දෙදහස් පන්සිය වසරක් පුරා බිලි පූජා සිදු නොවූ සල් උයන

මැයි 24, 2024

 

සිදුහත් කුමාරයා උපන් ලුම්බිණිය හෙවත් රුම්බින්දෙයි පුදබිම මෙකල පිහිටා තිබෙන්නේ ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් දහයක් පමණ ඇතුළට වන්නට නේපාලයේය.

නේපාලයේ බටහිර තේරායි ප්‍රදේශයේ පිහිටි ලුම්බිණි සල් වනය බුද්ධ කාලයට පෙර සිටම කපිලවස්තු සහ දෙව්දහපුර වාසීන්ගේ විනෝද උයනක් ලෙසින් පැවතුණි.

ප්‍රමෝද වනය ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලුම්බිණි සල් වනය සල් ගස්වලින් පිරී තිබිණි. එමෙන්ම විවිධ වර්ණවලින් යුක්ත වූ මල් වර්ගවලින්ද ගහන මෙම වනෝද්‍යානය සිත් ඇද ගන්නා සුලු උයනකි. මී මැසි වර්ග රැසක් මෙහි සිටිති. ලුම්බිණිය දෙව්ලොව ඉන්ද්‍රා දෙවියන්ගේ චිත්‍රලතා උයනට සමාන කර ඇත.

සැදැහැවත් බෞද්ධයන් විසින් දැක වැඳ පුදා ගත යුතු පුදබිම් සතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ සේක. ලුම්බිණිය, සිදුහත් කුමරු උපන් පුදබිම මෙකල නේපාල දේශයේ පිහිටා ඇත. බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව, ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය හා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා පුදබිම පිහිටියේ මෙකල ඉන්දියාවේය.

සිදුහත් කුමරු උපන් පුදබිම මෙකල නේපාලයේ ඇති බවට ඇති ඉතා ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂිය වන්නේ අසෝක මහ අධිරාජයා විසින් ඒ පුදබිමේ පිහිටුවන ලද ශිලාස්තම්භයයි. එහි සිදුහත් කුමරු උපන් බව බ්‍රාහ්මී අක්ෂරවලින් ඒ ශිලා ස්තම්භයේ සටහන් කර ඇත.

(Asoka - prof. D.R.BANDARKAR - P. 79 INDIA - 1925)
 

බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි “හිද බුදජාතෙ සාක්‍යමුණිති - හිද භගවම් ජාතෙති ලුම්බිණි ගා මේ” යනුවෙන් එම ලුම්බිණි ටැම්ලිපියේ සඳහන් කර ඇත. සිදුහත් කුමරු උපත ලැබුවේ එම සල් උයනේ සල් ගසක සෙවණේය.

සිදුහත් කුමාරයා උපත ලැබුවේ පුරාණ කාලයේදී ජම්බුද්වීපය යන නාමයෙන් යුත් රටේ එකල ජම්බුද්වීපයට මෙකල නේපාලය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ද අයත් වූයේය. ඉහතින් සඳහන් කළ මේ හැම රටකම අසෝක රජතුමාගේ (ක්‍රිස්තු පූර්ව 273 -232) ශිලාලේඛන හමු වී ඇත. ඒ ශිලාලේඛනවලින් ඉතා විශාල සංඛ්‍යාවක් ලියා තිබෙන්නේ බ්‍රාහ්මී අක්ෂරවලිනි. ඊට අමතරව ඛරෝෂ්ටි අරමැයික් හා ගී‍්‍රක් අක්ෂරවලින් ඒ ශිලාලේඛන ලියා ඇත.

ලුම්බිණි ටැම්ලිපියෙහි අසෝක රජුගේ ශිලා ලේඛනය

1. දෙවන පියෙන පිය දසින ලජින විසති - වසා නිසි නෙත

2.අතන අගාඩ මහියෙත හිද බුද ජාතෙ - සාක්‍ය මුණිති

3.සිලා විගඩහි ච කලා පිතෙ සිලා ථබෙ ච උසපපිතෙ

4.හිද භගවම් ජාතෙ ති ලුම්බිණි ගාමෙ උබලි කටේ

5. අටභාගියේ ච

අසෝක රජතුමාට පසුව ලුම්බිණි පුදබිමට මෙන්ම තවත් බොහෝ පුදබිම්වලට භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩම කළ බව වාර්තා වී ඇත. ඉන් ෆාහියන් හිමියෝ (ලංකාවටද පැමිණ ඇත) ක්‍රි.ව. 5 වැනි සියවසේදී ද හිංෂාන් හිමියෝ ක්‍රි.ව. හත්වැනි සිය වසේදී ද ඉන්දියාවේ සංචාරය කළහ.

කිඹුල්වත්පුර සිට දෙව්දහපුරයට මායාදේවිය ගිය ගමන

මව්කුස පිළිසිඳගත් සිදුහත් කුමරු ඉතා සුවයෙන් වැඩුණහ. දරුවා බිහිවීමට දස මස සපිරෙන්නට ආසන්න කාලයේදී මහාමායා බිසව සිය දෙමාපියන් වෙත යෑමට කැමති බව සුද්ධෝදන රජතුමාට පවසා ඇත. ඉන් පසුව සුද්ධෝදන රජතුමාගේද කැමැත්ත පරිදි රාජ පරිවාර ජනයාද සමඟ රන්දෝලාවක නැඟී මහාමායා දේවිය සිය සහෝදරිය වූ ප්‍රජාපතී දේවිය සමඟ පිටත් වූවාය. කිඹුල්වත්නුවර සිට දෙව්දහ පුරයට යන අතරමඟ ඉතා අලංකාර මල් උයනක් මහාමායා දේවිය දුටුවාය. මහාමායා දේවිය මල් පිපී තිබුණු සල්ගසක් ළඟට ගොස් එහි ඇති මලක් කැඩීමට උත්සාහ කළාය. ඒ අවස්ථාවේදී මහබෝසතාණන් වහන්සේගේ උපත සිදු විය. පිරිවර කාන්තාවෝ වට තිර ඇද ඒ ස්ථානය සැරසූහ. මහා ප්‍රජාපතී දේවිය විසින් ඒ අසල ඇති පොකුණෙන් මහ බෝසතාණන් වහන්සේ නාවා පිරිසිදු කරන ලදී. ඒ සමඟම එම කුමරුවෝ සත් පියවරක් ගමන් කළහ. ඒ හැම පියවරකදීම පියුම් සතක් පිපුණේය. කුමරුවෝ අග්ගෝ හමස්මී කියමින් සිහ නාද කළහ. ලුම්බිණියේ සිදුහත් කුමරු උපත ලබා පා තැබූ ස්ථානයේ එම ශිලා ඵලකය අද මාකර් ස්ටෝන් (ථචපඬඥප ඵබධදඥ) නමින් හැඳින්වේ.

කිඹුල්වත් පුරයෙන්ද දෙව්දහ පුරයෙන්ද රැස්වූ සියලු දෙනා සමඟ මහ පෙරහරකින් බෝසතාණන් වහන්සේ සහ මහාමායා බිසවද කිඹුල්වත් පුරයට වැඩම කරවූහ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උපත ලැබුවේ ඉහතින් සඳහන් කළ පරිදි සල් ගස සෙවණේය. එම සල් ගස මැදි කර ඒ කාලයේදීම දැවවලින් වැටක් නිර්මාණය කර සාදන ලද විහාරය ලුම්බිණියේ මායාදේවි විහාරයයි.

මෙම සල් උයන ඉන්පසුව විනෝද උයනක් ලෙසින් හෝ නොපැවතුණි. එය පුදබිමක් ලෙසින් පැවති නිසාම සැදැහැවතුන් බුද්ධ කාලයට පෙර සිටම එම පුදබිම වැඳ පුදා ගැනීමට යෑමට පුරුදු වී ඇත. අසෝක රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී ලුම්බිණියේ ඒ ශිලා ටැඹ පිහිටුවීමට පෙර පවා පැවතුණේ එසේය.

අසෝක රජතුමා පුදබිමට පැමිණීම

අසෝක රජතුමා මේ පුදබිමට පැමිණියේ තම ආගමික උපදේශක උපගුප්ත හිමියන් සමඟය. මේ බව දිව්‍යාවදාන නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ හිමියෝ සිය දකුණු අත දිගුකොට එම සල් ගස පෙන්වා සිදුහත් කුමරු උපන් ස්ථානය මේ බව අසෝක රජතුමාට පැවසූ බව එම ග්‍රන්ථයෙහි සඳහන් වේ.

මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම

එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අධිපති මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා සහ නේපාලයේ පශුපති ප්‍රදේශයේ සංවර්ධන භාරයේ පුරාවිද්‍යාඥ කොෂ් ප්‍රසාද් ආචාර්ය යන විද්වතුන් දෙදෙනාගේ මූලිකත්වයෙන් 2013 වර්ෂයේ නොවැම්බර් මස අග භාගයේදි කැණීමෙන් හමුවූ පුරාවිද්‍යා දත්තයන් ලුම්බිණි සල් උයනේ තිබුණු මායාදේවි විහාරයේ පරිශ්‍රයේ 2011 සිට කරන ලද පුරාවිද්‍යා කැණීම් මාලාවේ නිශ්චිත වූද ඉතා වැදගත් වූ ද කාලපරිච්ඡේදය සහිත පුරාවිද්‍යා කැණීමය. මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායම 2011 සිට මේ කාර්යයෙහි නිරත වූහ. මේ පුරාවිද්‍යා කැණීමේ ප්‍රතිඵල දැන් සමස්ත ලෝකවාසී ජනතාව ඉතා හොඳින් දන්නා කරුණකි. ලංකාවේ සියලුම ජනමාධ්‍ය මඟින් මේ පුරාවිද්‍යා කැණීමෙන් ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේදී සිද්ධාර්ථ කුමාරයා මේ ලුම්බිණි සල් උයනේදී උපත ලද බව ඔප්පු කර ඇති බවට සඳහන් කර ඇත. එම පුරාවිද්‍යා කැණීමේ ප්‍රතිඵල අනුව මායාදේවි විහාරයේ ප්‍රථම වතාවට පුරාවිද්‍යා කැණීමක් සිදු කර සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ නිශ්චිත ස්ථානයේ හමුවූ පුරාවිද්‍යාත්ම අවශේෂ කාලනිර්ණය කිරීම පසුගිය වසර එකසිය පනහ තූළ පුරාණ භාරත දේශයේ (මෙකල නේපාලයේ) සිදුකළ විශිෂ්ටතම පුරාවිද්‍යා කැණීම ලෙස ලොවම පිළිගෙන හමාරය.

මෙම පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් අනුව සිදුහත් කුමරු උපත ලද කාලයේදීම මායාදේවි විහාරයට අයත්වූ මේ වෘක්ෂයට පුද පූජා පැවැත්වීමට සියලු කටයුතු සුද්ධෝදන රාජ යුගයේ ආරම්භ කළාට සැක නැත. සිදුහත් උපතින් පසු මේ ස්ථානය රාජ නියෝගයෙන් විශේෂිත පූජනීය උද්‍යානයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන්නට ඇත්තේ සුද්ධෝදන රජුගේ යුගයේදීම විය යුතුය. මේ පූජනීය සල් ගස මැදිකොට එහි ආරක්ෂාව සඳහා දැව වැටක්ද ඉදි කළාට සැක නැත. එම නිසා එම වෘක්ෂයේ සහ එම දැවවල කොටස් මේ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින්ට හමුවීමද සිදු වී ඇත. එම දැව (ලී) කොටස් විද්‍යාත්මකව කාල නිර්ණය අනුව ක්‍රිස්තු පූර්ව හයවැනි (6) සියවසට අයත් වන බවට මේ වන විට ඒ පුරාවිද්‍යාඥයින් විසින් අන්තර්ජාතික ශාස්ත්‍රීය සඟරාවක් වූ (ඇන්ටික්විටි) සඟරාවේ 2013 දෙසැම්බර් කලාපයට පර්යේෂණ වාර්තාවක් සපයා ඇත.

මහාචාර්ය රොබින් කොනිංහැම් පවසන තවත් විශේෂ කාරණයක් මෙම මායාදේවි විහාරයේ කැණීම් පිළිබඳ ඉතා වැදගත්ය. ඒ අනුව මෙම පුදබිමේ කිසිදු අවදියකදී සත්ත්ව ඝාතනය හෝ බිලිපූජා ආදී කිසිවක් සිදු කර නැති බවය. මේ පුරාවිද්‍යා කැණීමෙන් බුද්ධ කාලයට පෙර (සිද්ධාර්ථ උපතට පසු) වැඳුම් පිදුම් කළ පුදබිමක් බවට කිසිදු සැකයක් නැත.

(සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරය නමින් ම විසින් ලියා පළ කළ (2014) ග්‍රන්ථය ඇසුරින් ලියන ලදි)

පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක හා මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්

සිරිසමන් විජේතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.