සිත ගත පිරිසුදු කරන චීනයේ වෙසක් සැමරුම

මැයි 24, 2024

වෙසක් යනු බෞද්ධ දින දර්ශනයේ අති පූජනීය දිනයයි. හින්දු සහ බෞද්ධ දින දර්ශනවල වෙසක් මාසය වන මැයි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලැබේ. චීනයේ බෞද්ධයන් ඔවුන්ගේ වෙසක් සැමරුම් සැලසුම් කිරීම සඳහා චීන චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරන අතර, චන්ද්‍ර වර්ෂයේ සිව්වැනි මාසයේ අටවැනි දිනට වෙසක් යෙදෙයි.එය සාමාන්‍යයෙන් සමරනු ලබන්නේ අප්‍රේල් හෝ මැයි මාසවල ය. එය අධික වසරක් නම්, දිනය බොහෝ විට ජුනි මාසයට යෙදේ.

මෙවර චීනයේ වෙසක් සැමරුම් 2024 ජුනි 15 යෙදී ඇත. මෙම චීනයේ “බුද්ධ දිනය” ලෙස හඳුන්වයි.

චීනයේ හොංකොං සහ මැකාවු හි රජයේ නිවාඩු දිනයකි. මහායාන බුද්ධාගමේ බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය දින තුනකදී සමරනු ලබයි. බුද්ධෝත්පත්තිය වෙසක් ලෙස සලකයි.

සිද්ධාර්ථ උපදින විට මල් පිපීම, කුරුල්ලන් ගැයීම, සුවඳ පිටාර ගැලීම, දේදුන්නක් මතුවීම, පූජනීය ගවයෙක් මුමුණන හඬ, සිද්ධාර්ථ ළඟට එන අලියෙක්, ඒ අසලම කන්‍යා කුරුල්ලා පියාසර කිරීම ඇතුළු පූජනීය සංසිද්ධි අටක් සිදු වූ බව චීනයේ බෞද්ධාගමිකයන්ගේ පිළිගැනීමයි. ඊට අමතරව, පුරාවෘත්තයනට අනුව, එම අවස්ථාවේ දී, මකරුන් 9 දෙනෙකු විසින් ඉසින ලද ජලයෙන් සිද්ධාර්ථයන් පිරිසිදු කර ඇත. අලුත උපන් බිළිඳා පිරිසිදු කිරීම සඳහා මකරුන් ජලයෙන් නැහැවූ බුදුන් උපන් මොහොත සංකේතවත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමාවක් සුවඳ ජලයෙන් නහවනු ලැබේ.

බුදුන් උපන් මොහොතේ උන්වහන්සේට පුද පූජා කළ දෙව් බඹුන් සිහි කිරීමේ සංකේතාත්මක ක්‍රියාවක් ලෙස ද බුදුන් දිය නැහැවීම හා පුද පූජා කරයි. ඒ අනුව චීනයේ මේ දිනය පොදුවේ “ස්නානය (පිරිසිදු කිරීමේ) බුද්ධ මංගල්‍යය” ලෙස හැඳීන්වේ. ”මහා වෙසක් දින පුෂ්ප මංගල්‍යය ” ලෙසින් බෞද්ධ විහාරස්ථානවල සැමරුම් සිදු කරන අතර එහිදී මිනිසුන් සුවඳ දුම් දල්වා භික්ෂූන් වහන්සේලා සඳහා ආහාර පූජා රැගෙන යයි.

පසු පරම්පරාවන් ශාක්‍යමුණිට ස්තුති කිරීම පිනිස චීන ජනයාට බුදුදහම ලබාදීමට චීනය කටයුතු කර ඇත. ඔවුන් බුදුන් වහන්සේගේ උපන් දිනය හඳුන්වන්නේ බුද්ධ ස්නානය, බුද්ධෝත්පත්ති මංගල්‍යය, හුවායන් රැස්වීම යනාදී ලෙසින්ය. සියල්ලෝම බුද්ධ ඥානය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ ස්නාන මංගල්‍යයෙනි. අපිරිසිදුකම සහ සියලු ආකාරයේ අභ්‍යන්තර ගැටලු ඉවත් කිරීම මෙමගින් අපේක්‍ෂා කරයි.

වෙසක් දිනය තුළ සංඝාරාම බෞද්ධ කොඩිවලින් සහ මල්වලින් සරසා ඇති අතර නිර්මාංශ අවන්හල් හා මස් මාංශ අනුභවයෙන් වැළකී සිටින බැතිමතුන් දක්නට ලැබෙයි. නිර්මාංශ වීමෙන් තම ආත්මය පමණක් නොව, තමන්ගේ බඩ ද ”පිරිසුදු” කරගත හැකි යැයි පිළිගැනීමකි. ඇදහිලිවන්තයන් පුණ්‍ය කටයුතු සහ කරුණාවේ ක්‍රියා සිදු කරන අතර දවසම මස් අනුභව නොකෙරේ. මෙදින මිනිස් පරිභෝජනය සඳහා අල්ලා ගන්නා සතුන් ද නිදහස් කෙරෙනු ඇත.

වෙසක් සමයේදී චීනයේ බෞද්ධයන් මල් සහ වෙනත් සැරසිලිවලින් විහාරස්ථාන අලංකාර කරන අතර, ඔවුන් බෞද්ධ ධජය එසවීමට සහ ගීතිකා ගායනා කිරීමට අලුයම එක්රැස් වෙති. බොහෝ විට, ඔවුහු බුදුන් වහන්සේගේ පාමුල වැතිරීමට පඬුරු පූජා කරති. මල්, ඉටිපන්දම් සහ සුවඳ දුම් පූජා කරනු ලැබේ. චීන බුද්ධාගමේ බැතිමත්හු සූත්‍ර ගායනා කිරීමට සහ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කිරීමට පෙළඹෙති. ඔවුන්ගේ පූජාසන ඉදිරිපස මල් සහිත වතුර භාජනයක කුඩා බුද්ධ ප්‍රතිමාවක් තබති. මෙය අකුසල කර්ම දුරු කිරීම සඳහා වන අතර එය බුදුන් ස්නානය කිරීම ලෙස හැඳීන්වේ.

චීනයේ හොංකොංහි බුදුන් වහන්සේගේ උපන් දිනය රජයේ නිවාඩු දිනයකි. හොංකොං හි බොහෝ බෞද්ධ ඇදහිලිවන්තයන් සහ ආරාම ඇත. එබැවින් වෙසක් වෙනුවෙන් විවිධ ස්ථානවල විවිධ සැමරුම් පැවැත්වේ. බුදුන් වහන්සේගේ බුද්ධත්වය සංකේතවත් කිරීම සඳහා පහන් කූඩු දල්වන අතර බොහෝ දෙනා වන්දනා කිරීමට විහාරස්ථානයට පැමිණේ. මේ නගරයේද බුද්ධ ජන්ම දින සැමරුමේ ප්‍රධාන අංගයක් වන්නේ බුද්ධ ප්‍රතිමා ස්නානය කිරීමයි.

හොංකොං හි සියලුම බෞද්ධ විහාරස්ථානවල චාරිත්‍රානුකූල උත්සවය පවත්වනු ලබයි. සජ්ඣායනා කිරීම, භාවනා කිරීම, ධර්ම ග්‍රන්ථ පිටපත් කිරීම, පහන් පූජා කිරීම මෙන්ම බුද්ධ ස්නාන උත්සව, සරණාගත උත්සව, ආපදා සහන රැස්වීම් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් පැවැත්වෙයි. මේ දිනය සැමරීම සඳහා වන්දනාකරුවෝ් බෞද්ධ විහාරස්ථානවලට ගොස් බුදු දහමේ වර්ණවලින් සරසා, සුවඳ දුම් දල්වා, සූත්‍ර සජ්ඣායනා කිරීමට භික්ෂූන් වහන්සේලාට පුද පූජා පවත්වති.

බුදුන් වහන්සේගේ උපන්දිනය සැමරීම සඳහා භික්ෂූන් වහන්සේ සාම්ප්‍රදායික පා ගමන් සඳහා සහභාගී වීම යාචක බෞද්ධ සම්ප්‍රදායකි.

බීජිං හි යූ ෂෙන්ග් විහාරස්ථානයේදී සෑම වසරකම බුදුන් වහන්සේගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් සිය ගණනක් පූජනීය උත්සවයට සහභාගී වේ. මේ දිනය බුදුන් වහන්සේගේ උපන් දිනය සැමරීම සඳහා පමණක් නොව, ඇදහිලිවන්තයන්ට ස්වයං විමර්ශනය කිරීමට අවස්ථාවක් ද වේ. සමහර භික්ෂූන් වහන්සේලාට එම දිනය බුදුන් වහන්සේ සොයා ගිය දිනය සිහිපත් කිරීමකි.

චීන ප්‍රජාව, වෙසක් දිනය සමරනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රධාන සංස්කෘතික සම්ප්‍රදායන් හා එරට බෞද්ධ සංස්කෘතිය මතය. වෙසක් දිනයේදී බෞද්ධයන් ආරාමවලට ගොස් යාච්ඥා කිරීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙයි. එම බෞද්ධ යාච්ඥාවන් බොහෝ විට තමන්ගෙන් ඔබ්බට ගොස් ලෝක සාමය සහ සහජීවනය සඳහා යාච්ඤා කිරීම දක්වා ද විහිදේ. මේ වෙසක් උත්සවයේදී, ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා බෞද්ධ ප්‍රඥාව සහ ශක්තිය ලබා දීමට වත්මන් චීනය කටයුතු කරයි.

තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදය හා බුදුදහම පුරාණ චීනයේ ප්‍රධාන ආගමික හෝ දාර්ශනික විශ්වාසයන් ත්‍රිත්වය විය. ඒ සියල්ලෝම චීන සංස්කෘතිය සහ සම්ප්‍රදායන් හැඩගස්වා ගැනීමට උදවු කර ඇත. චීනයට අමතරව, තායිලන්තය, ශ්‍රී ලංකාව, මියන්මාරය, කාම්බෝජය, භූතානය, සිංගප්පූරුව, මැලේසියාව, නේපාලය, බංග්ලාදේශය, තායිවානය, මොංගෝලියාව සහ දකුණු කොරියාව වැනි රටවල ද බුද්ධ ජන්ම දිනය සමරන බව ඔවුහු දනිති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.