වැඩකාර යක්කු

ජුනි 7, 2024

දුම්මල සුවඳක් දේවාල භූමියෙන් පිටවී වටපිටාවට පැතිර ගියේය. වටේ රැස්වී සිටි පිරිසට දැණුනේ දෙවියන් මඟ වඩිනවා වැනි හැඟීමකි. සුවඳ පසුපස සෙමින් ඇදී ආවේ දුම්මල දුමයි. එය ඇවිදින් වටාපිටාවේ සිටි මිනිසුන්ට වැඳගන්නට කීවාක් මෙන් ඔවුහු එකවරම දෑත් පපු මතට ගත්හ.

සෙනවි ළඟ සිටි සුමේදට ඇඟිල්ලෙන් ඇන්නේය. පපුවේ දෑත් නවාගත් මිනිසුන්ගේ දෑස් බාගෙට මෙන් පියවී ගොසිනි. සෙනෙවිගේ ඉඟියෙන් බණ්ඩාර කාටත් නොදැනෙන්නට බැතිමතුන්ගේ ඡායාරූපයක් ගත්තේය. ‘ඔන්න මිනිස්සු පියාගත්තු ඇස්වලින් දෙයියෝ දකිත්වා” සෙනෙවි බණ්ඩාරට කීවේය.

මොහොතකින් ඇතුළින් ආයේ සීනුවක් නාදවෙන හඬය.” බණ්ඩාරට පාසල් ගිය කාලය සිහිවිය.’ ස්කෝලෙ ඇරෙන්න ගහන බෙල් එක’

‘අලුත් නුවර ගම්භාර දෙවියන්ගේ අඩවියෙන් ආපු බවලතීට දේවතාවුන් වහන්සේ කතා කරනවා’ මේ සීනුව ගහල තියෙන්නේ ස්කෝලේ පටන් ගන්ඩ දැන් නම් අඬගහනවා. බණ්ඩාර සිතින් සිතා ගත්තේය. හැබැයි ඇතුළට ගියේ බවලත් කෙනෙක් නොවේ. පිරිමි පරාණයකි.

සෙනෙවි දේවාලයට ඉදිරියෙන් ඇඳ ඇති තිරරෙදි අතරින් ඇතුළ බැලුවේය. දේව දරුවා යද්දී එක තිර පටක් වැදී එහි තිබූ කොණක කණක් ඇඹරී ගියේය. ඒ ඉඩ ඔහුට දෙවියෝ සහ දේව දරුවා දර්ශනය කරගන්නට ඉඩ පෑදුවේය.

දෙවියන්ගේ දූතයා ඇඳ සිටියේ සුදු වේට්ටියකි. උඩුකය නිරුවත්ය. කෙස්වැටිය ගැලවී ගොසිනි. ඉණ වටා රතුපාට පටියක් වෙළී ඇත. දෙවියන් තවම වැඩ පටන් නොගත්තත් දේව දූතයාගේ කෙස්වැටියෙන් දාඩිය මෙන් දිය බේරෙයි. සේනකට හින්දි සහ දෙමළ චිත්‍රපටවල වීරයාගේ හිස සෙළවූ විට විසිවෙන දාඩිය පාර සිහිපත් විය.

දේවදූතයා වරම් ලද්දෙකු මෙන් ගැහෙන්නට විය. ඔහු මොනවාදෝ බසකින් මල් යහනට මොනවාදෝ කීවේය. දේව ගෝලයා දුන් කබලට දැමූ දුම යහනට ඇල්ලුවේය. යළිත් ඔහු හිස වේගයෙන් කැරකුවේය.

“හි හි හි හී මේ දේවතාවුන් වහන්සේ කීව. දරුවා නොවේ. හිග් හිග් හී ඔහු දන් විට හඬවමින් කියද්දී දෑත් උඩ පහළ ගියේය.

“දැක්ක නේද දෙවියෝ වැහිල ඉන්නෙක හරියටම හරිනේ. පේනවද පිරිමියෙක් ගිය නිසා කියන එක” එළියේ අයගේ මත විචාරණය සේනක සිනා නොවී අසා සිටියේය.

දෙවියෝ ඉන්න තැනකට අල්ලන්නේ සම්බ්‍රානි දුම මිස දුම්මල දුම නොවෙන බවටත් නොදන්නා දේවාතුරයෝ “අම්මට නැගිටගන්ඩ බැරුවා. මං ආවේ අම්ම ගැන අහන්ටයි.

“හහ්හහ් හා මේ දේවියන්ට බොරු කරන්ඩ බෑ දරුවො. ඔව් මට පෙන්නුම් කරනවා කාමරයක ඇඳක් උඩ දපා ඉන්න ගැහැනියක්.” ඔහොම ඉන්නවා” ඔහු නැවතත් මායම් වෙමින් දෙවියන් සමඟ යමක් කතා කරමින් සිටියේය.

“දේවතාවුන් වහන්සේ කියනවා. මහා ලොකු විනාශයක් වෙන්න තියෙනවාමයි. මේක වටපිටාවෙන් වෙච්චි දෙයක්ලු. ගෙදර මල්පැලක් හදලා ඔහු යළිත් දෙවියන්ට අමුතු බසින් කතා කරන්නට විය.

සේනකට ඇසෙන හඬින් දැනුණේ දෙමළ බසේ වදන් කීපයකි. ඔහු ඔළුව යළිත් ගසා දැමුවේය.

හැමදාම ගම්භාර දෙවියන්ට පහන් පත්තු කරන්නලු ඒක එක්කම කෙම්මුර දවසක බලියාගයක් කරල දෙවියන්ට පින් දෙන්ඩලු.

ඉන්පසු ඔහු දේව යහනට හැරී යළිත් මායම් වීමට විය. දේව පුත්‍රයා හැරී ඒමට සූදානම් වෙද්දීම එහි සිටි ගෝලයකු” කෝ කෝ පඩුරු තිබ්බේ නෑ නේද?”

‘අනේ අමතක වුණා කීයද?

රු. 2002 ශත 22යි.

“හරිද සෙනෙවි. බණ්ඩාර ඒ අතරේ දෙවියන්ගේ පින්තූර කීපයක්ම ගත්තේය.”

“මොකක්ද සෙනෙවි ඒ භාෂාව – දෙයියෝ කතා කරන්නේ එහෙමද?”

“බණ්ඩාරේ මං දෙවියෝ ආශ්‍රය කළේ නැතුවා”

“එතකොට අර දෙවියන් වැහුණ කියන්නේ”

“දෙයියෝ මේ අපි වාගේ කිළුටු ශරීර තියෙන මිනිස්සුන්ගේ ශරීර කූඩුවලට රිංගන්නේ නෑ. “එතකොට දැන් ඕකද නිබන්ධනේට. ක්ෂේත්‍ර පරීක්ෂණවලට ලියන්නේ.”

“අද මිනිස්සු කරන්නේ ඔන්න ඕක තමයි කියලා කියමු. වෙන මොනවද ලියන්නේ දෙයියෝ වැහිල මෙහෙම කීව කියල ඔප්පු කරවන්ඩද?”

අද බොහෝ තැන්වල ඒ අයුරින් ලංකාවේදී දෙවියන් ආරූඩ වන ආකාරයෙන් දෙවියන් හා කතා කරනවත් ඔබ දැක ඇත. ඒත් ඇත්තටම දෙවියන් වඩින කතාව හෝ ආරූඪ වන කතාව මේ විෂයේ නියළී පැරැන්නෝ පවා අනුමත නොකරන දෙයකි. එහෙත් මේ විෂයයේ ඇති ගැඹුර නම් එහි ඇති සන්නිවේදනයයි. එනිසා එය භූතාපසරණයේදී හඳුන්වන්නේ අස්පර්ශන සන්නිවේදනය යනුවෙනි. භූත බලි, තොවිල් කටයුතුවලදී සිදුවෙන ශාන්තිකර්මය හෝ යාතු කර්මය අපට දෑසට පෙණුනද එයින් සිදුවෙනවා කියන සුවපත්වීම, යකුන් එලවීම, භූතයන් බැදීම හෝ ඇල්ලීම අපට දෑසට නොපෙනේ. එසේම ඒ සිදුවෙන ගනුදෙනුව අපට නොපෙනෙන අතරම අතින් අල්ලා බැලිය නොහැකිය. එහෙත් එහිදී යමක් සිදු නොවේ යැයි තවමත් කෙනෙකුට තහවුරු කිරීමට අවස්ථාව ලැබී නොමැත. එහිදී යමක් සිදුවන බව පිළිගන්නා නිසාද, එය මිනිසාගේ පැවැත්මේ සිට මිනිසා තවමත් විශ්වාසයෙන් හා භාවිත කරන නිසාද එය සමාජ උරුමයක් බවට පත්ව ඇත.

එම සමාජ ක්‍රියාදාම ප්‍රතිකාරයේ ඇති පෞරාණික හා විශ්වසනීයත්වය හා එම විෂය වර්තමාන සමාජයේදී ක්‍රමයෙන් ගිළිහී යාම නිසා එක්සත්ජාතීන්ගේ යුනෙස්කෝ මණ්ඩලය විසින් ජාතික උරුමයක් වශයෙන් රැකීමට නීති සම්පාදනය කොට අනුමත කොට ඇත. ඒවා අද සාමාජික වටිනාකම්ය.

මේ සන්නිවේදනය අප විග්‍රහකර බැලුවහොත් පෙනී යන්නේ එය අධිපති සන්නිවේදනයක් වශයෙනි. මේ යාතුකර්ම විෂයයේදී මූලික වන පාර්ශ්ව කීපයකි. ඒ ඇදුරා ඔහුගේ බෙරකාර පිරිසක් හා ආතුරයා වෙයි. එහිදී ඇදුරා සිය බෙරකරුවන් සමඟ විටෙක කිසියම් සන්නිවේදනයක යෙදෙයි. ඒ මේ කාර්යේදී දැක්වෙන තවත් ගායනා සහ මන්ත්‍ර ජපකිරීමකි. එයට අමතරව ඇදුරා මූලික වශයෙන් සිය සන්නිවේදනය කරනු ලබන්නේ අදාළ දෙවියා හෝ යක්ෂයා සමඟිනි. එම සන්නිවේදනය ඔහු පමණක් දන්නා බසකින් සිදු කරයි. ඔහු තමාගේ අණ දෙන්නේ ආතුරයාට ය. ඔහු වධ දෙන්නේ ආතුරයාටය. එම වධදීම එම ආතුරයාගේ පෞද්ගලිකත්වයට හෝ සිරුර හිමි ඇයට හෝ ඔහුට නොවේ. එහෙත් ඒ මොහොතේ එම සිරුරට අරක්ගෙන සිටින යක්ෂයාටය.

මෙහිදී බලා සිටින පුද්ගලයාට නොදැනෙන දැනෙන දෙය වන්නේ ඉන්පසු ආතුරයා සුවපත් වූ බව දැකීමයි. අප දකින්නේ ඔහු මතුරා ආතුරයාගේ ගෙල මත දමන නූලකි. එම නූල දැමීම හා බැඳීම අතර ඇති සන්නිවේදනය නිසා එහි බලගතු බව නිසා ඇතිවන බලපෑම මෙහි සන්නිවේදනය වෙයි. එසේම තෙල් මතුරා ගෑම, දෙහි කැපීම, සූනියන් කැපීම තුළද ඇත්තේ මෙවන් ක්‍රියාදාමයක් නොවේද? අපි තොවිල බලන්නට ගොස් බොහෝ ආශාවෙන් හා විටෙක බියෙන් බලා සිටින්නේ යකදුරාගේ මේ අශ්පර්ශනීය සන්නිවේදනයයි. ඔහු කෙසඟ ආතුරයා තුළ මිරිස් ගලක්, ගල් වංගෙඩියක් ඔසොවා ගන්නට අණ කරයි. එසේම තරබාරු කාන්තාවකට සාමාන්‍ය පුටුවක් යටින් රිංගා යාමට අණ කරයි. එසේම ඔහු එය කරවයි.

එය සැබෑ ජීවිතයේදි එම දෙදෙනාටම කළ නොහැකි දෙයකි. සමහර ආතුරයන් කියන්නේ තමාට (ඔහුට හෝ ඇයට වැසී ඇති යක්ෂයා විසින්) එම සිරුරෙන් යාමට නම් යම් යම් දේවල් කෑමට බීමට ඇවසි බවයි. එහිදී සැබෑ ජීවිතයේදී නොකන නොබොන දේවල් එම ආතුරයන් අනුභව කරයි. පානය කරයි. එයද සාමාන්‍ය ප්‍රමාණයට නොවේ. ඇතැම් ආතුරයකු අරක්කු බෝතලයක්ම බීවේය. එහෙත් ඔහුට සිහිය ඒමෙන් පසු ඔහුට එවන් මතකයන් හෝ ‘වෙරි’ ගතියක් හෝ දක්නට නොවීය. එහිදී සිදුවූයේ නොපෙනෙන සන්නිවේදනය මඟින් ක්‍රියාවක් සිදු කිරීමයි.

මේ තත්ත්වය කතාකිරීමේදී අපට බුදු දහමේ ගැඹුරු අංගයක් ද උපයෝගී කරගත හැකිය. අප පටිච්ච සමුප්පාදයේදී විඥානය ගැන කතා කිරීමේදි රූප, ශබ්ද, ගන්ධ රස හා ස්පර්ශ අපිට අස්පර්ශනීය සන්නිවේදනයේ යෙදෙන ආකාරය ගැන කතා කිරීමට අපූරු ඉඩක් ලබා දෙයි. අප අසා හා දන්නා පරිදි අක්ෂි විඥානයන්ගේ අරමුණ රූපයයි. ඇසට රූපය ත්‍රිමානව ගෝචර වෙයි. එහෙත් අපට භූත රූප නොපෙනේ. එහෙත් විඥානය සමඟ ගැඹුරින් බැඳීමේදී අපට භූත රූප දකින්නට හැකිය. සමහර රූප ඇසට නොපෙනේ. එහෙත් සිතට දැනේ. එය අස්පර්ශනීය දැන්වීමකි. එසේම ශබ්දයද ගෝචර වන්නේ ශ්‍රවණේන්ද්‍රියටයි. ඇතැම් ශබ්ද හිතකරය. තවත් ඒවා ගෝෂාකාරි අහිතකරය. එම හඬවල් අපට අතින් ඇල්ලිය නොහැකිවා සේම දැකීමටද අපහසුය. ගඳ සුවඳ ද මෙවැනිම සන්නිවේදනයකි. එහෙත් ඒවා නොපෙනෙන අස්පර්ශනීය සන්නිවේදකයෝය.

මේ අයුරින් බලන විට භූතයන්, යක්ෂයන් හා දෙවියන් ඇසුරේ කෙරෙන සන්නිවේදනය ලෙස ගත හැක්කේ එම ක්‍රියාවෙන් සිදුවන ප්‍රතිඵලයයි. එම ප්‍රතිඵලය පෙනේ. එහෙත් එම ඵලය ලැබීමේ හේතුව බලිය හෝ තොවිලය වුවද එහිදී පැළැන්දූ නූල, මැතිරූ දිය, කැපූ දෙහිවලට කළ හෝ රැදුණු සන්නිවේදනය නොපෙනුනි.

එබැවින් එය සුළඟ මෙනි. සුළඟ අපට නොපෙනේ. එහෙත් සුළඟ වැදීමෙන් ගහකොළ අතු සෙලෙ වේ. එවයිට අපි සුළඟ ඇතැයි කියමු. එබැවින් මේ ක්‍රියාදාමයේදී ද කරන දෙයින් යමක් සිදුවේ. එම සිදුවෙන දේ නොපෙනේ. එහෙත් එය ඵලයක් සන්නිවේදනය කරයි. එනිසාම අපි එය යක්ෂ, භූත හා දෙවියන්ගේ අස්පර්ශනීය සන්නිවේදනය ලෙස කියමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.