වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
යක්ෂයාත් භූතයාත් මිනිසාත් ඔබය
සාදිරිස් ගුරුන්නාන්සේ පාරේ යද්දීත් මිනිස්සු බය වෙති. ඔහුගේ උඩු රැවුල කරකැවී ඇත. නළල කොණ ලොකු ඉන්නා තවත් ඒ මූණට එකතු කරන්නේ ගැඹුරු පෙනුමකි. මිනිසුන් බලි තොවිල්වලදී දකින මූණු ඔහුට ආරූඪ කර බලන්නට පුරුදු වී සිටියි.
තොවිලය, බලිය, ශාන්තිකර්ම පමණක් නොව ඒවා කරන අයද මෙරට ජන ජීවිතය හා බැඳී ගිය චරිත මෙන්ම සිදුවීම්ය. එය සිංහල මෙන්ම සිංහල බුද්ධාගමද සමඟ එකට බැඳී ආවේය. යාපනයේ බොහෝ දුප්පත් පවුල්වල පිරිස් භූත හා මළගිය ප්‍රාණකරුවන්ගේ කටයුතු ඇසුරෙන් භූත හා යක්ෂයන් ගැන විශ්වාසයක් දරා සිටිති.
ලංකාවේ භූත, යක්ෂ කටයුතු ද වරෙක මෙරට ප්‍රධාතම වේදය සමඟ ප්‍රාදේශීයව විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇත. උඩරට, පහතරට හා සබරගමුව සම්ප්‍රදායන් සමඟ එය විවිධ වෙස් ගනු ලැබ ඇත. ඊට අමතරව වන්නි හත්පත්තුවේ දී වෙනම ප්‍රභේද දක්නට ලැබෙයි. සංස්කෘතික ජීවන රටාවක් කාලයක් පුරා පවත්වාගෙන ආ මිනිසාට එම ඇවතුම් පැවතුම්වලට ගරු කිරීමෙන් බැහැර වී යා නොහැකිය. ඔහු කොතෙක් ඉහළ තැනක සිටියත්, විද්‍යාත්මක මෙවලම් පාවිච්චි කළත් ජානමය වශයෙන් බලපාන ආදී මානව විශ්වාස හා පුද පූජා පිළිබඳ මතකයෙන් මුළුමනින්ම මිදියා යා නොහැකිය. ඒ නිසා යකැදුරෙකු, යක් බෙරයක්, පිදේනි තට්ටුවක් දැකීමේ දී ඔවුන්ගේ ජානමය පූර්ව සිතුවිලි අවදි වෙයි. ඒ නිසාම තොවිලයකට යන ‘ඇදුරා’ කෙරෙහි බියත්, බලියාගයට යන ‘බලි ඇදුරා’ කෙරෙහි භක්තියකුත් හිත ඇති කර ගනියි. එය මිනිසාගේ තැලස්මාවේ ඇති කළු හා සුදු හෝමෝන විසින් දී ඇති හඳුනා ගැනීමේ ලක්ෂණයන්ය. ඒ අනුව ඔහුට තොවිල් ඇදුරා කළුය. කළු බැවින් ඒ යකෙකි. බලි ඇදුරා සුදුය. ඒ නයින් ඔවුන් දේවතා ගුණයෙන් යුතුය. මිනිසා එදා සිටම මිනිසාගේ මානසිකත්වය තුළ ඇති වූ වෙනස පිළිගැනීම අරුමයක් විය නොහැකිය.
මහා ගස්ගල්, පර්වත, වනය ඔහුගේ බිය විසින් සිය ගැලවුම්කරුවා බවට ඔහු සිතුවේ ය. තමාට වඩා දක්ෂ රැහේ එකා නායකයා කරගත් ඔහුත් සිය මහයා මියගිය විට ඔහු තමන් රකින්නට පැමිණිය හැකි යැයි ඇදැහූහ. එසේම ඔහුට බිය වූහ. එසේ ඇති වූ මූලික පීදිම් මළවුන්ගේ පිදීම විය. එය වැදි මානවයා වූ අපේ ආදි වාසීන්ගේ “කිරි කොරහ” නැටීම වශයෙන් භූතාපසරණ විෂයේ හෝඩිය කියවූයේ ය.
අද දවසේ දී කිසියම් විද්‍යාර්ථයෙකු එම සම්භවය කිසියම් මානව ධර්මයන් හෝ විද්‍යාවක් මත පිහිටුවා හැදෑරීමේ දී එහි ක්‍රමික විකාශය සොයාගත හැකිය. එහිදී ආදී මානවයාගේ ආරම්භය කිසියම් විද්‍යාත්මක අනුරූපවල තබා විග්‍රහ කරන අපගේ උගතුන් වියතුන් ඒ පුද්ගලයාගේ මනස ප්‍රසාරණය වීමේ දී ඇති වූ චලන, හඬගෑම් හා ශරීරාව පිහිටීම් මතින් ඉපිද ගිය ඇදහිලි හා විශ්වාස කෙරෙහි අමුතු නොසැලකිල්ලක් දක්වන්නේ ඇයි ද යන්න සිතීම උගහටය. සමහර විට එම සොයා ගැනීම් ඔවුන් උසස් කොට සලකන විද්‍යාව මඟින් එය අනාවරණය කර නොගත් නිසා විය හැකිය. එහෙත් ඔවුන්ට එය විද්‍යාත්මක ක්‍රමවේදයන් මඟින් හඳුනාගැනීමට තරම් තවමත් තමන්ගේ විද්‍යාත්මක උපකරණ ශක්තිමත් නැතැයි හඳුනාගැනීමට ලැබී ඇත්තේද බොහෝ කාලයක් ඉකුත්ව ගිය තැනේ දී ය.
එය මිනිසාගේ මනස හා බැඳී ගිය මුල්ම විෂයයි. එසේම මිනිස් සිත ඉතා ගැඹුරින්ම හඳුනාගත් විෂයයි. එහෙත් එය ඔවුන් සොයා ගත්තේ සිය අක්‍රමවත්ව සිදු කරනු ලැබූ ක්‍රමික බැහැර විඤ්ඤාණය තුළිනි. ඒ සඳහා ඔවුන්ට උගත් උසස් උපාධි හෝ යන්ත්‍ර සූත්‍ර හෝ වෙනයම් පිළිගත් ශාස්ත්‍රයක් නොවීය. එහෙත් ඔවුහු කාල, හෝරා වශයෙන් භාවිත කළ හිරු, සඳු, සතා සීපාවාගේ හැසිරීම් රටාව පසුකාලීනව බොහෝ විද්‍යාත්මක මිණුම් දඬුවල තිඹිරිගෙය වී ඇත. අප වර්තමානයේ දී සොයා යා යුත්තේ එයයි. දියුණු කරගත යුත්තේ එයයි. එය සොයා යාම එය විද්‍යාත්මකව භාවිත කිරීමට ඇරඹීම යනු වර්තමානයේ දී මානවයාගේ සිතට හා ගතට ව්‍යාපාරික දියුණු, විද්‍යාත්මක ප්‍රජාව විසින් කරනු ලබන බොහෝ අණවින හානිවලින් ජීවිතය සුරක්ෂිත කරවීමකි. ආර්ථික ධනය ඉතිරි කිරීමකි. බටහිර ඖෂධවලට සිය සිරුර පර්යේෂණ රසායනාගාරයක් කිරීම උදෙසා මුදල් ගෙවා බදු නොදීමකි.
මෙහිදී අප ඉවත ලෑ යුත්තේ සමාජ ආකල්පයන්ය. එම සමාජ ආකල්ප ඉවත දෑ යුත්තේ එහි ඇති හරසුන් බවත් ඇත්නම් පමණි. එහෙත් එම දැනුම ලැබීමට තමා නවීන විද්‍යාත්මක සත්ත්වයෙකි. මේ භූත යක්ෂ කටයුතු නූගත් ගැමියාගේ මෝඩ විශ්වාස යන හීන මමත්වයෙන් මිදිය යුතුය. එම කරුණු කාරණාවල ජීව ගුණය. අධ්‍යාත්මය හා ගළපා ගන්නට එම ක්‍රමවේදය හැදෑරීය යුතුය. එසේ නොපෙනෙන තැන දනවන්නේ හිරු නොපෙනෙන නිසා එළියක් කියා කිසිවක් හෝ ඇද්දැයි යන අනුකාරක චින්තනය සමඟ සාද පැවැත්වීමකි.
අපි මුලින් සඳහන් කළේ මේ අනිසි බිය නිසා සමාජයේ මැවූ සැකය විසින් යකැදුරා, කට්ටඩියා, බලි ඇදුරා හා කපුවා ගැන සමාජයේ බැසගෙන ඇති ආකල්පයයි. එය මිනිසා විසින්ම ඔහුගේ සිතට ඇතුළු කළ දෙයකි. එහෙත් අද විද්‍යාව විසින් තමාගේ මූලික සොයා ගැනීම් වෙනස් කරමින්, නිවැරැදි කරමින් සිටී.
එහෙත් භූතාපසරණයේ ඇති මූලික සිද්ධාන්ත ඔවුන්ට වෙනස් කිරීමට සිදු වී නොමැත. හේතුව එය බුදු දහම සමඟ සම්බන්ධ කිරීමට වඩා මිනිසාගේ ශාරීරික හා මානසික ව්‍යුහයේ එදත් අදත් ඇතිව තිබෙන්නේ එකම රෝග නිධාන ඇදහිලි හා වෙනස්කම්වල යම් යම් වෙනස්කම් කීපයක් පමණි.
ඒවාද වෙළෙඳපොළ නිෂ්පාදනවලට අනුකූලව මිනිස් සිරුර හා සන්තානය ඉල්ලුම් කරුවාගේ භූමිකාවට අනුගත කිරීම නිසා ය. එහෙත් ඒ අනුව භූතාපසරණ විෂය වර්තමානයේ දී ඒ ලෙසින්ම උන්නට වෙනසක් උදෙසා කැපකොට ඇතැයි යන්න නොකියවේ. එය කාලීන උවදුරු හා විවිධ හැළ හැප්පීම් මෙන්ම නවීන සමාජයේ අනුකාරක චින්තනයන්ට යටවීම නිසා විවිධ බිඳවැටීම්වලට ලක්ව ඒ අනුව ශිල්පීන් කොටු, ගුරුන්නොවු, පාරම්පරික ශිල්පය නොදත් පිරිස් විසින් එහි කිසියම් ‘අවගුණ’ මතුකරවා ඇත. එහෙත් එයින් ශිල්පයේ මූලික ක්‍රමවේදයන් මුළුමනින්ම විනාශ වී නැත.
මේ අනුව අප වර්තමානයේ දී අපගේ විමසුම් ඇස යැවිය යුත්තේ මේ විෂයානුබද්ධ සංස්කෘතියේ යථාවාදී ගුණය කවරේද යන්නටයි. ඒ සඳහා අප විද්‍යාව පිටුදැකිය යුතු නැත. ආගමද ගූඪ දහමකැයි සිතිය යුතු නොවේ. අවශ්‍ය වන්නේ අපගේ අවබෝධය පමණයි. එම අවබෝධය යනු පැරන්නන් සේ ගස් ගල් විශ්වාස කිරීම හෝ අන්ධානුකරණයෙන් වන්දනා කිරීම නොවේ.
ඒ ඇසුරෙන් උපන් එම යථාර්ථය කුමක්ද යන්න සොයා බැලීමයි. එය මිනිසාගේ යහපත උදෙසා යොදා ගැනීමයි. අද අප සියලුම දේ වන්දනා කරන්නේ අපේ නොවූ තරමටය. මේ චින්තාවෙන් මිදුණු කල භූතාපසරණයට අයත් බලි තොවිල් යාග වැනි ශාන්තිකර්මවල ඇති මානවිය චින්තනය හඳුනා ගත හැකිය. සතා සීපාවට, ගහ කොළට පරිසරයට ආදරය කළ වන්දනය කළ ඒ ආදී මානවයාගෙන් මිනිසාට හානිදායක ශාන්ති කර්මයක් ඇති විය නොහැකිය. එය හදි හූනියමක් බවට පත්කර ගත්තේ ආදී මානවයා දියුණු යැයි කියන ඊනියා සමාජ කාරකයෙකු වීමෙන් අනතුරුවය. ඒ නිසා අපි එහි ඇති සෞන්දර්ය චමත්කාරයෙන් ඔවුන් දකිමු.
සංවාදයට විවෘතයි.