බත රැක දුන් ඉපැරැණි කෙම්

ජුනි 7, 2024

අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වූයේ බතය. මේ බත්පත අප අතට එන්නේ වී ගොවිතැන නැතහොත් කුඹුරු ගොවිතැන ඔස්සේ ය. වී වගාව සාර්ථකව සිදු කර සරු අස්වැන්නක් අටුවට ගැනීම හෝ වී බිස්සේ ගබඩා කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත් අතීත ගොවියා කිසිදු කෘෂි රසායන ද්‍රව්‍යයක්, වගාවට එකතු නොකරම සරු අස්වැන්නකට හිමිකම් කියුවේ කෙසේද? මෙය විමසා බැලිය යුතුම සාධකයකි.

ඉපැරණි ගොවියා ගුප්ත විද්‍යාව බෙහෙවින්ම විශ්වාස කළේය. වී වගාව ඇරඹීමට පෙර සිට අස්වැන්න ගබඩා කිරීම දක්වාම ඔහු කෙම් පිළිවෙත් අකුරටම අනුගමනය කළේ ය. එතුළින් විස්මිත ප්‍රතිඵල නෙළා ගැන්මට ගොවි ජනයාට හැකි විය. වී යනු බුද්ධ භෝගයකි. එබැවින් වගාව පටන් ගැනීමට පෙර සිටම ගොවි ජනතාව ආගමික චාරිත්‍ර වාරිත්‍ර නොපිරිහෙලා ඉටු කළහ. වී වගාවේ විවිධ අභියෝග හමුවේ භාවිත කරන කෙම් පිළියම්වල පදනම වී ඇත්තේ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සතුව පැවැති අපරිමිත ගුණ සමූහය මෙනෙහි කිරීමයි. එනම් නව අරහාදී බුදු ගුණ සිහියට නඟා ගැනීමයි.

වී වගාව පක්ෂීන්ගෙන් සහ සිව්පාවුන්ගෙන් රැක ගැනීම සඳහා අතීතයේ ගොවියා කළ කෙම් පිළිවෙතක් මෙසේ ය.

අවශ්‍ය ප්‍රමාණයට එනම් වගා කළ ප්‍රමාණයට ගැළපෙන පරිදි පිරිසුදු මුහුදු වැලි රැගෙන ඒ ප්‍රමාණයට පළමුව පුවක් මල් ඇට මිශ්‍ර කළ යුතු ය. පුවක් මල් ඇට හා මිශ්‍ර කළ වැලි කුඹුර මැද නියරක ඉදි කළ මල් බුලත් තටුවක තබා රතන සූත්‍රය සජ්ඣායනයෙන් ජප කිරීම සිදුකර, පිරිත් කරන ලද වැලි මිශ්‍ර පුවක් මල් ඇට කතා නොකර උදය වරු තුනක් කුඹුරට ඉසීමෙන් පක්ෂීන් පමණක් නොව සිව්පාවුන්ගෙන්ද වගාව රැක ගැනීම සාර්ථක ක්‍රමයක් විය.

අතීතයේ පක්ෂීන්ගෙන් කුඹුරු රැක ගැනීම උදෙසා කුරුලු පාළුව වගා කිරීම සිදු විය. එය කෙම් ක්‍රමයක් නොවේ. ගොවිතැනටම ආවේණික වූ අංගයකි. කුරුලු පාළුවද වපුරා පක්ෂීන් එයිනුත් සෑහීමකට පත් නොවන බැව් ගොවියාට නිරීක්ෂණය වූ විට ඒ සඳහා අනුගමනය කළ කෙම් ක්‍රමයක් මෙසේ ය.

පන්සලේ නායක හිමියන් බැහැදැක තත්ත්වය පැහැදිලි කර අදාළ ගොවීන් පළමුව පිරිත් නූල් ලබා ගනී. පසුව කුරුලු පාළුව වගා කළ සීමාවේ මායිම් සලකුණු වන සේ ඉපල් රැසක් සිටුවනු ලැබේ. ඒ සිටුවන හැම ඉපලකම වටා පිරිත් නූල් පොටක් බඳිනු ලැබේ. කතා නොකර මේ කෙම් ක්‍රමය සිදුකිරීමෙන් පසු කිසිදු කුරුලු කොබෙයියෙකුගෙන් හානියක් කුඹුරට සිදු නොවූ වග අතීත ගොවියා සිහිපත් කළේ ඉමහත් අභිමානයකිනි. ඊට හේතුව සත්ත්ව හිංසනයකින් තොරව වගාව රැක ගැනීමට හැකි වීමයි.

මී උවදුරින් වී වගාව රැක ගැනීම සඳහා ද ගොවියා අනුගමනය කරන ලද කෙම් පිළියම් විස්මයජනකය.

වී වගාවට හානි පමුණුවන මීයන් දෙවර්ගයකි. මින් පළමු වර්ගය බටු මීයන්ය. දෙවැනි වර්ගය ඌරු මීයන්ය. බටු මීයන්ට වඩා ශරීරයෙන් බෙහෙවින් හැඩි දැඩි ඌරු මීයන් ද ළපටි ගොයම් පැළවල ළා ගොබ ගලවා ගිල දැමීම මෙන්ම පැසුණු ගොයමේ වී කරල් ද කා දැමීම නිසා වී වගාවට කළ හානිය අතිමහත් විය. මේ සඳහා ‘මා නැකත’ යෙදී ඇති ඉරිදා දිනයක උදයෙන්ම අවදි වූ ගොවියා සිදු කළේ කතා නොකරම මී ගසක් යටට යාමයි. ඉන් පසු ගස මුල පිරිසුදු කර, සුවඳ දුම් අල්ලා ‘මගේ කුඹුර මීයන්ගෙන් විනාශ නොවී රැක දේවා” යන ප්‍රාර්ථනය තෙවරක් කර එම ගසින් මුලක් උගුලා රැගෙන විත් කුඹුරේ කොනක වළ දැමීමයි. කිසිදු මීයෙකුගෙන් ඉන් පසු වගාවට හානියක් සිදු නොවූ බව පැරණි ගොවිමහතුන් පවසන්නේ හද පිරි සතුටකිනි.

අතීතයේ ගොවියා ඇස්වහ කටවහ පිළිබඳවද දැක්වූයේ දැඩි විශ්වාසයකි. ඊර්ෂ්‍යාසහගත අයගේ ඇස්වලට වගාව ලක්වීමෙන් හානි සිදුවේය යන මතයක් ගොවීන් අතර දැඩිව මුල් බැසගෙන තිබුණි. මේ තත්ත්වය වළක්වා ගැනීමටද පිහිට වූයේ කෙම් ක්‍රමය. ඇස්වහ කටවහට ලක් වී ඇතැයි සැලකෙන කුඹුරු යාය පළමුව ගොක් රැහැන්වලින් සීමා කරයි. ඉක්බිති නැවුම් මුට්ටියක් ගෙන පෙරා ගත් පිරිසුදු පැන්වලින් මුට්ටිය පිරවීම සිදු කරයි. මේ මුට්ටියේ ජලයට අමු කහ පෙති කිහිපයක් ද එකතු කිරීම සිදු කරයි. ඉන් පසු දෙහි ගහකින් කඩා ගත් කුඩා අතු කැබැල්ලකින් මුට්ටියේ ජලය කලතමින් “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාව එකසිය අට වාරයක් ජප කරයි. ඉරිදා අලුයම විශේෂයෙන්ම සතුන් අවදි වී හඬ ලෑමට පෙර, මේ ජලය කුඹුරට ඉසීම සිදු කරයි.

වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීමට පැරණි ගොවියා රසායනික පොහොර භාවිතයක් කිසි විට සිදු නොකළේ ය. ඒ සඳහා භාවිත කළේ “ගෙරි කටු” වැනි ස්වාභාවිකව නිපදවා ගත් පොහොරය. එම පොහොර භාවිතයෙන් ද අස්වැන්න සරු නොවූයේ නම් භාවිත කළේ කෙම් ක්‍රමයකි.

කුඹුර වපුරන දිනයට පෙර දින කුඹුරු හිමියා විසින් වැපිරීම සඳහා මුල් ඇදීමට හෙවත් ‘කණු කැපීමට’ බර තියා ඇති වී වලින් කුරුණියක් හෝ දෙකක් වෙනමම භාජනයකට දමා වෙන් කර ගනු ලැබේ. ඉන්පසු කුකුළු වැල්වලින් වියා ගත් පුටුවක කෙසෙල් කොළ අග්ගිස්සක් අතුරා ඒ මත වෙන්කර ගත් වී අතුරා මල් හා පඬුරු ද තබා සුවඳ දුම් අල්ලා රතන සූත්‍රයේ එන ‘වනප්ප ගුම්බේ යථා පුස්සිතග්ගේ’ යන ගාථාව එකසිය අට වරක් කියනු ලැබේ. පසුව සාම්බ්‍රාණි දුම් අල්ලා අනිත් පැළ වී සමඟ මිශ්‍රකර වැපිරීම තුළින් ඉහළ අස්වැන්නක් නෙළා ගැනීමට සමත් වී ඇත.

අතීතයේ විවිධ හේතු නිසා කමතේ දී අස්වැන්න අතුරුදන් වීමද සිදු වී ඇත. ඊට හේතු වී ඇත්තේ සොර සතුරන්ගෙන් එල්ල වූ උපද්‍රවයන්ය. මේ සඳහා ගොවියා පොලිසි උසාවි ගානේ බඩගෑවේ නැත. ඔහුට ඒ සඳහා කාලයද තිබුණේ නැත. සරල කෙම් පිළිවෙත් භාවිතයට ගැනීම තුළින් කමතේ දී අස්වැන්න අතුරුදන්වීමද වළක්වාගෙන ඇති අතර එම කෙම් ක්‍රමය මෙසේ ය.

ගොයම් කපන දිනයේදී උදෑසන අවදිවී දිය නා පිරිසුදුව මුලින්ම ආගමික වතාවත්හි යෙදේ. ඉන් පසු කුඹරට ගොස් පැසී ඇති ගොයම්වලින් තෙමිටක් කපාගෙන මිටියක් ලෙස සකසා ගොක් කොළයකින් බඳිනු ලැබේ. ගොයම් මිටිය මැදට පැසුණු පුවක් ගෙඩියක්, හක් බෙල්ලෙක්, තොලබෝ පත්‍රයක් හා සීරැස්ස කැබැල්ලක් ඇතුළු කොට කතා නොකර, කරල් මිටිය හිස මතින් ගෙනවිත් පාවර වෙත ගමන් කර ඒ වටා තුන් වරක් ගමන් කර, ගොයම් මිටිය පාවර මැද සිටුවනු ලැබේ. ගොයම් කොළය ගොඩ නැඟීම සිදු කරනු ලබන්නේ සිටවූ ගොයම් මිටිය මැදිවන සේය. මෙසේ කිරීමෙන් අස්වැන්න ආරක්ෂා කර ගැනීමටද ගොවියා සමත් වී ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.