අතීතයේ සිට පැවැතෙන මන්ත්‍ර ශාස්ත්‍රය

දෙසැම්බර් 8, 2023

මන්ත්‍ර ශාස්ත්‍රය යනු ප්‍රබල ගුප්ත විද්‍යාවකි. විධිමත් අක්ෂර සංයෝගයක් මත ගොඩනැඟුණු මෙම බලගතු ශාස්ත්‍ර ක්‍රමය මඟින් සිදුකරනු ලැබූ විශ්මය ජනක බොහෝ දේ පිළිබඳව ඈත අතීතයේ ද මෑත භාගයේ ද කොතෙකුත් අසන්නට ලැබේ. යම් යම් හේතූන් මත මනුෂ්‍යයා කෙරෙහි බලපවත්නා ව්‍යසනයක් සමනය කර ගැනීමට මෙම මන්ත්‍ර ශාස්ත්‍රය බෙහෙවින්ම උපකාරීවන බව පැහැදිලිය.

රාවණා රජතුමාද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයද විශාරදත්වයෙන් දැන සිටියෙක් බව කියැවේ. වෛද්‍ය ශාස්ත්‍රය, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය ආදිය එකට බැඳුණු සම්බන්ධතා පවතින ශාස්ත්‍රයන්ය. පුරාතනයේ වෛද්‍ය කර්මය සඳහා යොදා ගන්නා තෙල්, බෙහෙත්, ගුළි, කල්ක ආදිය සකස් කිරීමේ දී ශුභ මුහුර්ති අල්ලා ඒවා පිළියෙල කිරීම ආරම්භ කිරීමක්, මන්ත්‍ර බලයෙන් ජප කොට ඒවා බලගැන්වීමක් සිදුකොට ඇති බව දැක ගන්නට ඇත. දැනුදු ශුභ මුහුර්තයෙන් ඖෂධ සකස්කොට මන්ත්‍රබලය යොදා ජපකොට රෝග නිවාරණය කළ හැකි ශාස්ත්‍ර උගත් පිරිස නැත්තේම නොවේ. එකී ශාස්ත්‍ර ක්‍රමයන්ගෙන් ඉෂ්ඨාර්ථ ලබාගත හැකි වූයේ භාෂා ශාස්ත්‍ර ඡ්‍යොතිෂය උගත් බුද්ධිමතුන්ටය. පුරාණ ශාස්ත්‍ර කරුවන් තම මන්ත්‍ර පොත්පත් ආදිය අනුන් අතට යාමට ඉඩ නොදී විනාශ කර දැමීම ද මෙම ගුප්ත ශාස්ත්‍රය අභාවයට යාමට එක් හේතුවක් වන්නට ඇත.

ඉතා ආදියෙහි මෙම ශාස්ත්‍ර ක්‍රමය භාවිත වූයේ බ්‍රාහ්මණ වංශිකයන් අතරෙහිය. ‘ශ්‍රෝත’ කර්මයයි කියනු ලැබූ පූජා විශේෂයක් පැවතියේය. බොහෝ විට බ්‍රහ්මණයන්ගේ යැපීමටද මෙම ශ්‍රෝත කර්ම ඉවහල්විය. මෙම යාගවලදී මැතිරිය යුතු වේද වාක්‍යයන්හි බහුලතාවය නිසාත් වෙනත් නොයෙක් පරිකර්ම නිසාත් බොහෝ පිරිසක් මෙයට අවශ්‍ය විය. මෙම යාග කර්මයෙන් ලැබිය හැකි ප්‍රතිඵල කොතරම් උසස් වුවත් ඒවා සිදු කළ හැක්කේ පොහොසතුනටම පමණක් බව පෙනෙයි.

කිරි, දී, ගිතෙල්, බත් ආදිය පිදීම ද සෝම රස පූජා විධියද මෙයට ඇතුළත්ය. සෝම රස යනුවෙන් හැඳින්වෙන්නේ එක්තරා කිරි පැළෑටි වර්ගයකින් පිළියෙල කර ගන්නා මත්පැන් විශේෂයකි. එම මත්පැන් විශේෂය පෞරාණික දේව පූජාවන් සඳහා යොදා ගන්නා ලද ඉතා වැදගත්ම පූජාවක් ලෙස සැලකූහ. වෛදික යාගයත් අතර සෝම යාගය අතිශයින්ම ගරු ගාම්භීරය. ඒවා සියලු යස ඉසුරු ලබාගැනීමට ද අමරණීය භාවයක් ගෙනදීමට ද මහත් බලයක් ඇතිව තිබූ බවක් විශ්වාස කෙරිණ. මේවා අතරින් ඉතා වැදගත්කොට සලකනු ලැබුවේ රජකුමරෙකු රජකමට පත්වීමේදී ඔහුගේ රාජ්‍ය සමය බලසම්පන්න වීම සඳහා පවත්වන ලද ‘රාජසුය’ නම් යාගයයි.

‘අශ්ව මේධ ‘ යනුවෙන් තවත් යාග ක්‍රමයක් පිළිබඳව කියැවේ. හුදෙක් රජවරුනට පමණක්ම සිදුකළ හැකි එවැනි යාග සාමාන්‍ය ජනයාට සිදුකිරීමේ හැකියාවක් නැත. පුරාණයේදී රජවරුන්ගෙන් සැලකිලි තාන්න මාන්න ලබා ගැනීමේ අරමුණෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය දික්කරගත් බවක් ද පෙනෙන්නට තිබේ.

ඇතැම් බ්‍රාහ්මණ පඬිවරුන් දින ගණන්, සති ගණන් ඇතැම්විට මාස ගණන් ගත කිරීම සඳහා බොහෝ විට අශාස්ත්‍රීය දේවල් පවා මේවාට ඈඳා ගත් බවක් ද දක්නට ලැබේ. යමෙකු විසින් කරනු ලැබූවරද ගතානුගත භාවයෙන් යුතුව අනෙකා ද කරගෙන ගියා මිස සත්‍යා සත්‍යය කුමක්දැයි වටහාගැනීමට තරම් ශාස්ත්‍රීය දැනුමක් පසුකාලීනයනට නොවූවායයි සිතීමටද බැරිකමක් නැත. ඉන් සිදුවුයේ මහඟු ශාස්ත්‍ර ක්‍රමයක් ක්‍රමයෙන් මහජනයාගේ අප්‍රසන්න තාවයට ලක්වීමය. අක්ෂර දෙකක් ඝට්ටනය වීමෙන් හටගන්නා ශබ්දය වුව නිවැරැදිව උච්චාරණය කළහැකි සමතුන් අද සිටින කට්ටඩිමහතුන් අතර සිටින්නේ කීයෙන් කීදෙනෙකුදැයි කිව නොහැකිය.

ලෝකයා මුළාකොට බඩවඩා ගැනීම සඳහා මෙවැනි උතුම් ශාස්ත්‍ර වැරදි ආකාරයෙන් යොදා නොගත යුතුය. මෙම ශාස්ත්‍ර නිපදවීම සඳහා පෞරාණික ආචාර්යවරුන් දැක්වූ කරුණු හරිහැටි අවබෝධ කරගන්නේ නම් මෙම ශාස්ත්‍රයෙහි වටිනාකමක් සත්‍යමය ශාස්ත්‍රීය ස්වභාවයක් වැටහෙනු ඇත.

මේ ලෝක ධාතුවෙහි පවත්නාවූ ජීවිතේන්ද්‍රිය සත්ව සමූහයාගේ පටන් ජීවිතේන්ද්‍රියන්ගෙන් තොර ගස්ගල්, පර්වත, කඳුවැටි ආදී සෑම වස්තුවකම ඇතිවීමට හෝ නැතිවීමට ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන්ගේ බලපෑම හේතු වන්නා සේම ස්වර ශාස්ත්‍රයේ පැවැත්මට ද පංච මහා භූත බලය හේතුවෙයි. අක්ෂර සංයෝගයෙන් උපදින භූතාත්මක බලය, අක්ෂර සංයෝග ශාස්ත්‍රීත්වය ආධාරයෙන් තව තවත් බලවත් කිරීමට හෝ බල හීන කිරීමට යොදාගත හැකිය. යම් කෙනෙකුගේ නාමයක හෝ යම්කිසිවක් හැඳින්වීමට යොදාගන්නා නාමයක නැතහොත් ව්‍යාපාරයන් හැඳින්වීම සඳහා යොදාගන්නාවූ නාමයක පවතින්නාවූ ස්වර ව්‍යාංජනාදී අක්ෂරයන්හි පවතින්නාවූ භූත බලය හේතුකොට ගෙනම වැඩදායී හෝ අවැඩදායී බව සිදුවන්නේ ය.

සෑම කෙනෙකුම සැප ලබාගැනීමට කැමැතිය. එහෙත් දුක නොලබා සිටීමට ගතයුතු ක්‍රියාමාර්ග සෙවීමට උත්සාහ නොගනී. එසේ නම් සැපක් කොහි තිබේද? ඉෂ්ඨාර්ථ ප්‍රාප්තියක් සඳහා හිතානු සාසනයක පිහිට ලැබිය යුතුය. උභය ලෝකාර්ථ සාධක වූ එවැනි හිතානුශාසනය ශාස්ත්‍ර නමින් හඳුන්වනු ලබයි.

ශිෂ්‍යා කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡ්‍යොතිෂ, ඡන්දස්, සෘග්, යජුස්, යාමන්, අතර්වන්, මීමංශා, න්‍යාය ධර්ම, ශාස්ත්‍ර, පුරාණ, ආයුර්වේද, ගාන්ධර්ම, අර්ථ ශාස්ත්‍ර යනුවෙන් අටළොස් කොටසකින් දක්වා ඇත. මේ තුළ මන්ත්‍ර ශාස්ත්‍රයද ගැබ්ව ඇත. චතුර්වේදයෙහි මන්ත්‍ර ශාස්ත්‍රය පවත්නා බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ලංකාද්වීපය තුළ ඉතා අල්ප වශයෙන් පැතිරගොස් තිබූ දෙවී භාෂාව පුරාණයේ මගධයේ ව්‍යාප්තව තිබූ භාෂාවන්ගෙන් එකකි. එයට ව්‍යාකරණය එකතු වී ඇත්තේ බොහෝ දුරට එය ජනතාව අතර පැතිරී ව්‍යාප්ත වූවාට පසුවය.

ඉන්ද්‍රය, චන්දය, කාස කෘෂ්ණ, අපිශාලි, සාකටායන, පානිණී, අමර, ජෛනේද්‍ර යන අෂ්ට ශබ්දයන් ව්‍යාකරණ තැනීමේදී මුල්තැන ගත්බව පෙනෙයි. භාෂාවක පවතින අයහපත් ශබ්දයන්ගෙන් යහපත් ශබ්දයන් වෙන්කොට ශිෂ්ට සම්පන්න ආකාරයට භාෂාව හැසිරවීමට යම් ශාස්ත්‍රයකින් උපදෙස් දේද එයට ව්‍යාකරණ යනුවෙන් ද මන්ත්‍ර යනුවෙන්ද කියනු ලැබේ. ශබ්දානශාසනා, ශබ්ද ලක්ෂණ, ශබ්ද උත්පාදක යනුවෙන් හැඳින්වෙන්නේ ද එයමය.

ව්‍යාකරණ මන්ත්‍රයන්ගෙන් තොර භාෂාවකට කල් පැවැත්මක් නැත. කල්යාමේ දී එවැනි භාෂාවක සදොස් උච්චාරණාදියෙන් භාෂා ධර්ම කෙලෙසේ. සදොස් උච්චාරණ පදකිලිටිය, කිලිටි පද දුෂ්ටය දුෂ්ට පද අර්ථාවබෝධ නොකරයි. ශබ්ද ශ්‍රවණ වශයෙන්, වර්ණ වශයෙන් හෝ දර්ශන වශයෙන් නුසුදුසු පරිදි යෙදූ විට අර්ථාවබෝධයක් සිදු නොවේ. ශබ්දය සුබ හෝ අසුබ නිපදවීමට සමත් වේ. යහපත සැලසෙනුයේ යහපත් උච්චාරණයෙනි. යහපත් ව්‍යවහාරයෙනි.

මන්ත්‍ර ශාස්ත්‍රයෙහිදී ශබ්ද උච්චාරණයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ ශබ්ද බුද්ධි හේතුක අබුද්ධි හේතුක යයි දෙවැදෑරුම්ය. සෘතු ආදියෙන් හටගත් බුද්ධි හේතුවක් නොමැතිව මේඝ ආදී ශබ්ද අනුබුද්ධි හේතුකයි. ඊට අමතර බුද්ධි සහිත ශබ්දයන්ද බුද්ධි හේතුකයි. නැවතත් ස්වාභාවික හා කාල්පනික යනුවෙන් කොටස් දෙකකට බෙදෙයි. හාසිකා හෙවත් සිනාසීමෙන් ආදියෙන් හට ගන්නා ශබ්ද ස්වාභාවිකය. කල්පනාවෙන් හටගත් ශීත වර්ණාත්මක වෙයි. බෙර උඩැක්කි ආදියෙන් හට ගන්නා ශබ්ද වාද්‍යයයි. ගැයීමේදී හටගන්නා ශබ්ද ගීතයයි. බොටුව, තොල, නැහැය යන ස්ථානයන්හි ගැටීමෙන් උපදින ශබ්ද වර්ණාත්මකයි. මේ වේද අතරින් කාල්පනික වර්ණාත්මක ශබ්ද උච්චාරණා දී වශයෙන් සාධු ශබ්ද මන්ත්‍ර නමින් නම් කෙරේ. මේ බව වර්ණෝත්පත්‍රිකය ග්‍රන්ථයෙහි ඉතා ආදියෙහිම දක්වා ඇත. මෙසේ කණ්ඨාජාක්ෂර, තාලුජ, මූර්ධජාදීන්ගේ උත්පත්තියට ඒ ඒ ස්ථානගත ඒ ඒ ධාතූන්ගේ සම්බන්ධතාව ඇතිව සිදුවේ. මෙහිදී උච්චාරණය නිවැරැදි නොවී කිලිටිවී නම් මන්ත්‍රයෙන් ගත හැකි ප්‍රයෝජනයක් නොවනු ඇත.

ආගමෝක්ත මන්ත්‍ර, වේදෝක්ත මන්ත්‍ර, පුරාණෝක්ත මන්ත්‍ර යනුවෙන් මන්ත්‍ර කොටස් තුනකි. ඒ ඒ ආගම්වලට අදාළ ඒ ඒ ආගම්වලින් ප්‍රකාශිත ධ්‍යානාදිය මුල්කරගෙන නිෂ්පාදිත මන්ත්‍ර ආගමෝක්ත මන්ත්‍ර වශයෙන්ද, සර්ග, ප්‍රතිසර්ග, වංස මන්වන්තර, වංසානු චරිත වශයෙන් පංච ලක්ෂණයන්ගෙන් යුක්ත වූ බ්‍රහ්ම පුරාණ ආදී ග්‍රන්ථයන්හි ප්‍රකාශිත මන්ත්‍ර පුරාණෝක්ත මන්ත්‍ර වශයෙන් ද, සෘග්වේදාදී ග්‍රන්ථයන් මඟින් ප්‍රකාශිත මන්ත්‍ර වේදෝක්ත මන්ත්‍ර වශයෙන්ද පිළිගැනෙයි. මේ ආකාරයෙන් දැක්වුණු මන්ත්‍රයක් ඩාමර තන්ත්‍ර, මේරු තන්ත්‍ර, තාරාතන්ත්‍ර ආදී ආදිතම පුරාණ ග්‍රන්ථයන්හි විවිධාකාර අන්දමින් විවිධාකාර විස්තර වශයෙන් දැක්වේ.

එසේ සඳහන්වන සියලු මන්ත්‍රයන් ධාරණය, මෝහනය, ස්ථම්භනය, විමංසනය, උච්චාටනය, වශීකරණය, ආකර්ෂණය, යක්ෂ නිසාධනය, රසායනය, අනාහාරය, නිදිදර්ශය, වන්දියා පුත්‍රව තීයෝගය, මුර්තසංජීවනය, වාජීකරණය, භූත ග්‍රහනිවාරණය, සිංහාදී නාසකය, විසනිවාරණය වශයෙන් විවිධාකාර වේ. ශාන්තිය, ස්ථම්භනය, වශීකරණය, වෛරය උච්චාටනය, මාරණය යන ෂට් කර්මය ප්‍රධානව මෙම මන්ත්‍ර ගැනෙයි. මෙම මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ වූ සියලු කාර්යයන් ලෝකයෙහි විද්‍යාමාන වන මහා භූතයන් සමඟ බැඳ ඒ ඒ කටයුතු සඳහා වෙන්වෙන් වශයෙන් යොදාගෙන ඇති බව පැහැදිලිය.

ශාන්ති කර්මය යනුවෙන් හැඳින්වෙන්නේ නොයෙකුත් අයගේ දෛවයෙන් ග්‍රහ අපල ආදියෙන් හටගන්නාවූ ආපත්ති ආදිය සංසිඳුවා, ඔවුන්ගේ යස ඉසුරු වැඩවා ශරීර සෞඛ්‍යය නීරෝගී බව උපයෝගීකරගන්නා මන්ත්‍ර හා ක්‍රමවේදයි. ශාන්ති කර්ම පිළිබඳ මන්ත්‍ර ඊශාන දිශාව බලා ජප කිරීම පුරාතන පිළිගත් මතයයි.

ස්ථම්භනය යනුවෙන් හැඳින්වෙන්නේ අන්‍යයන්ගේ සිත් ඇදගැනීමේ සමත් මන්ත්‍ර පිළිවෙළකි. ස්ථම්භනය පිළිබඳ මන්ත්‍ර ජප කිරීම නැඟෙනහිර දිශාව බලා සිදු කළ යුත්තකි. වශීකරණය තමා සිතූ පැතූ දේ ඒ අයුරින්ම ඉටුකර ගැනීම සඳහාම යොදා ගන්නා වූ මන්ත්‍ර විශේෂයකි. වශීකරණ මන්ත්‍ර උතුරු දිශාව බලා ජප කරගත යුතුය. ආකර්ෂණ කර්මයද එසේම උතුරු දිශාව බලා සිදු කළ යුත්තකි.

විද්වේෂන යනු එකිනෙකා වෛර කරවීම සඳහා උපයෝගී කරගන්නා වූ මන්ත්‍ර විශේෂයකි. එය සිදු කළ යුත්තේ නිරිත දිශාව බලාගෙනය. උච්චාටනය වශයෙන් දැක්වෙන්නේ යම් යම් ස්ථානයන්ගෙන් එහි සිටිනවුන් පලවාහැරීම සඳහා යොදා ගන්නාවූ මන්ත්‍ර පිළිවතකි. එය සිදු කළ යුත්තේ ගිනිකොන දෙස බලාය.

මේ අයුරින් මන්ත්‍ර කර්ම සඳහා දිශාවන් නියමකර ඇත්තේ එම දිශාවන්හි පවත්නා විවිධ වූ බලශක්ති පිළිබඳව පවත්නා විශ්වාසයක් ආකර්ෂණීයත්වයක් සලකා බැලීමෙනි. ඒ අයුරින් දිශාවන් නියමකර ගත්තාක් මෙන් ඒ ඒ කර්මයන් සඳහා සෘතු නියමයන්ද පුරාතණ පිළිවෙත්හි සඳහන්ය. ඒ අනුව වශීකරණය වසන්ත සමයේද, විද්වේෂනය ගී‍්‍රෂ්ම සෘතුවේද, ස්ථම්භනය සිසිර සෘතුවේද, උච්චාටනය වර්ෂා සෘතුවෙහිද, මාරණය සරත් සෘතුවෙහිද, ශාන්ති කර්මය හේමන්ත සෘතුවෙහිද සිදුකිරීම පිළිගත් ප්‍රතිඵල දායක පිළිවෙතයි. කරුණු එසේ වුවද රෝග නිවාරණය සඳහා සිදු කරනු ලබන ශාන්ති කර්ම සඳහා සෘතු නියමයෙන් බැහැරව අවස්ථාව බලා දින නියමයෙන් කිරීම සිරිතකි.

මෙම ෂට්කරම සිදුකිරීමේදී වර්ණ නියමයන්ද දක්වා ඇත. ශාන්ති කර්ම සඳහා සුදු වර්ණයද, ස්ථම්භ කර්ම සඳහා කහ පැහැති දේද, වශීකරණයට අරළු වන්දේද, විමේසනයට රන්වන් දේද, උච්චාමනයට දුඹුරු පැහැදේ ද, මාරණයට කළුවන් පිළිද භාවිතය කිරීම පිළිගත් පිළිවෙලය.

එමෙන්ම ඒ ඒ කර්මයන් සඳහා භාවිතයට ගතයුතු ද්‍රව්‍යයක්ද නියමිතය. ශාන්ති කර්මයට ගිතෙල්, කිරි, තල, ගුගුල් ද, වශීකරණයට රා සහ ලුණු ද, උච්චාටනයට කපුටා සම්බන්ධ දෙයක්ද, මාරණයෙහිදී රතු කළු කුකුළු ලේ ද, ස්ථම්භනයේදී බෙලි කොළ ද, විමේසනයෙහිදී කපුටු හා බකමූණු පියාපත් ගැනීම පිළිගත් වේදයකි.

සෑම මන්ත්‍රයක්ම චිත්ත, රුද්ධ, ප්‍රහීන යනුවෙන් කොටස් තුනක් වශයෙන් දක්වා ඇත. චිත්ත කොටසෙහි මුල මැද අග වායු බීජාක්ෂරයන්ගෙන් යුතුව ප්‍රබන්ධනය කරන ලද ඒවාය. එම මන්ත්‍ර පෘතුවි බීජාක්ෂරයන්ගෙන් හීනය. බීජාක්ෂර දෙකකට වඩා තිබේනම් එය බාධාවකි. ශ්‍රීං ශ්‍රීං ඕං යන මායා බීජාක්ෂරයන්ගේ සමන්විත වනුයේ මන්ත්‍රයයි. එසේ නොවේ නම් එය ශක්ති හීනවන්නකි. මුල මැද අග නුස්වරයෙන් පවතින්නේ නම් එය බිහිරි මන්ත්‍රයක් ලෙස පිළිගැනෙයි.

මන්ත්‍ර සෑම එකකම දස විධ බල තිබේ. ජන්න, ජීවන, තාඩන, බෝධන, අභිසේ, විමලීකරණය, අප්පියාසනය, තර්පනය, දීපනය, ගෝපනය යනුවෙන් ඒ දශවිධ බල හැඳින්වේ.

ජන්න යනුවෙන් හැඳින්වෙන්නේ අක්ෂර මාරු කර ගැනීමයි. ජීවන බලය යනු “ඕං අක්ෂරය මුලට හා අගට යොදා ජප කිරීමයි. තාඩන යනු ජප මන්ත්‍රය බුලත්කොළයක ලියා දේවාරාධනා කොට ආකර්ෂණ දිශාව බලා චෛතසික බලය පිහිටුවා ගැනීමයි. බෝධනය යනුවෙන් හැඳින්වෙන්නේ වර්ණ වශයෙන් නියමිත වූ සුවඳ මල් විසුරුවා ඒ ඒ කර්මයෙහි යෙදීමයි.

සාමාන්‍ය වශයෙන් මන්ත්‍ර ක්‍රමවේද පිළිබඳව ඒ ආකාරයෙන් දැක්විය හැකි නමුදු මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීම මෙවැනි ලිපියකින් දෙකකින් කළ නොහැක්කකි. ඒ පිළිබඳ අපගේ දැනීම ද අල්පය. මෙම කරුණු වුව අප විසින් සොයා ගන්නා ලද්දේ ඉතා පැරැණි පොත පත බහුල වශයෙන් ඇසුරු කිරීමෙනි.

 

සර්ව පූරණ ඡ්‍යොතිෂ විශාරද පොල්වත්තේ

ජස්ටින් පී. ගාල්ලගේ

සමඟ

ඡ්‍යොතිෂවේදී අහංගම,

කේ. ඒ. දිනේෂ් සංජීව

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.