලි කරුණකි. අපේ ආහාර වේලට ගමෙන් ගොඩෙන් සොයා ගත් අල වර්ගවලට තිබුණේ ප්‍රධාන තැනකි. මේවා ගෙවතුවල ඉතා පහසුවෙන් වැඩුණු ඉතා ගුණදායි ආහාරයි. එහෙත් ඒවායේ ගුණා ගුණ නොදැනීමත් වවා ගැනීමට උනන්දු නොවීමත් නිසා අද සමාජයේ ආහාර වේලෙන් අල වර්ග ඈත් වෙමින් පවතී. ගෙවත්තේ ඉතා සුළු ඉඩ ප්‍රමාණයකින් වවා ගත හැකි ගුණදායක පෝෂ්‍යදායක මෙන් ආර්ථික වශයෙන් ලාභදායි අලවර්ග රාශියක් මෙරට තිබෙනවා. ඈත අතීතයේ පටන් ලාංකීය ජනතාව අතර ප්‍රචලිතව තිබූ දේශීය අල වර්ග කිහිපයක් ගැන අපි අද විමසා බලමු.

 

ආටිචෝක් අල

 

ලංකාවේ තෙත් කලාපයේ සාර්ථකව වගා කළ හැකි ආහාරයට ගැනීමේදී ඉක්මනින් කුස පිරෙන අල වර්ගයකි. පෙබරවාරි, මාර්තු මාසවලදී මෙම අල සිටුවන අතර, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අස්වනු ලබාගත හැකිය. අලය සාමාන්‍ය දෙහි ගෙඩියක ප්‍රමාණය වන අතර, ඉතා ඝන පොත්තකින් ආවරණය වී ඇත. පොත්ත ඉවත්කර දෙපළු කළ විට තැම්බූ බිත්තරයක සුදු හා කහ මද මෙන් වර්ණ දෙකකින් අලය දැක ගත හැකිය. කහ ශාකයට බොහෝ සමාන වූ පත්‍ර ඇතත් එම පත්‍රවලට වඩා රළු ගතියකින් යුක්තය. ගසේ මවු අලයෙන් විහිදෙන සිය ගණනක් මුල් ගස වටේට දක්නට ඇත. නොදන්නා අය අල ගැලවීමේදී අඩු අස්වැන්නක් දකී.

නුපුරුදු අය මෙම අල වැඩිපුර ආහාරයට ගැනීමෙන් සුළු බඩේ කැක්කුමක් සමඟ දෙතුන් වරක් මල පිටවේ. එහෙත් අපහසුතාවයක් ඇති නොවේ. හොඳින් වැඩුණු එක ගසක් ගලවා ගැනීමෙන් තිදෙනෙකුට උදේ ආහාර වේල පිරිමසා ගත හැකිය. ගෙදර එකතුවන කුණු ටික ගස මුලට දැමීම හැර වෙනත් පොහොර අවශ්‍ය නැත.

හුලංකීරිය

 

කිසිම පොහොරක් නොදමා හොඳ අස්වනු ලබා ගත හැකි රසවත් අල වර්ගයකි. තද කොළ පැහැති පත්‍රවලින් යුත් මෙම ශාකය අඩි 1 -2 ක් පමණ උසට වැවෙන වාර්ෂික පැළෑටියකි. ගසේ මවු අලයෙන් ඉතා සියුම්ව ආරම්භ වන අල වැඩීමේදී අග කෙළවර ක්‍රමානුකූලව විශාල වී වැඩෙනු දැකිය හැකිය. අලය ත්‍රිකෝණ හැඩයකින් යුත් පොතුවලින් ආවරණය වී ඇති අතර, අලයක් අඟල් 4 සිට 12ක් පමණ දිගට වැඩේ. මෙහි අග කොටස මොලොක් ගතියක් ඇති අතර, අමු අල සැපීමේදී කිරි මෙන් මිහිරි රසක් ඇත.

මෙහි ළපටි කොටස් තම්බා ගත් විට පොල් සමඟ ඉතාම රසවත් හා ගුණදායක ආහාරයකි. අජීර්ණ රෝගීන්ට මෙන්ම නිතර මල බුරුල්ව පිට වන අයටත් අර්ශස් රෝගයෙන් වැළකීමටත් ඉතාම ගුණදායකය.

දෙසැම්බර්, මාර්තු මාසවලදී අස්වනු නෙළාගනු ලබන අතර, මේරූ අල සිහින්ව පෙති කපා අව්වේ වියළා භාජනවල දමා තැබීමෙන් මාස 6 -8 ක් පමණ තබා ගත හැකිය. අවශ්‍ය විටෙක එම අල කොටා පෙනේරයකින් හලා ගෙන තලප, තලප කැඳ, රොටි මෙන් සකස් කර ගැනීමට පිළිවන. මෙම අලවල ඇති කෙඳි මල මාර්ගය පිරිසුදු කරයි. රෝග වළක්වයි.

 

වැල් අල

 

වැල් අල වර්ග ප්‍රභේද රාශියක් ඇත. එහෙත් බහුලව දක්නට ලැබෙන අල වර්ගයක් වන වැල් අල රාජල, කහට අල වැනි විවිධ නම් වලින් හඳුන්වයි. අලය කැපීමේදී තද කහට ලක්ෂණ පෙනෙන බැවින් කහට අල ලෙස හඳුන්වයි. පිටි ගතිය බහුල රසවත් ආහාරයකි. අල ඉහටි කොතැන තිබුණත් මාර්තු,අපේ‍්‍රල් මාස වලදී පැළවේ. අල ඉහටි සහ කිරි කොඩොල් සිටුවීම සඳහා ඉතා සුදුසුය. බුලත් කොළයක හැඩය ඇති මාංසල පත්‍ර පොඩි කළ විට ඇලෙන සුලු ගතියක් ඇත. ජනවාරි, පෙබරවාරි, මාසවල අස්වනු නෙළනු ලබයි. සරුවට හැදුණු වැළක් ආධාරක ශාකයක එතී අඩි 50 -60ක් උසට වැඩේ. අල ගැලවීමේදී අඩි 2 ය 2 වලක් අඩි 3 පමණ ගැඹුරට හෑරීමෙන් අලයට හානි නොවී ගලවා ගත හැකිය. තම්බා වතුර පෙරා ගත් විට ඉතා රසවත් ආහාරයකි. වෑංජන ලෙසද සකස් කර ගත හැකිය. අලේ ඉහටි කොටස ආහාරයට ගත නොහැකිය.

 

උඩල

 

උඩල වෙනත් අලවලට වඩා විශේෂයක් ඇති ප්‍රභේදයකි. වැලේ උඩ කොටසේ හා පොළොව යටද අල ඇතිවේ. උඩ අල බහුලව ඇතිවන බැවින් මෙම වැල් උඩල නමින් හඳුන්වයි. තරමක් මේරූ අල පොත්ත ඉවත් කර තම්බා ගත් විට අර්තාපල් අලවල රසට සහ පැහැයෙන් සමාන ලක්ෂණ ඇත.

පොළොවේ යට හැදෙන අලය අවුරුද්දකට පසු පෙබරවාරි මාසයේ ගලවා ආහාරයට ගත හැකිය. මෙම වැලක් සිටුවා ගැනීමෙන් වසර පුරාම අස්වනු වරින්වර නෙළා ගත හැකිය.

එහෙත් අවාසනාවකට මෙන් මෙම අල වර්ගය ඉක්මණින් වද වී යයි. ඒ වෙනුවට ඒ හා සමාන ලක්ෂණ ඇති පණු කොඩොල් නමින් හඳුන්වන වර්ගයක් ඇත. අලයේ පොත්ත මඳක් කපා දිව ගා බැලීමෙන් එහි ඇති තිත්ත රසය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. උඩල වැලේ හට ගන්නා ගෙඩි කිලෝ 1 -3 පමණ බරට හැදෙන අතර, විශාල ප්‍රමාණයක් ගෙඩි ඇති වේ.

බුත්සරණ

 

මෙම අල වර්ගය තෙතමනය සහිත පසේ වැඩිපුර හොඳින් වැඩෙන අතර, වාර්ෂික පැළෑටියක් ලෙස දක්නට ඇත. ගසේ වැඩි කොටසක් දම්පාටට දක්නට ඇත. මෙහි අංකුර සහිත කුඩා අල සිටුවීමෙන් ශාක වර්ධනය කරගත හැකිය. දෙසැම්බර් හා පෙබරවාරි අතර, අස්වනු ලැබේ. මේරූ අල ඉතා මිහිරි රසයකින් යුත් අතර, ඉතා සුළු ප්‍රමාණයකින් කුස පිරී යනු දැනේ. අල ගලවා මුල් ඉවත්කර හොඳින් සෝදා තම්බා ගත යුතුය. තැම්බීමෙන් පසු ඝන පොත්ත ඉවත්කර ලුණු එකතු කර පොල් සමඟ ආහාරයට ගත හැකිය. එක පදුරක අල පවුලේ තුන් දෙනකුට පමණ සෑහේ. මෙම ගස් වර්ග කැනස් ගසට බොහෝ දුරට සමානය. ගසක් අඩි 2 -5 පමණ උසට වැඩේ.

තම්බා ගැනීමට අමතරව සමහර ගැමියන් අල පොල් සමඟ කොටා මිරිකා ඉස්ම ගෙන ළිප තබා තම්බා සීනි සමඟ තලප ලෙස සකස් කර ගනී. අල සැපීමට දත් නොමැති අයට මෙය හොඳ ක්‍රමයකි. එසේම අල වියළා පිටි කොටා වෙනත් ආහාර වර්ගද (පිට්ටු,හැලප, අළුවා) සකස් කර ගත හැක.

 

උපදෙස්

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.