ඡ්‍යොතිෂායුර්වේද චක්‍රවර්තී ගම්පහ වික්‍රමාරච්චි ශ්‍රීමතාණෝ

සැප්තැම්බර් 28 වැනිදාට යෙදී ඇති ගම්පහ වික්‍රමාරච්චි වෙදැදුරාණන්ගේ 134 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙනි.
සැප්තැම්බර් 22, 2023

ඒ 1929 වසරේ ජූලි 29 වැනිදාය. එදින පෙරදිග දේශීය වෙදකමටත් ඒ හා බැඳුණු ඡ්‍යොතිෂවේදයටත් මහත් සේ ඇලුම් කළ වික්‍රමාරච්චි පණ්ඩිත රාලහාමිගේ හිසේ මලක් පිපුණු තරමට සතුටු වූ දිනයක් විය. තමාගේ කැපවීමේ, මහන්සියේ අග්‍ර ප්‍රතිඵල තම දෑස් ඉදිරිපිටම ගම්පහ යක්කල හන්දිය වසාගත් ගොඩනැඟිල්ල සුදු පැහැයෙන් යුතුව ගාම්භීරව නැඟී සිටින්නේ ප්‍රතාපවත් ලෙසිනි. මෙනිසාම පණ්ඩිත රාලහාමිගේ සිතේ තිබූ විශාල බරක් සැහැල්ලු වී තිබිණි.

තමා ශිල්පදුන් තරුණ වෛද්‍යවරුන් පිරිවරා ගත් පණ්ඩිත රාලහාමි එතැනට පැමිණ සිටි කහවේ ශ්‍රී සුමංගල රතනසාර හිමි, රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමි ඇතුළු මහා සඟරුවනත්, සර් ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක, ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩොනල්ඩ් ඩී. උභයසේකර යන ජන නායකයින් පිළිගෙන ඔවුන් සමඟ එක්ව තමා දුටු සිහිනයේ අග්‍රඵලය නෙළා ගැනුමේ මංගල්‍යයට උරදී සිටියි.

එදින ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීම සිදු වූයේ එලෙසය. මෙරටේ පෙරදිග දේශීය වෛද්‍ය විද්‍යාව හෙවත් ආයුර්වේදයත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් ඉගැන්වීමට සහ එහි ප්‍රගමනයට සුදුසු තැනක් අවශ්‍යය යන අපූරු සිතුවිල්ල පණ්ඩිත රාලහාමිගේ සිතට නැඟෙන්නේ එතුමා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස භාරත දේශයේ ඉගැනුම ලබන සමයේදී ය. එය සැබෑවක් බවට පත්වූයේ ලංකාවේ පමණක් නොව විදේශයක සිටින්නකුට පවා පැමිණීමට පහසු ගම්පහ යක්කල නුවර පාරට මායිම්ව. සිසිල් වෙල්යායකට සමීපව ඇළ දොළ දියපහර ආශි‍්‍රතව මෙම සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය ඉදිවීමත් සමඟය.

දේශීය වෛද්‍ය ක්‍රමය හෙවත් ආයුර්වේදය ඉගෙනුමට ලංකාවේ සතර දිගින් තමා සොයා පැමිණෙන තරුණ ප්‍රජාවට අත්වැලක් සැපයිය හැකි ආයතනයක් ගොඩනඟන්නට ඔහුට බොහෝ වෙහෙසෙන්නට විය. සුවිසල් ගොඩනැඟිලි සමූහයකින් මේ අගනා වෛද්‍ය විද්‍යාලය අද ද නැඟීසිටින්නේ වික්‍රමාරච්චි පණ්ඩිත රාලහාමි ශ්‍රීමතාණන්ගේ ගුණ සුවඳ දසතම පතුරුවමිනි. රටට එවන් සේවයක් කළ වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ 134 වැනි ජන්ම දින සැමැරුම මේ මස 28 වැනිදාට යෙදී තිබේ. මේ පෙළගැසෙන්නේ මෙරට ආයුර්වේදයට සහ ඡ්‍යොතිෂයට නව ජීවයක් ගෙන ආ පණ්ඩිත වික්‍රමාරච්චි වෙදැදුරාණන්ගේ ඒ අමිල මෙහෙවර පිළිබඳවය.

මෙරට තරුණ ගැටවරයන් වෛද්‍ය ශාස්ත්‍රය ඉහළට ඉගැන්වීමට යොමුකර ගැනුම සඳහා නිරතුරුව වික්‍රමාරච්චි පණ්ඩිත රාලහාමි වෙත එන මවුපියන් බොහෝ ය.

“රාලහාමි, පුතා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න කැමැතියි. පාසලේ හපනා, අපේ පුතාට අවස්ථාවක් දෙන්න පුළුවන්ද?”

මේ ආදී ලෙස ආයාචනය කරමින් තමන් වෙත පැමිණෙන මවුපියන්ට පණ්ඩිත රාලහාමි වෙතින් ලැබෙන්නේ මෙවන් පිළිතුරකි. “දරුවාගේ වේලාපත්කඩය අරගෙන දරුවත් එක්ක ආවොත් හොඳා” යනුවෙනි. පසුදින මවුපියන් සමඟ පැමිණෙන ගැටවරයා තම කන්තෝරු කාමරයට කැඳවන පණ්ඩිත රාලහාමි ගැටවරයාගේ ජන්ම පත්‍රය තම මේසය මත අතුරයි. ජන්ම පත්‍රය ඉතා හොඳින් පරීක්ෂා කරයි. ජන්ම පතට අනුව චන්ද්‍රයා සුබ නැකතක පිහිටා ඇත්නම් වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ හැකි ග්‍රහ පිහිටීම් පිළිබඳ ඔහු තර්කානුකූලව විග්‍රහ කර බලයි. අනතුරුව ජන්මපත අතට දී සුබ මුහුර්තයෙන් වෛද්‍ය විද්‍යාලයට එම ගැටවරයා ඇතුළත් කර ගැනුම පණ්ඩිත රාලහාමිගේ පිළිවෙතයි. ගැහැනු දරුවන් දේශීය වෙදකම සඳහා යොදා ගැනුමට පණ්ඩිත රාලහාමි එතරම් කැමැත්තක් නොදැක්වීය. කෙසේ නමුත් එකල පෙරදිග වෛද්‍ය ක්‍රමය ඉහළම තලයක පැවැති ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඉහළටම යනවා දැකුම පණ්ඩිත රාළහාමිගේ පැතුම විය. මේ එතුමාගේ කතාවයි.

 

උපත

1889 සැප්තැම්බර් මස 28 දින සියනෑ කෝරලයේ නැදුන්ගමුවේ වෙදැදුරු වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි සහ දෝන සාරනෝනා ධර්මවතී යුවළට දාව කුඩා පුත් කුමරුවකු මෙලොව එළිය දුටුවේය. ඒ සය දෙනකුගෙන් යුතු පවුලේ තුන්වැන්නා ලෙසය. කුඩා බිලිඳාගේ වේලාපත්කඩය අනුව සුබ ගණ අනුව නම තැබුණේ ග්‍රේබියල් පෙරේරා වික්‍රමාරච්චි ලෙසය. ග්‍රහ පිහිටීම් අනුව කීර්තිමත් පඬිවරයකු වන බව කල්තියාම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනවින් දත් වෙදැදුරු වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි මහතා දැන සිටියේ ය. තමා දන්නා වෛද්‍ය ශාස්ත්‍රයත් ඡ්‍යොතිෂවේදයත් දිනෙන් දින වැඩෙන සුරතල් සිඟිති පුතුට ඉගැන්වීම වෙදමහතාගේ අභිප්‍රාය විය.

 

අධ්‍යාපනය

කුඩා ග්‍රේබියල් වික්‍රමාරච්චි මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් කරනු ලැබුවේ හේනේගම ජාතික පාසලටය. ඉන්පසුව උසස් අධ්‍යාපනය සඳහා ගොඩගෙදර උත්තරමූල පිරිවෙනටත් පසුව එවකට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අධිපතීත්වයෙන් යුතු වූ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනටත් ඇතුළත් විය. පිරිවෙනේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස තේරී පත්වන ග්‍රේබියෙල් ශිෂ්‍යයා සිංහල, ඉංගී‍්‍රසි, පාලි, සංස්කෘත, ඡ්‍යොතිෂය විෂය ක්ෂේත්‍රයන් මෙන්ම චරක සුශ්‍රැත ආදී වෛද්‍ය සිද්ධාන්තයන් ද ගැඹුරින් හදාරා ප්‍රාථමික, මධ්‍යම, අවසාන වශයෙන් විභාග සමත් වී 1913 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබුවේ ය. 1915 දී එවකට ලංකාවේ ආණ්ඩුකාර පදවිය දැරූ ඉංගී‍්‍රසි ජාතික ශ්‍රීමත් රොබට් චාමස් මහතාගේ සුරතින් වෛද්‍ය උපාධිය එතුමා ලද්දේ ය.

රජයේ ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාවේ කල්කටාවේ ජ්‍යාමිණි භූෂණ පඬිතුමාගේ අධිපතිත්වයෙන් පැවති අෂ්ටාංග ආයුර්වේද විද්‍යාලයෙන් ආයුර්වේද වෙදකම උසස් ලෙස හදාරා තම දැනුම ඔප්නංවාගෙන යක්කල එතුමා සතු මනරම් භූමියක සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කළේ ය. පණ්ඩිත උපාධිය ලැබූ පළමුවන ගිහියා එතුමා වශයෙන් සැලකේ.

සිද්ධායුර්වේද ගුරු කුලයේ නිර්මාතෘවරයාණන් වන එතුමා තුළ පැවති විශාරදත්වය, උගත්කම, නැණවත්කම, පාණ්ඩිත්වයෙන් ද, ප්‍රඥාවෙන් ද ක්‍රියා කෞශල්‍යයෙන් ද, අවංක භාවයෙන් ද වෛද්‍ය කර්මයේ දැක්වූ නිපුණභාවය ද අතිමහත් ය. දහස් සංඛ්‍යාත ගෝල පිරිසක් සිද්ධායුර්වේද විද්‍යාලයෙන් බිහිකළ ඒ මහා පඬිවරයාණෝ ආත්ම ශික්ෂණයෙන් හා දැනුමෙන් සපිරි ගෝල පිරිසක් රටට දායාද කළේ ය. රටේ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට මහඟු දායකත්වයක් දැක්වීය.

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නමින් මේ වන විට පවතින එවකට එතුමා අතින් බිහිවුණ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන දා එතුමාගේ උදාන වාක්‍ය වී ඇත්තේ, මා විසින් දල්වන ලද මේ ප්‍රදීපයේ ආලෝකයෙන් මේ කුඩා ශාලාව තුළ අඳුර පහ වී ආලෝකවත් වන්නාක් මෙන්ම මේ විද්‍යාලය මඟින් පතුරුවා හරිනු ලබන ශාස්ත්‍රාලෝකයෙන් මුළු දිවයිනම ඒකාලෝක වේවායි මම ප්‍රාර්ථනා කරමි යන්නයි. එතුමාගේ ඒ උත්තම අදහස සඵල කරමින් අද දින වන විට දිවයිනේ සෑම නගරයකම “ගම්පහ” යන නාමයට නව අර්ථකථනයක් දෙමින් “ගම්පහ සිද්ධායුර්වේද ඖෂධාලය” යන නමින් ඇති බෙහෙත්ශාලා පිහිටුවා එතුමා ගේ ගෝල පිරිස රටේ ජනතාව රෝග බියෙන් බේරාගැනීමේ මහඟු කාර්යයේ නියැලෙමින් සිටී.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ රජයෙන් එතුමාට සෙනෙට් සභා මන්ත්‍රී ධුරයක් පිරිනමා තිබුණි. නොතාරිස්වරයකු වන ජී.පී. වික්‍රමාරච්චි පඬිතුමාණන් පර්යේෂණාත්මකව ලියූ පොත් පත් අතර භෝජන සංග්‍රහය, ලක්දිව රක්ත රෝග සංග්‍රහය, සමාජ ගොවි කාව්‍ය හා ජනේද්‍රපමාලංකාරය, සමාචාර ශාස්ත්‍රීය සංග්‍රහය වෙයි. පුවත්පත් සඳහා එතුමන් ලියූ වෛද්‍ය ලිපි වෛද්‍යවරුන් අතර මෙන්ම පාඨක ජනතාව අතර මහත් ප්‍රශංසාවට ලක් වූයේ ය.

හම්බන්තොට ප්‍රදේශයේ කපු වගාව ආරම්භ කොට සියතින් පිළියෙල කරගත් ඇඳුම් ඇඳීමට හුරු පුරුදු වූ එතුමා නිකවැරටිය ප්‍රදේශයේ වැවක් ආශි‍්‍රතව ඉඩම් ලබාගෙන වී ගොවිතැනටද අතහිත දුන්නේ ය.

ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය සම්ප්‍රදායේ නිර්මාතෘ වන ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් තමන් යටතේ අධ්‍යාපනය ලද ආයුර්වේද වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් බිහිකර රෝගීන් සුවපත් කිරීම සඳහා අමිල සේවයක් සිදු කරන ලද අතර, එම වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය කරන සියලු ඖෂධ නිපදවීම සඳහාත් ශිෂ්‍යයින්ගේ ඖෂධ සංස්කරණ විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සඳහාත් යක්කල පිහිටි ගම්පහ රසායනෞෂධ සමාගම බිහිකරන ලදි.

මෙරට කිසිවකුට නොදෙවෙනි මිල කළ නොහැකි සේවාවක් රට ජාතිය වෙනුවෙන් ඉටුකරන ලද ජී.පී. වික්‍රමාරච්චි ඡ්‍යොතිෂායුර්වේදයේ නිපුණයා 1975 මාර්තු මස 28 වැනි දින තම දිවියෙන් සමුගෙන ගියද එතුමා කළ උදාර සේවයට තවත් වසර දස දහස් ගණනක් උපහාර පිදෙනු ඇත.

 

විශේෂ ස්තූතිය - ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය චමරි වෛද්‍යරත්න දේශීය වෛද්‍ය විමල් පියතිලක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.