ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය සහ රෝඩ්ස්හි ලෝහමය කොලෝසස් ප්‍රතිමාව වාස්තු ඇසින්...

දෙසැම්බර් 8, 2023

 

ඡ්‍යොතිෂයේ ‘වාස්ත’ නියමයන්ට අනුව යම් භූමියක හෝ නිර්මාණයක මධ්‍යයෙහි උස්ව පිහිටීම එහි වෙසෙන්නන්ගේ උත්සාහවන්තබවත්, නීරෝගිබවත්, සැප සම්පත් සහ ධනය ලැබීමටත්, ජයග්‍රහණයට හේතු පාදක වන බව ගර්ඝ මහා සෘෂිවරයා ප්‍රකාශ කර ඇත. ඉදින් මිහිතලය අලංකාර කළ තවත් අපූර්ව විස්මිත නිර්මාණයක් වන “ඇලෙක්සැන්ඩ්‍රියාවේ පහන්ටැඹ” හෙවත් අහස් උසට ගොඩනැඟුණු ප්‍රදීපාගාරය ඊජිප්තු වැසියන්ගේ පෞරාණික අභිමානය ලොවට ප්‍රකාශිත සංකේතයක් බඳුය.

මෑතක් වනතුªරු ශ්‍රී ලංකාවේ උසම ගොඩනැඟිල්ල වූයේ කොළඹ කොටුවේ ඉදි කෙරුණු ‘පිට්ටු බම්බුව ‘ නමින් හැඳින් වූ මන්දිරයයි.

එහෙත් ක්‍රිස්තු පූර්ව 290 දී ඈත අතීතයේ ආරම්භ කළ ඊජිප්තුවේ (මිසරයේ) ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය තට්ටු 40ක ගොඩනැඟිල්ලක් තරම් උස් විය. පුරාණ ලොව පුදුමයන් අතරට එක්වීමට ද එය හේතු කාරකයක් විය.

දිවා කාලයේ දී අද්භූතජනක කැඩපතකට හිරුඑළිය වැටීමත් සමඟ එය පරාවර්තනය වීමෙන් මුහුදු මාර්ගය ආලෝකවත් වෙයි. එමෙන්ම සැඳෑ භාගයේදී පහන්ටැඹ තුළ දැල් වූ ගිනිමැළවල එළිය කවුළු තුළින් නික්මව විහිද පැතිර ගියේ ය. මේ ප්‍රදීපාගාර කුලුනෙන් විහිද ගිය ආලෝක කිරණ කිලෝමීටර් 50ක් (සැතැපුම් 35) තරම් දුර වෙරළින් ඔබ්බට පැතිර ගියේ ය. ඉදින් එකල මුහුදු ගිය නෞකාවන්ට මේ ප්‍රදීපාගාර ආලෝක සලකුණින් නියමිත පරිදි වරායට ප්‍රවිශ්ට වීමට මඟ පෑදිණි.

එකල වාස්තු ගෘහ නිර්මාණ ශිල්පීන්ට එය මහත් වූ ආශ්චර්යජනක නිර්මාණයක් විය. මෙහි සවිකර තිබූ කැඩපත එකල විද්‍යාඥයන්ගේ කුතුහලය අවදි කරන්නක්ම විය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පහන් ටැඹ ලෝකයේ පැරණි පුදුම හතෙන් එකක් විය.

පිහිටීම

මේ අපූර්ව ප්‍රදීපාගාරය ඉදි කර තිබුණේ ඊජිප්තුවේ එනම් වර්තමාන මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියා වරාය අසල නයිල් ගං මෝය කටේ පිහිටි පේරෝස් නම් දිවයිනේය. වත්මන්හි මේ දිවයින තුඩුවකි. ජන ප්‍රවාදයට අනුව “පේරෝස්” යනු පාරාවෝවරුන්ගේ දිවයින යන වචනයේම වෙනත් ස්වරූපයකි. වේල්ලක් මඟින් මේ දිවයින මහ රටට සම්බන්ධ කර ඇත.

වරාය හඳුනා ගැනීමේ මං සලකුණක් ලෙස ඉදි වූ මේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය උස මීටර් 150ක් පමණ විය. එය සියවස් ගණනාවකට පෙර මිනිසා විසින් මිහිපිට තැනූ උසම ගොඩනැඟිලි අතරින් එකක් ලෙස පැවතුණි. එකල එය උසින් දෙවෙනි වූයේ ඊජිප්තුවේ කුෆු හා කෆ්‍රාහි පිහිටි පිරමීඩ දෙකට පමණි. එය 14 වැනි සියවස දක්වා ලොව උසම ගොඩනැඟිල්ල ලෙස පැවතුණි.

 

ඉතිහාසය

මේ ප්‍රදීපාගාරය ඉදි කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ය. මිසරයේ නයිල් ගං මෝය කට අසල පේරෝස් දිවයින වටා මුහුද නැව් ගමනාගමනය එකල මහත් අන්තරාදායක විය. වෙරළ සමතලා වූ හෙයින් ප්‍රදීපාගාරයක් ඉදි කිරීමේ අවශ්‍යතාවද නැවියන්ට බොහෝ සෙයින් දැනී තිබුණි.

මේ හා සම්බන්ධ අතීත කතා ප්‍රවෘත්තියක්ද ජනප්‍රවාදයේ පැතිර පවතී. ඉදින් ප්‍රදීපාගාරය ඉදි කිරීමේ පුරෝගාමී වූ “සොස්ට්‍රාසස්” නම් ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියා වෙනත් රටක සිට තම හද දිනාගත් රූපයෙන් අග තැන්පත් සිය මනාලිය කැඳවාගෙන නැවෙන් එද්දී මුහුදු මඟ වැරදී නෞකාව විනාශයට පත් විය. මේ අනතුªරින් ඔහුගේ මනාලියගේ ජීවිතය අහිමි විය. මේ අනතුරින් මහත් ශෝකයට පත් සොස්ට්‍රාසස් නම් වූ ඊජිප්තුවේ පළමු හෙලනිස්තික පාලකයා හා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජෙනරාල්වරයා නැවියන්ට මඟ සලකුණු පෙන්වීමට ප්‍රදීපාගාරයක් ඉදි කළ යුතුය යන යෝජනාව රටේ රජුට ඉදිරිපත් කළේ ය.

එකල මිසරයේ පාලකයා වූයේ වයස අවුරුදු 33 දී අනපේක්ෂිත ලෙස මරණයට පත් මහා ඇලෙක්සැන්ඩර් රජුගෙන් පසු රාජ්‍යත්වය හිමිකරගත් ඔහුුගේ සෙන්පති ටොලම් සොටර්ය. එම රජුගේ අනුග්‍රහය ඇතිව ක්‍රිස්තු පූර්ව 290 දී ප්‍රදීපාගාරයේ වැඩ ආරම්භ විය. එහෙත් ප්‍රදීපාගාරයේ වැඩ නිම කරන ලද්දේ රජුගේ මරණින් පසු ඔහුගේ පුත් “ටොලමි පිලඩෙල්පස්ගේ රාජ්‍ය කාලයේදී ය.”

එහෙත් මිථ්‍යා ප්‍රවාදයන් නිසා ටොලමි විසින් ඔහුගේ ඉදි කිරීමට සොස්ට්‍රාසස්ගේ නම යෙදීම වළක්වන ලදී. නමුත් එහි නිර්මාණ ශිල්පියා ශිලා ලිපියක් කොට එම සෙල්ලිපිය ප්ලාස්ටර් තට්ටුවක් යටින් සඟවා වසා දැමිණි.

එහි සඳහන් වූයේ ප්‍රදීපාගාරයේ නිර්මාණයේ විස්තරය එනම් ස්මාරකයක් වශයෙන් එය කැප කරන ලද්දේ ගැලවුම්කාර දෙවිවරුන් නමටය. ටොලමි සෝටර් සහ ඔහුගේ මෙහෙසිය වූ බෙරෙනිස් ගැලවුම්කාර දෙවිවරුය. පහන්ටැඹ කැප කිරීමේ සෙල්ලිපියේ සඳහන්ව ඇත්තේ මෙලෙසය.

“ඩෙක්සිපේන්ස්ගේ” පුත්‍ර “සොස්ට්‍රාසස්” මේ ප්‍රදීපාගාරය මුහුදු යාත්‍රාකරුවන් වෙනුවෙන් ගැලවුම්කාර ඉහත දෙවිවරුන් නමට කැප කළේය.” මේ පහන් ටැඹ සමුද්‍ර යාත්‍රාවන්ට උවදුරු රහිත මාර්ගය සංඥා කරමින් ශත වර්ෂ ගණනක්ම පැවතුණි.

පසුකාලීනව මිසරය ආක්‍රමණය කළ අරාබිවරු ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ශ්‍රී විභූතිය දැක විස්මයට පත් වූහ. එහෙත් ඔවුන් අගනුවර කරගත්තේ කයිරෝවය. ප්‍රදීපාගාරයේ රඳවා තිබූ විශාල කැඩපත වැරදීමකින් ඔවුන් විසින් පහළට ගන්නා ලදී. එහෙත් එය ආපසු නිසි තැන තැබීමක් සිදු නොවීය.

 

ප්‍රදීපාගාරය බිඳ වැටීම

 

ක්‍රිස්තු වර්ෂ 956 දී භූමිකම්පාවකින් ඇලෙක්සැන්ඩ්‍රියා නගරය දෙදරා ගිය ද ප්‍රදීපාගාරයට එතරම් හානියක් සිදු නොවීය. එහෙත් ක්‍රි.ව. 1303 දී සහ 1323 දී ඇති වූ භූමිකම්පාවලින් මේ ප්‍රදීපාගාරයට බලවත් හානි සිදු විය.

1349 දී මේ සිදු වූ විපත සියැසින් දුටු අරාබි ජාතික ලොව ප්‍රකට සංචාරකයකු වූ ඉබන් බතූතා ඇද වැටී තිබූ සුන්බුන් අතරින් මේ ප්‍රදීපාගාරය තුළට පිවිසෙන්නට ඔහු කළ උත්සාහය නිෂ්ඵල විය. එය ඉබන් බතූතාගේ දේශාටන සටහන්වල අපූරුවට සඳහන් වෙයි.

මිසර ජාතික මවෙලුක් සුල්තාන්වරයා මිසරයේ ආරක්ෂාව තර කිරීම සඳහා බළකොටුවක් ගොඩනැඟීම පිණිස මේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය තිබූ තැන තෝරා ගන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ 1480දී එහි බළකොටුවක් ස්ථාපිත වීමයි. බළකොටුව බැඳීම සඳහා භාවිත කරන ලද්දේ පහන් ටැඹින් ඇද වැටී තිබූ ගල් සහ කුලුණුය. මෙලෙස පැරණි ලෝකයේ පුදුම හතෙන් එකක් මිහිපිටින් අතුරුදන් විය.

 

ගෘහ නිර්මාණ ශිල්පය සහ වාස්තු පැතිකඩ

 

මේ ප්‍රදීපාගාරය ගොඩනඟා තිබුණේ කොටස් තුනකිනි. පහළම කොටස චතුරශ්‍රයකි. එහි උස මීටර 55.9 කි. (අඩි 183 අංශක 4) එහි මැද සිලින්ඩරයක හැඩය ගනියි. මැද කොටස අටපට්ටමකි. එහි පැත්තක් මීටර් 18.30 කි. (අඩි 60 ) උස මීටර 27.45 කි (අඩි 90.1) තුන්වන කොටස වෘත්තාකාරය මීටර 7.30ක් උසය. (අඩි 24) අත්තිවාරම සහ පාදම ද ඇතුළුව පහන් ටැඹේ මුළු උස මීටර 117කි. (අඩි 384) එහි මැද කොටසේ ගිනි අඟුරු ඉහළට එසවීම සඳහා සවි කරන ලද ලීවරයක් වැනි පොල්ලකි. මදුන් කොටසේ එයින් දැල්වුණු එළිය විහිද ගියේ පරාවර්තනය වීමෙනි. මේ පහන් ටැඹද “පේරෝස්” නමින් හඳුන්වන ලදි. පසුකාලීනව පේරෝස් යන වචනය ලෝකයේ බොහෝ රටවල ප්‍රදීපස්තම්භ හැඳින්වීමට භාවිත විය.

මේ ප්‍රදීපාගාරය පාදම චතුරශ්‍රයකි. වාස්තු විද්‍යාවට අනුව චතුරශ්‍රව පාදම ගත් කල්හි එම ගොඩනැඟිල්ල පාදක කොට හතර දිශාවට පාරවල් තිබීම වාසනාව නිතැතින් ගලා එන්නක් විය. එයට අමතරව කිරිගරුඬ ගලින් ඉතා සවිමත්ව සමචතුරශ්‍රව ගොඩනඟා තිබීම වාස්තු විද්‍යාවට අනුව උත්සාහවන්ත බව, නීරෝගි බව, සැප සම්පත්, ධනය ආකර්ෂණය කර ගැනීමට හේතු පාදක වෙයි.

සාමාන්‍යයෙන් වාස්තු විද්‍යානුකූලව ඉඩමක්, ගොඩනැඟිලි පරිශ්‍රයක් හරි හතරැස් නම් (ඍජු කෝණාස්‍රාකාර) සියලු සම්පත් ලබා දෙන්නක් වෙයි. ඉන් විපතකින් මුදා ගැනීමත් ව්‍යංගයෙන් අදහස් කෙරෙයි. වාස්තු ප්‍රතිපත්ති ඕනෑම ගොඩනැඟිල්ලකට සමාන වෙයි. එහෙත් ගොඩනැඟිල්ල ඉහළට යද්දී වාස්තු කාරණාවල බලපෑම සුළු වශයෙන් සැලකෙයි.

මේ අද්විතීය ප්‍රදීපස්තම්භයේ ප්‍රතාපවත් බව එම නගරයෙහි පෞරුෂත්වය විදහා පායි. ආරක්ෂක බලඇණියක්ද වෙයි. එනම් වරායට ප්‍රවිෂ්ට වන සතුරු නෞකා කල්තියා දැක ගැනීමටත් යුද්ධයේදී ඒවා නිවැරැදිව මුහුදේ ආලෝකය විහිද වූ කැඩපත මඟින් හඳුනාගෙන සතුරු නැව් ගිනිබත් කිරීමට සංග්‍රාම උපක්‍රමයක් ලෙස ද භාවිත කළ හැකි විය.

 

රෝඩ්ස් ගී‍්‍රක දිවයිනේ කොලෝසස් ප්‍රතිමාව

 

අප සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝකය නැතහොත් ග්‍රහ වස්තුව සූර්යාය. එහෙත් පැරණි ගී‍්‍රක වැසියන් සූර්යා හැඳින්වූයේ සූර්ය දිව්‍ය රාජයකු ලෙසිනි. එය දේවත්වයෙන් සැලකිණි. පැරණි ගී‍්‍රසියට අයත් රෝඩ්ස් දිවයිනේ වැසියෝ ස්වකීය දෙවියන්ට ගෞරව බහුමාන දක්වනු පිණිස මීටර් 33ක් (අඩි 110) උස ලෝකඩවලින් නිර්මිත අතිදැවැන්ත ප්‍රතිමාවක් ඉදි කර වූහ.

ඉදින් සූර්ය දිව්‍යරාජයා ගී‍්‍රකයන් විසින් හඳුන්වන ලද්දේ “හීලියෝස්” නමිනි. එහෙත් මේ අතිදැවැන්ත ප්‍රතිමාවට රෝඩ්ස් වැසියන් දුන් නම “කෝලෝසස්” යන්නය. කොලෝසස් යන වචනයේ අර්ථය දැවැන්ත, අතිවිශාල යන තේරුම් දීමට පසුකාලීනව ඉංගී‍්‍රසි භාෂාවට එකතු වී තිබේ.

පසුකාලීනව පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හඳුනාගත් සෙල්ලිපියක මෙලෙස සඳහන්ව තිබිණි.

“හිරු දෙවියාණනි, යුද ගිනි නිවා දමා, සතුරාගෙන් අයිතිකර ගත් වස්තුවෙන් නගරය අලංකාර කළ රෝඩ්ස් දිවයින් වැසියෝ ඔලිම්පසයට සමීප වන මේ ලෝකඩ ප්‍රතිමාව පිහිට වූහ. මුහුදේ පමණක් නොව ගොඩබිමෙහිද ඔවුහු නිදහසේ ආලෝකය දල්වාලූහ.”

 

පිහිටීම

 

ගී‍්‍රසියට අයත් මධ්‍යධරණී දූපතක් වන රෝඩ්ස් දිවයින සිට ගී‍්‍රසියට ඇතුළු වන මන්ධ්‍රාති වරායේ පිහිටි මේ ප්‍රතිමාව පැරණි ලෝක පුදුම අතරට එක්වෙයි. රෝඩ්ස් දූපතේ වාසය කළ වැසියන් තමන්ගේ ශක්තිය පෙන්වීම සඳහා මේ ප්‍රතිමාව ඉදි කළ බව කියවේ. එසේම රෝඩ්ස් දිවයින වාස භූමි කොටගත් මනුෂ්‍යයන්ගේ එකමුතු බවේ සංකේතයක් ලෙස ද මෙය ගැනිණි.

 

ඉතිහාසය

 

පැරණි ගී‍්‍රසිය නගර මධ්‍යස්ථාන කරගත් පෞර රාජ්‍යයන්ගෙන් නිර්මිත විය. මේ රෝඩ්ස් දිවයිනේ ලලිසෝස්, කම්රෝස් සහ ලයින්ඩෝස් යනුවෙන් පෞර රාජ්‍ය තුනක් විය. ක්‍රිස්තුපූර්ව 408 දී මේ කුඩා පෞර රාජ්‍ය තුනම එක්සත් වී එකම රාජ්‍යයක් පිහිටුවා ගන්නා ලදී. එහි අගනුවර වූයේ රෝඩ්ස් නුවරය. එකල සමෘද්ධිමත් රාජ්‍යයක් වූ රෝඩ්ස් ක්‍රිස්තුපූර්ව 305දී ටොලමි සෝටර්ගේ පාලනය යටතේ පැවැති මිසරය සමඟ මිත්‍ර සම්බන්ධතාවක් ඇතිකර ගන්නා ලදි.

මේ මිත්‍රත්වය බිඳ දැමීමට පෙලඹුණු මැසිඩෝනියාවේ “ඇන්ටිගෝකිඩ්වරු” ක්‍රි.පූ. 304දී රෝඩ්ස් නගරය වටලා පහර දුන්හ. එහෙත් නගරයට ඇතුළුවීමට ඔවුන්ට නොහැකි විය. පසුව සාම ගිවිසුමක් ඇතිකර ගෙන ඔවුන්ට පසුබෑමට සිදු විය. “ඇන්ටිගෝකිඩ්වරු” යුද්ධෝපකරණ විශාල තොගයක්ද අත්හැර දමා ගියෝය. ජාතියේ එකමුතු බව ලෝකයට විදහා දැක්වීමට මෙය අවකාශයක් කරගත් රෝඩ්ස්වරු සතුරන් අත්හැර දමා ගිය යුද්ධායුධ සියල්ලක් විකුණා ලැබුණු මුදලින් මේ අතිදැවැන්ත ලෝකඩ ප්‍රතිමාවක් ඉදි කළහ. එය හිරු දෙවියන්ට උපහාරයක් ලෙස සැලකිණි.

 

ප්‍රතිමාවේ වාස්තු නිර්මාණය

 

ක්‍රි. පූර්ව 280දී මෙම ප්‍රතිමාව නෙළීම භාරවූයේ එවකට ගී‍්‍රසියේ ලයින්ඩෝසහි චාරේස් නමැති සුප්‍රකට මූර්ති ශිල්පියාටය. ප්‍රතිමාවේ පිටසම සෑදීමට අවශ්‍ය කොටස් ඔහුගේ සහායක වාස්තු ශිල්පීන් විසින් වාත්තු කර දෙන ලදි. මෙහි පාදම කිරිගරුඬ ගලින් නිර්මිත විය. මින් මුලින්ම සවිකරන ලද්දේ පාද සහ වළලුකරය.

යකඩින් සහ ගලින් සෑදූ රාමුවක් ඇතුළේ ටිකෙන් ටික ඉහළට පිළිමය ගොඩනඟාගෙන යන ලදි. ඉහළම කොටස්වලට ළඟා වූයේ පස් ගොඩැල්ලක් සාදා ඒ මත නැඟීමෙනි. ප්‍රතිමාව නෙළීම අවසන් වත්ම පස් ගොඩ ඉවත් කරන ලදි.

ප්‍රතිමාවේ පතුලේ සිට කිරුළ දක්වා වූ උස මීටර 33කි. (අඩි 110) මෙය නූතන ලිබර්ටි ප්‍රතිමාවේ උසට ආසන්නව සමානය. ඒ අනුව මෙය පැරණි ලෝකයේ උසින් වැඩිම ප්‍රතිමාව විය.

අවුරුදු 12ක් තිස්සේ ක්‍රමිකව පියවරෙන් පියවර ගොඩනඟන ලද ප්‍රතිමාවේ වැඩ නිම වූයේ ක්‍රි.පූ. 282 දී ය.

 

ප්‍රතිමාව බිඳ වැටීම

 

එහෙත් ප්‍රතිමාව කෙළින් සිටියේ අවුරුදු 56ක් පමණය. ක්‍රි.පූ. 226දී ඇතිවුණු මහා භූමි කම්පාවකින් කොලෝසස් ප්‍රතිමාව දණහිස් හන්දියෙන් කැඩී බිම ඇද වැටුණේය. මේ ප්‍රතිමාව ප්‍රතිනිර්මාණ අවස්ථා ගිලිහී යාම පරණ මිතුරා වූ මිසරය ඇද වැටුණු ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කර නැවත නැගිටුවාලීමේ වියදම දැරීමට ඉදිරිපත් විය. එකල මිසරයේ රජ කළේ ධ්ධ්ධ් වැනි ටොලමිය. එහෙත් මේ උපහාරය (ප්‍රදානය) භාර ගැනීමට හරස් වූයේ එකල සිටි පේන කියන්නෙකු පළ කළ අනාවැකියක් නිසාවෙනි. පේනකරු කියා සිටියේ ප්‍රතිමාව නැවත ගොඩනැඟීම නොමනා බවය. අදහස අත්හැර දැමිණි. එහි ප්‍රතිඵලය වූයේ තවත් අවුරුදු දහසක පමණ කාලයක් එක තැන එකම ඉරියවුවකින් වැතිර සිටීමට කොලෝසස් ප්‍රතිමාවට සිදුවීමය.

ක්‍රි.ව. 654 දී රෝඩ්ස් දිවයින ආක්‍රමණය කළ අරාබිවරු කැඩී බිඳී ගිය ප්‍රතිමාවේ කෑලි ගලවා සිරියාවේ ධනවත් යුදෙව් ජාතිකයකුට විකුණූූහ. මේ ප්‍රතිමාව කොතරම් දැවැන්ත එකක් ද යන්න පැහැදිලි වනුයේ මේ කැබලි සිරියාවට ගෙන ගියේ ඔටුවන් 900ක තවලම් මඟින් බව සඳහන් වීමෙනි.

කොලෝසස් ප්‍රතිමාවක් වත්මන්හි මිහිපිට ශේෂ වී නොමැත. එහෙත් නූතන මූර්ති කලාකරුවන්ගේ කෘතිවලට ප්‍රතිමාවෙන් ආදර්ශ ලැබී ඇති බව විද්‍යමාන වෙයි. එය ප්‍රතිමා කලාවේ ස්වර්ණමය යුගයක් මුදුන්මල්කඩක් හුවා දැක්වෙයි.

මේ ප්‍රතිමාව අතිදැවැන්ත පෞරුෂයක් නගරවාසීන්ට ඇති කරවන සුළු වී ඇත. ඔවුන්ගේ බල පරාක්‍රමය, වීරත්වය යුද ජයග්‍රහණය, ගූඪ විස්මිත බව විදහාපායි. මෙය වාස්තු විද්‍යානුකූලව බලන කල ඔවුන්ගේ ශ්‍රී විභූතිය සශ්‍රීකත්වය සංකේත කරවන්නක් විය. එම වැසියන්ගේ ජයසම්පන්න ශක්තිමත් බව, එකමුතුව, සහජීවනය, මිත්‍රත්වය සහ සහයෝගය මෙම ප්‍රතිමාව තුළින් එකල නිරූපණය වී ඇත. ලෝක ප්‍රතිමාවේ වාස්තු නිර්මාණය අතිවිශිෂ්ටය. ජාතියක ශ්‍රේෂ්ඨත්වය කියාපාන මහඟු සංකේතයක්ව තිබූ බව පැහැදිලි වෙයි.

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.