වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
චිත්‍ර ශිල්පියාට කළ විෂ බන්ධනයෙන් මුදවාලූ අරුම පුදුම ශාන්ති කර්මය
මාසෙ පොහොය දිනයක් වූ එදින වෙනදාට වඩා සන්ධ්‍යාභාගය වන විට හතර අතින් අඳුරු ස්වභාවයක් පැවතිණ. ඒ වන විට කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තමන් වෙත පැමිණි සෑම ආතුරයකුගේම සියලු දුක්ඛ දෝමනස්සයන්ට ඇහුම් කන් දී ඒ ඒ ආතුරයන්ට ඔබින ආකාරයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ශාන්ති කර්ම සිදුකොට ඔවුන්ට පිහිටවෙමින් තම සේවය මනාව ඉටුකොට අවසන් කර මඳකට කළුවර හාන්සි පුටුවේ ඇල වූවා පමණි.
මද වේලාවක් විවේක සුවයෙන් පසු වූ උන්වහන්සේ ඩිංගිරි බණ්ඩා පිළියෙල කළ ගිලන්පස වලඳා පහළ වැව ඉස්මත්තට ගොම්මන් වේලාවේදීම වැඩම කොට ස්නානය කර, ගත වෙහෙස නිම කර ලැගුම් ගෙට වැඩි සේක.
අප නායක හිමියන් බුද්ධ මන්දිරයේ සහ දේව මන්දිරයේ පහන් සිළු දල්වා හමාර වූවා පමණි. එකෙනෙහිම මුළු දේව මන්දිරයම දෙදරන්නට විය. මඳ වේලාවකට පසු දැල් වූ පහන්වල ආලෝකය ප්‍රභාස්වර විය. එය වඩාත් දැකුම්කළු වූයේ මාසෙ පොහොය දින බැවින් ඒ වන විට කෑලි කපන ඝනඳුර දසතින් පැතිර පැවතුණු බැවිනි.
මේ දේව පණිවිඩයක සංඥාවක් බව දැන සිටි හිමියෝ මන්ත්‍රයක් ජප කරන්නට පටන් ගත්හ. රාත්‍රී කාලයේදී ආගන්තුකයකු පැමිණෙන බවත් ඔහුගේ කාරණය ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට බලවත් ගුරුකමක් කළයුතු බවත්, ඒ යාතු කර්මයට සූදානම් වන ලෙසත් දේව සභාව දුන් පණිවිඩය හිමියන් වටහාගත් සේක.
“ඩිංගිරි බණ්ඩෝ අද රෑ මාසෙ පොහොය ලබන තිත්ත කරුවලේම බරපතළ ගුරුකමක් කරන්න මට දේව ආඥාවක් ලැබිල තියෙනවා. අර ගොක් කොළයක් කපාගෙන මල් බුලත් තට්ටුවක් හරිගස්ස ගන්න. ඊයේ ශාන්ති කර්මයට ගෙනාපු බඩු ඉතිරිය අරගෙන එන්න. ඉතිරි අඩුවැඩි ද්‍රව්‍ය මම සොයාගෙන තියා ගන්නම්.
“එහෙමයි හාමුදුරුවනේ.”
“අද රෑ එළිවෙනකම් ඇහරගෙන බලගතු යාතු කර්මය කරන්න වේවි. අමුත්තාට රාත්‍රියට සප්පායම් වෙන්න ඔය තියෙන දෙයක් ලෑස්ති කර තබන්න.”
“හොඳයි අපේ හාමුදුරුවනේ මම ඕනෑම දෙයකට සූදානම්. මං හනිකට ඒවා පිළියෙල කර ගන්නම් කෝ.”
ඒත් සමඟම හිටි හැටියේම මයිනර් වර්ගයේ කාරයකින් අපේක්ෂිත ආගන්තුකයා පැමිණියේ ය.
“ඩිංගිරි බණ්ඩෝ ඔය ගේට්ටුව ඇරල කාර් එක පන්සල ඇතුළට ගන්න ඉඩදීල ඒ ඇත්තන්ට පහළ වැවෙන් මූණකට හෝදගෙන බෝධිමළුවටත්, විහාර මන්දිරයටත් ගිහින් තමන් ආපු කාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරල එන්න කියන්න. කළුවර වැටිල නිසා පන්දමකුත් පත්තු කරලා දෙන්න. ඒ ආවාම කුරක්කන් හැලපත්, කිතුල් හකුරු එක්ක තේ හදල දීලම එක්කගෙන එන්න.” හිමියන්ගේ අණ එලෙසම ක්‍රියාත්මක විණි.
ආගන්තුකයා හිමි දෙපා මුල වැඳ වැටිණි.
“අවසරයි නායක හාමුදුරුවනේ.”
“මහත්තයා කොහේ ඉඳලද ආවේ.”
“බද්දේගම. ගම්මැලියෙ ඉඳලයි ආවේ. මම හිමින් සැරේ ආව හින්දා රෑ බෝවුණේ... හාමුදුරුවනේ”
“කාරි නැහැ ආපු කාරණය කීවානම්”
“අපේ ගෙදර කවුරුන්දෝ වින්නැහියක් කරල. මට දැන් ඉන්න ගෙදරවත් ඉස්පාසුවක් ඇතිව ඉන්න දෙන්නේ නැහැ. අඳුර වැටුණු වෙලාවේ ඉඳල තොර තෝංචියක් නැතිව ගෙදර වටේ කවුරුන්දෝ මරලතෝනි දෙනවා වගේ ඇහෙනවා. හිටි හැටියේ කෙඳිරි ගාන ශබ්ද ඇහෙනවා. දොරවල් ඇරල සෝදිසි කරල බැලුවම කවුරුත්ම නැහැ. ඇයි දොර ජනෙල් වැහුවම ඒ ශබ්ද එනවා.
මට කිසි වැඩක් හිත එකලහක් කරගෙන කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම රැකියාවට කරන්නේ චිත්‍ර අඳින එක. චිත්‍රයක් ඇඳල අවසන් වෙනවාත් එක්කම පින්සලෙන් කව්දෝ ඇඳල රූප විකාර කරනවා. ඒ හින්ද ඒවා අලෙවි කර ගන්න බැහැ හාමුදුරුවනේ.”
“වෙන මොනවද කරවන්නේ”
“සමහර දාට මොන තරම් කරදර තිබුණත් හිත එකලස් කරගෙන ලස්සනට චිත්‍ර ඇඳල නිම කරනවා. ඒත්.... උදේ බලන කොට ඒ චිත්‍ර උඩට තීන්ත විසිකරලා විනාශ කරල දාල හාමුදුරුවනේ.”
මේ සියලු දේ හොඳින් අසා සිටි කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් අමුත්තා දේව මන්දිරයට කැඳවාගෙන යන්නට සූදානම් වූ සේක.
“ආහ්... හාමුදුරුවනේ අපේ නෑ පරම්පරාවෙන් ලැබිච්ච රත්තරන් සුරේකුත් මම ගෙනාව්”
“හොඳයි. ඒක ඔය දේව මණ්ඩලයේ ආසනයේ තියන්න.”
ගතවූයේ මොහොතකි. දේව මණ්ඩලයේ සියලු පහන් නැවතත් ආලෝකය වැඩි වී ප්‍රභාස්වර විය. එකණෙහිම සියලු දේව පිළිම සෙලවෙන්නට විය. හිමියන් ප්‍රබල මන්ත්‍රයක් ජප කළ සේක. කෙමෙන් එහි ශබ්දය වැඩි විය.
“කාරණය වහා මිහියන්ට වැටහිණි. මේක නම් එසේ මෙසේ කැපිය හැකි බන්ධයක් නොවේ. මහා විෂ බන්ධයක්. මහත්තයට තරහකාරයෝ ඉන්නවද?”
“ඇත්තම කියන්නම් අපේ හාමුදුරුවනේ... අපි පරම්පරාවෙන් බෞද්ධ අය... ඒත් අපේ වැඩිහිටියෝ අපිව වෙනත් ආගමකට හරවා ගත්තා. මට සලකන්නේ මගේ බාල සහෝදරියක් විතරයි. උන්දැලාගේ ගෙදරයි මම දැන් ඉන්නේ. පවුල් පැටලිවිල්ලකුත් වුණා නොවැ. සහෝදරියගේ එකම පුතාටත් ඔළුව හොඳ නෑ. මානසික ලෙඩෙක්.”
“මට දැන් තේරෙනවා මහත්තයටයි පවුලේ අයගේ දියුණුවට ඉරිසියා කරන චිත්‍ර කර්මාන්තයේම නියැළී සිටින ළඟම ඥාතියකුයි මේක කරලා තියෙන්නේ. මහත්තයා රෑට මොනවහරි සප්පායම් වෙලාම එන්න. ඩිංගිරි බණ්ඩා ඒවා කුස්සියේ ලෑස්තිකරලා ඇති. ඒවා ඉවර කරලා එන්න.”
හිමි අණ එපරිදිම ඉටුවිණි.
“හොඳයි... දැන් අපි කොණ්ඩදෙණියේ කනත්තට ගිහින් මිනී වලක දපන දාල ප්‍රබල ගුරුකමක් කරන්නට වෙනවා.... අද මාසෙ පොහොය දවසේ මහා කළුවර රාත්‍රිය නොවැ. හැබැයි බිය සැක නිසා දුවන්නෙ පනින්නෙ එහෙම නැහැ.”
මැදියම් රැය එළඹෙත්ම ඩිංගිරි බණ්ඩා දැල්වෙන පන්දම් එළියෙන් මිනීවලක් හාරා ගුරුකමට ඉඩ පහසුකම් සැලැස්සීය. ගොක්කොළ මල් තටුව ගුරුකමට අවශ්‍ය අඩුවැඩියත් පුහුල් ගෙඩියක් සහ පිහියක් සොහොන ළඟ ඒකරාශී කෙරිණි.
සොහොනේ මිනී වළ තුළ අප නායක හිමියන් ප්‍රබල මන්ත්‍ර හඬ නඟා ජප කරන්නට වූහ. එම හඬ කෙමෙන් කෙමෙන් වැඩිවන්නට විය. අලුයම එළඹෙත්ම බලගතු යාතුකර්මය නිම කරන්නට හිමියන් වග බලා ගත් සේක. ආගන්තුකයා මොනවායින් මොනවා වේවිදැයි වික්ෂිප්තව බලා සිටියේ ය. ඩිංගිරි බණ්ඩා සොහොනේදීම හිමියන්ගේ හිසට පිරිත් පැන් කළය වත් කරන්නට විය.
කිසිවක් නොසිදූ වුවකු ලෙස හිමියන් දේව මන්දිරයට පාන්දර එළිවන්නට මත්තෙන් පැමිණ ආගන්තුකයාගේ දකුණු අතෙහි ජීවම් කළ බලගතු පිරිත් නූලක් ගැට ගැසිණි. කරටද පිරිත් නූලක් දමා මහත්මයා ගෙනා රන්සුරයට බලගතු සිංහ තෙල් බිඳක් දමා ආගන්තුක මහතාගේ ගෙළ පැලඳ වූහ. බලගතු විෂ බන්ධනය හිමියන් කපා ඉවත් කළ සේක.
“දැන් සියල්ල අහවරයි.”
“ඔබතුමා හෙට අඳින චිත්‍රය කොළඹ කලාගාරයේ අවුරුදු සිය ගණනක් පවතීවි. ඔබතුමා ලංකාවේ සහ ලෝකයේ ද ජනපි‍්‍රය අයකු වේවි. රැජිනගෙන් සම්මානයක්ද හිමි වේවි. ඔබ ඉදිරියේ දී අඳින චිත්‍ර රජමහා විහාරවල කාලයක් පවතීවි. වෙනම චිත්‍ර සම්ප්‍රදායක් ලොවට ඔබ හඳුන්වා දේවි.”
ආගන්තුක චිත්‍ර ශිල්පියා හිමි පාමුල සතුටු කඳුළින් යුතුව වැඳ වැටී සමුගන්නා ලදී. හිමියන් පැවසූ සියල්ල සත්‍ය වන්නට වැඩි කලක් ගත නොවිණි. පුතාගේ මානසික රෝගය ද සනීප විය.
කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට පැමිණි අයකුටද මෙවැනිම ආකාරයේ මහා බලැති විෂ බන්ධයක් සිදුකොට ඇති බව උන්වහන්සේට පෙනණි. දේව මණ්ඩයේ පහන් සියල්ල දල්වා අනුරුද්ධ හිමියන් ප්‍රබල මන්ත්‍රයක් ජප කරත්ම එම මොහොතේ ආගන්තුකයා පරල වන්නට විය. දකුණේ දෙවුන්දර තුඩුවේ සිට පැමිණි ඔහුගේ යහළු මිත්‍රයන් එක්වරම ආගන්තුක මහත්මයාව අල්වාගෙන කාර්යාල කාමරය අසල පුටුවක ඉන්දවා වතුර ඉස නැවත ක්‍රම ක්‍රමයෙන් පියවි තත්ත්වයට පැමිනිණි.
කොණ්ඩදෙණියේ රජමහා විහාරාධිපති හිමියන් දිගින් දිගටම නොනවත්වාම ප්‍රබල මන්ත්‍රය හෝරාවක් පුරා ජීවම් කොට කාලි මෑණියන්ගේ පිහිටාරක්ෂාව මේ ආගන්තුක මහතාට ලබා දුන් සේක. දහස් වර ජීවම් කළ දිග පිරිත් නූලක් ආතුරයාගේ කරවටා පළඳවා දකුණු අතේ ද එම පිරිත් නූලක් ගැට ගැසිණි. නොබෝ වේලාවකින් විෂ බන්ධයෙන් මිදුණු තරුණ මහතා හිමි දෙපාමුල වැඳ වැටිණි. ඒ මහතාගේ ඉතා කෙටි කාලයක් තුළ ව්‍යාපාර දියුණුවට ඉරිසියා කළ ළඟම ඥාතියකු විසින් මේ බන්ධනය කර ඇති බව හිමියන් පැවසූ සේක.
කොණ්ඩදෙණිය විහාරස්ථානයේ භූමියේ දේව මණ්ඩලය ආතුරයන්ට ලබාදෙන රැකවරණය පුදුම සහගතය. එය සැබවින්ම විස්මිත හාස්කම් වෙයි.
මෙහි තවත් සුවිශේෂීත්වයක් වනුයේ දෙවුන්දරතුඩුවේ නිවසෙ පිටතින් ඇසුන ශබ්ද සියල්ල විලාප හඬ, කෙඳිරිලි හඬ ඒ ආකාරයෙන්ම පටිගත කර හිමියන් වෙත ආතුර මහතාගේ යහළුවන් ඉදිරිපත් කර තිබීමත් ඒ සියල්ල මේ වන විට නැවත සිදු නොවීමට ගුරුකමේ හාස්කම, ප්‍රබල වීමත්ය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ