වා පිත් සෙම් අනුව බෙදිය හැකි රාග ද්වේෂ මෝහ චරිත

මැයි 24, 2024

සමාජයේ සෑම පුද්ගලයකුම එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වේ. එකිනෙකාට සමාන බාහිර ස්වරූපයන් පිළිබිඹු කරන නිවුන් දරුවන් තුළ පවා බොහෝ වෙනස්කම් ඇති බව පසක් කරුණකි. බුදුදහමට අනුව උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම හා කර්ම නියාම ධර්මයන්ට අනුකූලව මේ වෙනස්කම් සිදුවන බව පැහැදිලිය.

ආයුර්වේද මූලධර්මයන්ට අනුව ඍතු, ක්ෂේත්‍ර, බීජ, අම්බු මත පදනම්ව පුද්ගලයන් බිහිවන අතර එය පුද්ගල ප්‍රකෘතින් ලෙස හැඳින්වේ. ආයුර්වේද මූලික සංකල්පයන් හා බුදු දහමෙහි විශුද්ධි මාර්ගයෙහි සඳහන් වන පුද්ගල චර්යා රටාවන් පිළිබඳ විග්‍රහයට අනුව සෑම පුද්ගලයකු කෙරෙහිම විද්‍යමාන වන්නා වූ පොදු චර්යාත්ම ලක්ෂණයන් ද පවතී. මේවා විධිමත් ලෙස අධ්‍ය‍යනය කිරීම තුළින් පුද්ගලයන්ගේ අවස්ථානුකූලව දෘශ්‍ය නොවන්නා වූ එහෙත් පුද්ගලයකු හඳුනා ගැනීම කෙරෙහි බලපාන්නා වූ ගුප්ත ලක්ෂණ සමූහයක් පිළිබඳ පැහැදිලිව උපකල්පනය කිරීමෙහි ඉවහල් වේ.

බුදුදහමට අනුව පුද්ගල චර්යාවන් ශ්‍රද්ධා, බුද්ධි හා විතක්ක ආදි චරිත ලෙස වර්ග කර ඇති අතර එය රාග, ද්වේෂ, මෝහ යන චිත්ත වේගයන්හි ප්‍රමාණාත්මක බලපෑම පදනම් කොටගෙන විග්‍රහ කර ඇත. ආයුර්වේදයට අනුව පුද්ගල චර්යාවන් කෙරෙහි වාත, පිත්ත, කඵ යන කායික ත්‍රිදෝෂයන්ගේ බලපෑම් මත පදනම් වූ සත්ත්ව, රජස්, තමස් යන මනෝභාවයන් හේතු පාදක වෙයි. බුදු දහමෙහි හා ආයුර්වේදයෙහි උපයෝගී කරගත් මේ විශිෂ්ට සිද්ධාන්තයන් මඟින් උකහාගත් සරල ක්‍රම කිහිපයක් උපයෝගී කර ගනිමින් පුද්ගලයකුගේ ඇතුළාන්තය හඳුනා ගැනීම විෂම වූ සමාජය පද්ධතියක් තුළ අන්‍යෝන්‍ය අවබෝධය පෙරදැරි කරගත් සාමූහික ජීවන රටාවක් ගොඩනැඟිමෙහි ලා පිටිවහලක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

සමාජය තුළ ශ්‍රද්ධා චරිතයක් ලෙස පිළිබිඹු වන තැනැත්තා ආගම දහම කෙරෙහි ළැදියාවෙන් යුතුව කටයුතු කරන සකසුරුවම් සහිත අයෙකි. උදාහරණ ලෙස මිදුල ඇමදීම හා ආහාර අනුභවයේ දී එය එක් පසෙක සිට ආරම්භ කර, අවසානය දක්වා පිළිවෙළකට ක්‍රමවත්ව සිදු කරයි. විශ්ලේෂණයන්ට අනුව මොහු රාගය සබැඳී මනෝභාවයකින් යුතු ලෝභ සිතිවිලි මූලික කරගත් අයෙකි. ආයුර්වේද සංකල්පයට අනුව ඔහු කඵ ප්‍රකෘතිකයෙක් ලෙස දැක්විය හැකිය. තැන්පත් ස්ථිර ගති ඇති නොපසුබට උත්සාහයෙන් යුතුව කටයුතු කරන මොවුන් සත්ත්ව ගුණය ඉස්මතු වී ක්‍රියාත්මක වන්නන් සේ පිළිබිඹු වේ. ඔවුන් පරලොව කෙරෙහි සුවය අපේක්ෂා කරන අතරම, මෙලොව සැප සම්පත් කෙරෙහි දැඩි රුචිකත්වයක් දක්වනු ලබයි. ඒවා කෙසේ හෝ ලබා ගැනීමටද පසුබට නොවේ. සමාජයේ ඉහළ තනතුරුවලට හිමිකම් ලබන අතරම ඒවාට රුචිකත්වයක් දක්වයි. ආත්මාර්ථකාමී ගති ලක්ෂණ පෙන්නුම් කරයි. සෙම් රෝග සඳහා ප්‍රවණතාවක් දක්වයි.

බුදුදහමට අනුව ද්වේෂ චරිතය ලෙස විස්තර වන්නේ ප්‍රඥා පෙරදැරි කරගත් චරිතයන් ය. ඔවුන් බුද්ධිමත් තර්කානුකූල පුද්ගලයන් වන අතර, විවේචනාත්මක දැක්මකින් යුක්ත වේ. ආවේගශීලී චරිත ස්වභාවයක් පෙන්නුම් කරයි. ක්‍රියාවන් හා සිතිවිලි වේගවත්ය. මිදුල ඇමදීමේදී එය දූවිලි අවුස්සමින් පිළිවෙළකින් තොරව කඩිනමින් අවසන් කරයි. ක්‍රියාවක් ආරම්භ කිරීමට මෙන්ම අවසන් කිරීමටද යුහුසුලු වේ. සමාජයේ ඉහළින් වැජඹීමට හැකියාවක් ලබයි. ආයුර්වේදයට අනුව ඔවුන් පිත්ත දෝෂය ප්‍රමුඛ කරගත් පුද්ගලයන් වේ. මානසික ගුණාංග වශයෙන් රජස් දෝෂය ප්‍රමුඛ වේ. මෙවැනි පුද්ගලයන් කෙරෙහි උෂ්ණාධික රෝග වැඩි වශයෙන් හටගත හැකි අතර, සිසිල් ආහාර විහරණ භාවිතය මෙන්ම නිවුණු පුද්ගලයන්ගේ ඇසුරු කිරීමත් තුළින් මේ බුද්ධිමත් පිරිස සමාජය සංවර්ධනය සඳහා මනා ලෙස උපයෝගී කරගත හැකිවනු ඇත.

බුදුදහමේ සඳහන් වන අනෙකුත් පුද්ගල චරිත ස්වභාවය වන්නේ විතක්ක චරිතයි. මොවුන් මෝහ වින්තනය පෙරදැරි කරගත්තවුන් වන අතර, බොහෝ විට තර්ක කරමින් ප්‍රලාපයෙන් කාලය ගත කරනවා විනා, අර්ථවත් තීරණයක් සඳහා නොඑළඹෙති. බොහෝ ක්‍රියාවන් ආරම්භ කළත් අවසානය දක්වා ක්‍රියාත්මක නොවන්නවුන් වේ. ආහාර ලබා ගැනීමේදී මෙන්ම මිදුල ඇමදීමේදී පිළිවෙළක් දක්නට නොලැබේ. අතරින් පතර ක්‍රියාවන් සිදු කරන අතර, බොහෝ විට ක්‍රියාවන් කල්දැමීම සිදු කරයි. මෙවැනි පුද්ගලයන් ආයුර්වේදට අනුව වාත දෝෂය මූලික කරගත් පුද්ගලයන් විය යුතුය. ඔවුන් ඉක්මනින් කිපෙනසුලු හා වහා වෙනස්වනසුලු පුද්ගලයන් වේ.

ආයුර්වේද දර්ශනයේ සඳහන් වන තමස් මානසික දෝෂය යම් තරමකට බුදුදහමේ මෝහ මනෝභාවය කෙරෙහි සමාන කොට දැක්විය හැකි වුවද තමස් කෙරෙහි කඵ දෝෂයේ බලපෑමක්ද පවතී. මෙවැනි පුද්ගලයන් වාත ව්‍යාධි හා ස්නායු ආබාධයන් කෙරෙහි ප්‍රවණතාවක් දැක්විය හැකිය. අඛණ්ඩව දිරිමත් කිරීම් හා උපදෙස් ලබාදීම තුළින් මෙවැනි පුද්ගලයන් සමාජයේ යහපත උදෙසා සංවර්ධනය කිරීමේ හැකියාව ඇත.

සිව් මහ ගංගාවන් සතර දෙසින් පැමිණ මහා සයුර වෙත එක්වී එකම ජල කඳක් වන්නා සේ විවිධ පුද්ගලයන් බුදු සසුනට එක්වූ විට, ඇතිවන්නා වූ මානසික චර්යාත්මක සංකලනය වූ සමාජයක ඔවුන් එකිනෙකා නිසි පරිදි අවබෝධ කොටගෙන කමටහන් ලබා දීම තුළින් පරම නිර්වාණය කරා යොමු කරවීමට ගෞතම බුදුරජාණන් වහන්සේට හැකියාව තිබූ අතර, එම හැකියාව මහා සංඝයා වහන්සේ විසින්ද ප්‍රගුණ කර ඇත.

එසේම විවිධ දෝෂ තත්ත්වයන්ගේ අඩු වැඩි වශයෙන් නිර්මාණය වූ පුද්ගල ශරීරයේ ප්‍රකෘති ස්වභාවය හඳුනාගෙන ඒ අනුව සකල රෝගී ජනයා සුවපත් කිරීමේ හැකියාව ආයුර්වේදයේ චරක, ධන්වන්තරී, පුලස්තී ආදී ඍෂිවරුන් විසින් පසක් කොට තිබුණි. ආයුර්වේද වෛද්‍යවරයාද ඒ අනුව එක් එක් පුද්ගලයාගේ ශාරීරික මානසික තත්ත්වයන් හඳුනාගෙන පුද්ගල අනුබද්ධ ප්‍රතිකාර පද්ධතියක් සකල රෝගී ජනයා සුවපත් කිරීම උදෙසා භාවිත කරනු ලබයි.

මෙයින් සාමාන්‍ය ජන සමාජය තුළ අන්‍යෝන්‍ය අවබෝධයක් ලබා ගැනීම සඳහා ආයුර්වේදය හා බුදුදහම තුළ විස්තර වන්නා වූ පුද්ගලයින් හඳුනා ගැනීමේ විශිෂ්ට වූ ක්‍රමවේදයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉවහල් කරගත හැකි බව පැහැදිලි වේ. පුද්ගලයන් ගේ සිතුම් පැතුම් හා ඉදිරි ක්‍රියා කලාපයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දීමට හා ඔවුන් යහ මඟෙහි යොදවමින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට ඉවහල් කර ගත හැකි අතරම එකිනෙකා කෙරෙහි අවබෝධය පෙරදැරි කරගත් සමාජයක් තුළ සාමකාමී බව හා සහජීවනය නිරතුරුව සංවර්ධනය වනු නොඅනුමානය.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි

වෛද්‍ය එස්.ඒ.ජේ.සී. සමරනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.