ලෙඩ සුව කරන බුදු මඟ

මැයි 24, 2024

යම් රෝගාබාධයක් හේතුකොටගෙන මිනිසා පත්වන ලොකුම දුක වන්නේ වේදනාවය. වේදනාවෙන් මිදෙනු උදෙසා විවිධ ඖෂධ ඇති නමුත් බොහෝ අවස්ථාවලදී ඒවායින් පිහිටක් ලැබෙන්නේ ඉතා සළු වශයෙනි.

වේදනා නාශක මෙතරම් ඇතැයි කියන ලෝකයේ වේදනාවල් දරා ගත නොහැකිව දිවි නසාගත් පුද්ගලයන් ගැනද අසන්නට ලැබෙන්නේ එහෙයිනි. එහෙත් ඖෂධවලින් තොරව මනස මෙහෙයවීම මඟින් වේදනාව මැඩ පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් බුදුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. මේ පිළිබඳව පාඨකයාට වඩාත්ම හොඳීන් අවබෝධ කෙරෙන අවස්ථාවක් මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ දැක්වේ.

බුදුන්වහන්සේගේ ප්‍රධානම දායකයෙකු වූ අනේපිඬු සිටිතුමා ජීවිතාවසානයේ බලවත් ලෙස රෝගාතුර වූ අතර, දරාගත නොහැකි වේදනාවන්ට මුහුණ දී තිබේ. සිටුතුමා තමාගේ සේවකයකු විහාරස්ථානයට යවනු ලැබුවේ මේ බව බුදුන් වහන්සේටත්, සැරියුත් තෙරණුවන්ටත් දන්වන ලෙස නියෝග කරමිනි. එය ඇසූ සැරියුත් හිමියෝ සේවකයා සමඟ සිටු මැදුර බලා වැඩියහ.

සිටුතුමා විසින්ම සැරියුත් හිමියන්ට පැවසූ පරිදි ඔහුගේ සිරුර ගිනි අඟුරු වළක් මතුවෙහි සිටින්නාක් මෙන් ඇතුළතින් දැවෙමින් පැවතුණේය. සියුම් පිහියකින් ඇන දෙපසට ඉරා දමන්නාක් මෙන් උදරය වේදනා දෙමින් පැවතිණ. රැහැන් දෙකකින් වෙලා ශක්තිමත් මිනිසකු විසින් මුළු වෙර යොදා තද කරන්නාක් මෙන් හිස කකියන්නට පටන් ගෙන තිබුණි.

උන්වහන්සේගේ උපදෙස වූයේ තමාට වේදනා දෙන මෙකී ඉන්ද්‍රියන් තමාගේ නොවේ යයි සිතන්නට පටන් ගන්නා ලෙසය. ඒ සඳහා මුලින්ම තමාගේ ඇස තමාගේ නොවේ යයි සිතන්නට පුරුදු වන ලෙස උන්වහන්සේ දැන්වූහ. ඇස ගැන හැඟීමක් එවිට ඔබට නොදැනෙනු ඇතැයි සැරියුත් හිමියෝ පැවසූහ. එතැනින් නොනැවතී ඇස පමණක් නොව, කන, නාසය, දිව, ශරීරය මෙන්ම මනසද තමාගේ නොවේයයි දිගින් දිගටම සිතන ලෙසය.

ඉක්බිති මේ ඉන්ද්‍රියන් පිළිබඳ ක්‍රියාදාමය පැහැදිලි කරමින් සිටුවරයාට අනුශාසනාවක් කළ සැරියුත් හිමියන් පෙන්වා දුන්නේ මෙකී ඉන්ද්‍රියන් බුද්ධ ධර්මයට අනුව අධ්‍යාත්මික ආයතන ලෙස හඳුන්වන බවය. මේ ආධ්‍යාත්මික ආයතනවලට අරමුණු රැගෙන එනු ලබන්නේ වෙනත් ආයතන හයකිනි. රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ සහ ධම්ම යනු ඒවාය. මේවායින් සුන්දර හා අසුන්දර අරමුණු මනසට ළඟාවෙයි. ඒවා වේදනාවන්ද නැතිද යනුවෙන් නිගමනය කරනු ලබන්නේ මනස විසිනි.

රෝගාබාධ 34 ක් ගැන කියැවෙන ගිරිමානන්ද සූත්‍රය

රෝගාබාධ 34 ක් මූලිකව පෙන්වා දෙන සුප්‍රකට ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන පරිදි, බුදු රජාණන්වහන්සේ ආනන්ද තෙරුන්ට දස සඥ්ඥාවන් සහිත සූත්‍රයක් උගන්වා රෝගීව සිටින ගිරිමානන්ද තෙරුන් වෙත ගොස් සජ්ඣායනා කරන ලෙස වදාළ සේක. මෙයින් තෙරුන්ගේ සිත උන්වහන්සේගේ ශරීරය සහ මුළුමහත් අවශේෂ ලෝකය සමඟම වූ සබඳතාවයන්ගෙන් මිදීමට සැලැස්වූ බවද සඳහන්ය.

මේ ආකාරයට තමන්ගේ ඉඳුරන් ගැන භාවනාවක් පුහුණු කර ගතහැකි නම් වේදනාවකදී එය රෝගියකුට මහත් පිහිටක් වනු ඇත. රෝගවලට මුල්වුණ රතු මස් අනුභවය ආරම්භයේදී මිනිසුන්ට තිබුණේ රෝගාබාධ තුනක් පමණි. ඒවා නම් රාගය, කුසගින්න. හා වියපත් වීමය. පසුකලෙක ගවමස් ඇතුළු සත්ව මාංශ අනුභවයට පෙළඹීමත් සමඟම මිනිසාට වැලඳුණු රෝගාබාධ ප්‍රමාණය සියයකට ආසන්න වූ බව පැවසෙයි. රතුමස් අනුභවය නිසා මිනිසා පිළිකා ආදී රෝගවලට ගොදුරුවීමේ අවදානමට ලක්ව ඇති බව පෙන්වා දී ඇති බටහිර වෛද්‍යවරු ලෝකයේ දීර්ඝායුෂ විඳීනු ලබන පුද්ගලයන් හා මාංශ අනුභවයේ යෙදෙන පුද්ගලයන් පිළිබඳව කරනු ලැබූ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, දීර්ඝායුෂ විඳීනු ලබන්නේ මාංශ අනුභවයෙන් තොරවූවන් බව පවසති.

මානසික අවපීඩනය (Depression)

  මනුෂ්‍යයාගේ සිතට ඇතිවන විවිධාකාර සංකීර්ණ ගැටලු නිසා අදාළ ජෛව රසායනිකයන් අඩුවීමෙන් මේ තත්වය ඇතිවන අතර මනස පුරවා දමන මේ සංකීර්ණ සිතුවිලි හයට හේතුවෙයි. ඒවා කළමනාකරණය කිරීම සඳහා බුදු දහමට අනුව කළ හැකි හොඳම ක්‍රමය වන්නේ භාවනාවය. මනසට පීඩා කරන සෘණාත්මක සිතිවිලි නතරවීමත් සමඟ මේ ජෛව රසායනික සාන්ද්‍රණය වැඩි වෙන්නට පටන් ගනී.

මතකය අඩුවීමේ රෝගය ඩිමෙන්ෂියා (Dementia)
 

මෙය මොළයේ නියුරෝන සෛල අඩුවීම නිසා සිදු වන්නකි. එහෙත් භාවනාව හේතුවෙන් එම සෛල වර්ධනය වෙයි. මනුෂ්‍යායාට සෑදෙන දැඩි හිස රුදාව සහ ඇඟ පතේ වේදනාවද මේ ආකාරයට බෞද්ධ මනෝ විද්‍යා ප්‍රතිකාරවලින් සුවපත් කර ගත හැකි බව වර්තමාන වෛද්‍යවරුන් පවා පිළගන්නා දෙයකි.

නිරෝගි භාවය උතුම්ම ලාභය බව කියන අත්ථස්සද්වාර ජාතකය කායික නීරෝගී බවින් තොරව මානසික නිරෝගී භාවය ලැබීමද දුෂ්කර වන්නේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා මානසික නිරෝගී භාවයද අවශ්‍ය බැවිනි. අත්ථස්සද්වාර ජාතකය මේ අදහස තව දුරටත් අපට තීව්‍ර කරවන්නකි. මේ ජාතක කතා වස්තුවට ඇතුළත්ව ඇත්තේ මෙලොව සහ පරලොව දියුණුව අපේක්ෂා කරන්නා සිය සෞඛ්‍ය සම්පන්න භාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන්නය.

ලෙඩ රැසකට මුල්වන තරබාරුව

දියවැඩියාව මූලිකවද, ඊට අදාළව මතුවන වකුගඩු රෝග, හෘදයාබාධ, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම ආදිය ඉස්මතු වීමටද මූලික වන තරබාරුව මැඬ පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් බුදු දහමෙන් ලබා දී ඇත. වරක් ඉස්මුරුත්තාව එනතෙක් ආහාරගෙන සිටි කොසල් රජුට බුදුන් වහන්සේ ඉදිරියේ නැගිට ගැනීමට නොහැකි වූ විට බුදුන් වහන්සේ කොසොල් රජුට ආහාර ගැනීම සීමා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

සක්මනෙහි වටිනාකම

ඇවිදීම හොඳම ව්‍යායාමය ලෙස අද වන විට ලොව පුරා විද්‍යාඥයින් අනුදත් එකකි. බෞද්ධ සාහිත්‍යයේ කියවෙන සෑම විහාරස්ථානයකම සක්මන් මළුවක් ගැනද කියවෙන්නේ තරබාරුවට මෙන්ම උදරයේ විශාලත්වයට ද, ප්‍රතිකර්මයක් ලෙස බුදුන් වහන්සේ සක්මනෙහි යෙදීම ඒ සඳහා ඉතා සුදුසු ප්‍රතිකාරය බව පෙන්වා දුන් හෙයිනි.

ජල පරිහරණය

පැවැත්ම සහ සෞඛ්‍ය සම්පන්න භාවයටද මුල් වන්නේ ජලය බව උන්වහන්සේ වදාළ සේක. ජලය නිරන්තරයෙන් පෙරා පානය කළ යුතු බවද ඒ සඳහා පෙරහනක් භාවිතා කළ යුතු බවද බුදුන්ගේ උපදේශය විය. චූලවග්ග පාලියෙහි මේ පිළිබඳව සඳහන්ය. උන්වහන්සේ පැවසුවේ ගංගා, වැව්, පොකුණු ආදියෙහි ජලය පරිහරණය කිරීමේදී ඒවාට මළ මුත්‍ර පහකිරීම, හෝ කෙළ ගැසීම නොකළ යුතු බවය.

පමණ දැන ආහාර ගැනීම

ආහාරය සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විග්‍රහයක් සබ්බාසව සූත්‍රයෙහි සිදුකොට තිබේ. ආයුර්වේදයටද එකඟ ක්‍රමයක් බුදුන් වහන්සේ ආහාර ගැනීම පිළිබඳව පෙන්වා දුන්සේක. පමණ දැන වැළඳීම ශීලයෙහිද කොටසක් විය.

සුව නින්දක් උදෙසා බුදු ඔවදන

යහපත් සහ සුවපත් නින්දක් අනු දැන වදාළ බුදුන්වහන්සේ සුවසේ නිදා ගැනීමට ක්‍රෝධය නැසූ සිතක අවශ්‍යතාවය පෙන්වා දුන්සේක. ඒ සඳහා යහපත් මානසික තත්ත්වයක අවශ්‍යතාවය අවධාරණය කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.