උලලේනිය අවතාරයක්ද?

පෙබරවාරි 2, 2024

පක්ෂීන්ගේ හැසිරීම් අනුව ඔවුන් අපට කියන අනාවැකි පිළිබඳ බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතී. මේ එම කරුණු පිළිබඳ ඔබේ අවධානය යොමු කරන ලිපියේ දෙවැනි කොටසයි.

කණකොක් හඬ අසුබයි. ගෙට උඩින් තුන්වරක් පියඹාගෙන යාම එම නිවසේ ඉක්මනින් මරණයක් වෙතැයි අදහස් කරයි. බිය ගෙන දෙන උලමාගේ හඬ මරණය හඟවන්නක් සේ විශ්වාස කෙරේ. අසාධ්‍ය රෝගියකු සිටින නිවෙස අසල උලමා කෑ ගැසීම රෝගියාගේ මරණය සිදුවන බව කියා පෑමක් සේ සැලකේ. රාත්‍රි දෙගොඩහරි යාමේදී බස්නාහිර හා නැඟෙනහිර, දෙසින් එන උලමාගේ හඬ සුබපල ගෙන දෙතැයිද උතුරින් නම් සත්පුරුෂයින්ගේ හැසිරීම වෙතැයිද දකුණින් නම් මරණය සිදු වෙතැයිද ජනතා විශ්වාසයයි. උලලේනා, මහ බකමූණා, යක්කුරුල්ලා ආදි නම් ද උලමාට ව්‍යවහාර වේ.

රෑ කල උලලේන හඬ වියො දුක් කීම
පාන පැයේ ඇඬුවම වැහි ළඟ ඒම
තුන් දින තුන් යමට වහලේ ඇඬ ලීම
අපලයි ගැබිනියන් හට වෙයි බිලි වීම

යනාදි ලෙසින් උලලේනා හඬන කාලය අනුව ඇතිවන පල දැක්වේ. යක්කුරුල්ලාගේ සාමාන්‍ය කෑ ගැසීම හීන් මිනිස් ගෙරවීමක් සේ බවත් මිනිසා බිය වන්නේ විශේෂ කෑ ගැසීමේදී බවත් කියැවේ. ඒ බියකරු හඬ නඟන්නේ මහ රෑ සියලු දෙනා නින්දට ගිය පසුව යයිද වන දිවි තොරතුරු සඳහන් කරයි. ගෙල මිරිකීමකදී නැඟෙන බියකරු හඬට කවරකු බිය නොවේද? යක්කුරුල්ලාගේ ඒ විශේෂ කෑ ගැසීම එබඳුය.

“මර ළතෝනියක් වන මේ කුරුල්ලාට සිංහල නම උලමා යන්නයි. උලමා යනුවෙන් හඳුන්වනු ලබන්නේ මහ බකමූණා යන වර්ගයකි. උලමා කෑ ගැසූවිට වැඩිකල් යන්නට මත්තෙන් අශුභ ආරංචියක් අසන්නට ලැබෙන බවත් උලමාගේ අතීත කතාව, තම ස්වාමියා විසින් කෲර ලෙස අලුත උපන් බිලිඳෙක් මරුමුවට පත් කළ නිසා දරු ස්නේහයෙන් සහ විඳ දරාගත නොහෙන කම්පාවෙන් මොර දෙන අම්මා කෙනෙකුගේ ළතෝනියක් බවත් ගැමි ජනතාව අතර අදත් පවතින විශ්වාසයයි. උලමා කෑ ගසන විට ඇසෙන ශබ්දය විනාඩි ගණනාවක් තිස්සේ පවතින “හූ” ශබ්දයයි. සමහර අයෙක් එය මරලතෝනි ශබ්දයක් ලෙසත්, ගෙල මිරිකන විට එන “හූ” ශබ්දයක් ලෙසත් විස්තර කර ඇත. කෙසේ වෙතත් උලමාගේ ශබ්දයක් මිනිස් කටහඬක් මෙන් ඇසෙන බව අපට ඒත්තු ගත හැක්කේ එය ඇසූ සියලු දෙනාම මේ බියකරු නාදයට තිගැස්සී ඇති හෙයිනි. දහහත්වැනි සියවසෙහි රොබට් නොක්ස් වැනි අයෙක්ද ඒ ගැන සිය ග්‍රන්ථයෙහි සටහන් කළේ ඔහුටද එම තිගැස්සීම ඇති වූ නිසා විය යුතුයි. (වනදිවි තොරතුරු පත්‍රිකාවකිනි)

ජන ව්‍යවහාරයේ උලමාගේ වේශයෙන් එන්නේ භූතයෙකු බවත් අදහසය. උලමා ඈත සිට “හූ” හඬ දෙන බවත් එවිට යමෙකු “හූ” යයි ප්‍රතිචාර ශබ්දයක් කළහොත් උලමා එන බවත්, තුන්වටයක් එපරිදි උලමා “හූ” කියන විට “හූ” ප්‍රතිචාර දැක්වුවහොත් ඒ ප්‍රතිචාර දැක්වූවහු කරා උලමා පැමිණ මහා විපතක්, අනතුරක් කරන බවටත් හැඟීම් ඇත. සමහරු උලමා යනු මාර අවතාරය, මහසෝන් අවතාරය ලෙසින් අදහස් කරති.

අප ජීවත්වන පරිසරයේ වෙනස්වීම කුරුල්ලනට ඉක්මනින් දැනේ. ඔවුන්ගේ සංවේදිතාව ඉහළය. සුනාමි ව්‍යසන අවස්ථාවේ සමුද්‍රාසන්න පක්ෂීන් ඈතට පියඹා ගියේ එම අනතුර ඔවුනට දැනුණු හෙයිනි. දේශගුණික වෙනස්වීම්වලදී ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙයි. සැතපුම් දහස් ගණන් ඈත දුරු රට සිට විත් ලංකාවේ නොයෙක් තැන දක්නට ලැබෙන දහස් ගණන් පක්ෂීන් එම වකවානුවේ ඒ විදේශීය රටවල දේශගුණික ස්වභාවය අප හට අවබෝධ කරලයි.

අප ජීවත්වනුයේ ස්වභාවධර්මයත් සමඟය. අප මෙන්ම පක්ෂීහුද ඒ අපූර්ව ස්වභාවධර්මයේ කොටස්කරුවෝය. සොබාදහමේ පරිසරයේ වන්නාවූ වෙනස්වීම් පිළිබඳ ඉවක් මේ පක්ෂීන්ට දැනේ. සුවිශේෂි සංවේදිතාවක් ඔවුන් වෙත පවතී. ඊට අනුව ඔවුන් දක්වන චර්යා ස්වභාවය ක්‍රියා පටිපාටින් පිළිබඳව අපේ සාමාන්‍ය ගැමි ජනයා දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම් ලබා සිටිති. පක්ෂීන් තුළින් දක්නා ඒ විශේෂ සිද්ධීන් මතු සිදුවන දෑ පිළිබඳ පෙරනිමිති හෙවත් අනාගත සලකුණු සේ අප ජන සමාජය හඳුනාගෙන සිටියි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.