වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
කේන්දරය තලකොළයේ ලියමු
තලගොබය කපා, කූර හැර “වඩිය” බැඳ නියමිත ඖෂධයොදා තම්බා පවනේ වියළා ගන්නා හැටි පසුගිය සතියේ දැන ගතිමු. දැන් කොළ ළා කහ පැහැයෙන් යුතුව අවුල් වූ පිදුරු වැටියක් සේ ඇකිළී මද සුවඳකින් ඇත. මේ ඇකිළී ගිය තලකොළ දිග ඇර “ඝන” බවට සකසා ලිවීමට ගන්නා හැටි දැන් දැන ගනිමු.
නියමිත විදියට නම් “පුවක් ගසක අඩි පහක් පමණ කොටයක් කුරුටු ගා සුද්ධ පවිත්‍ර කර හරස් අතට සිටින සේ කණු දෙකක් අතර බැඳගත යුතුය. තලකොළය අගට රෙදි කැබැල්ලක පොට්ටනියක් සේ බැඳ හරස් අතට යොදා ගත් කොටය මැදට යොදා තලකොළය ප්‍රවේශමෙන් ඉහළ පහළට යවන්න. මිනිත්තු 10 -15 පමණ ගතවන විට කොළය “ඝන” බවට පත්වී හැකිළී තිබූ තත්ත්වය මඟ හැරී අලංකාරයට පත්වේ.
හරස් ලීයක් සපයා ගැනීමට නොහැකි නම් මෝල්ගසක් හෝ රවුමට ඇති ලීයක් වුවත් කමක් නැත. කොළය ඉහළ පහළට අදින විට වරින්වර පරික්ෂා කර බැලීමට සැලකිලවීම අවශ්‍ය වන්නේ ඉරීයාම වළක්වා ගැනීමටය.
සකසා ගත් කොළය දෙපැත්ත ඇද නොවන සේ කපා කේන්දරයක් ලිවීමට නම් මුල සිට අගට ඇති ප්‍රමාණයට රවුම් කර රඳවා ගැනීමට අග යතුරු කට්ටය කපා ගන්න. රූපසටහන බලන්න. දැන් හුරුබුහුටි අලංකාර කේන්දරයක් තමාම නිර්මාණය කරගෙන ඇති නිසා සතුටට පත්විය හැකිය.
කේන්දරය ලිවීමට පහත දැක්වෙන උපකරණ සකසා ගත යුතුයි.
පන්හිඳක්, කවකටුවක්, අඩිරූලක්, සටහන් තබා ගැනීමට පැන්සලක්, ආලෝකය ඇති නිශ්චල තැනක්, පහසු ආසනයක්, උපකරණ තබා ගැනීමට මේසයක් හෝ ටීපෝවක්
පොරනැදුරු හෙවත් ඡ්‍යොතිර්වේදියකු විසින් දැනගත යුතු පන්හිඳ ගැන පැරැන්නන් විසින් කියා ලියා ඇති කවියක් මෙසේය.
නටවා සිරස එක පයකින් ගමන් යන
හිටලා අර අඳිති අත ලිස්සා ගිය තැන
සතා පොඩි උනත් ගිය පාර වෙන වෙන
මේකා මොකාදැයි හොඳටම කියනු දැන “ආයුර්වේදයෙහි සඳහන් චතුෂ්පාදය වූ රෝගියා වෛද්‍යවරයා ඖෂධ උපාය ස්ථායකයා වේ. පැරණි පාරම්පරික ඡ්‍යොතිර්වේදියාද එක් එක් ගුරුකුලවල ඡ්‍යොතිෂයේ අගය බලවත්කම බැරෑරුම්කම විදහා දැක්වීමට එවැනි චතුෂ්පාදයක් හිත දරාගෙන තලකොළය පන්හිඳ ඡ්‍යොතිර්වේදියා කේන්දරයක් අවශ්‍ය තැනැත්තා යනුවෙන් මතයක් සාදාගෙන කටයුතු කළේය. එය නිවැරැදිය සුදුසුය. අද ඡ්‍යොතිර්වේදින්ට පන්හිඳ හුරු නැත. පන්හිඳක් ළග නොමැත. තලකොළයක් මෙසේ හොයා ගෙන බෝල්පොයින්ට් හෙවත් කාබන් නිල්, රතු ආදී විවිධ වර්ණ යොදා කේන්දර ලියා ඇති බව පෙනේ. එය තලකොළ ලිවීම හා ඡ්‍යොතිෂයට කරන නිගාවකි. හෑල්ලුවට පත්කිරීමකි. මෙවැනි කේන්දර සිය ගණනක් මට හමු වී ඇත.
පුස්කොළ ලිවීමට වියළි කාලගුණය ඉතා ප්‍රයෝජනය. කොළය තෙත බරිත නොවී වියළි බවට ඇත්නම් ලිවීමට පහසුය. අතට සැහැල්ලුය. අක්ෂර නොවරදා ලිවීමත්, අක්ෂර කපා ඉරි ඇඳ වෙනස්කිරීමත් බොහෝවිට නොකරයි. එසේ වැරදීමක් සිදු වුවහොත් එය ඉවත් කිරීම සිදු වේ. බොහෝවිට මේ ස්වරූපයන් පුස්කොළ පොත්, පිරිත් පොත්, ආයුර්වේදය වැනි ලියා ඇති පොත් පරික්ෂා කර බැලුවහොත් දැක ගැනීමට හැකිය. මෙය ඇත්තෙන්ම භාවනානුයෝගීව නිරවුල් මනසකින් කළ යුතු කාර්යයකි.
ලියන්න පටන් ගන්නේ ද වේලාවක් හෝ හෝරාවක් මුල් කරගෙනය. සකසා ගත් පුස්කොළය වන්නේ දැන්ය. පන්හිඳ සකසා ගත් කේන්දර සටහන ආදිය ළඟාකර ඉෂ්ඨ දේවාතාවන් සිහිකර වැඳ නමස්කාර කර ශබ්ද නඟා
“ඕම් ගණේෂාය නමඞ ඕම් නමඞ ශිවාය හා හා පුරා”
කියමින් පන්හිඳ අතට ගෙන තම අතේ මාපටඟිල්ලෙහි නියපොතුව සූරා බලයි. එසේ කරන්නේ පන්හිඳෙහි තුඩුවේ ක්‍රියාකාරිත්වය සුබාසුබ පරික්ෂා කර බැලීමටය. නියපොතුවට වුවමනා පරිදි ඉරි ඇඳ සූරා බැලීම සාර්ථක නම් පුස්කොළයේ ලිවීමට සුදුසු බව පෙනී යයි.
පුස්කොළය උඩුපැත්ත, ඇතුළු පැත්ත හෙවත් බඩපැත්ත යනුවෙන් දෙපැත්තකි. එයින් ඇතුළු පැත්ත ලිවීමට පහසුය. පුස්කොළ ලියන්න හැකි තැනැත්තා සියුම්ව දෙපැත්තම ලියයි. එයින් පිරිමැස්ම ද ඇතිවේ. තුනී කොළයක් තුළ ලිවීමේදී නම් සිදුරු වීමට ලක් විය හැකිය. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
පුස්කොළ ලිවීමේදී අක්ෂර පිළිබඳව දැනුමක් ද ඇති වීම විශේෂයි. ඒ විශේෂත්වය නම් පැරැණි භාවිතයේ තිබූ අක්ෂර හුවා දැක්වීමත් පුස්කොළ කලාවත් අලංකාරයට ද මුල් වේ. ඡ්‍යොතිර්ෙවිදී තුළ ඇති ගුණාංග මෙන්ම දක්ෂතාවත් දැනුමත් කලාකරුවකු වීමද හේතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු කිරීමට ද වගබලා ගත යුතු වීමද යුතුකමකි.
පුස්කොළ අක්ෂර විවිධ ගුරුකුල අනුව ද පැවතේ. කොහොම වුවත් අක්ෂර
සමාන සම පාදනි - සමාංශානි සමඞ ගියඞ
අක්ෂරාණි ප්‍රතිෂ්ඨනෙන -මාදුනී ලලි කානීච
ලියනු ලබන අක්ෂරවල පාපිලි ආදියෙහි ප්‍රමාණයට ඇලපිලි ආදිය සිහුම් බවයි. සමවූ සිරස් යනු ඉස්පිලි ආදිය යෝග්‍ය වූ ප්‍රමාණයෙන් යුක්ත වීමයි. ලියන අක්ෂර ත්‍රිවිධාකාරයි. දැනට වෙනස් ආකාරවලටද පත්ව ඇත. ගජ,සිංහ, හංස යනුවෙනි. ගජ යනු ලොකු, කවාකාර උස, මහත අක්ෂරයෝ වෙති. සිංහ නම් උසට හා තරමක් දිගැටිය. ඇලපිලි ඉස්පිලි දිගැටිව ඒ ආකර වේ. හංසාක්ෂර මහතින් දිගටිව අලංකාරයට පත්වේ. පුස්කොළ ලිවීමේදී මේවා වෙනස්ව හිතුවක්කාරි බවට පත්වේ. මේ අක්ෂර පිළිබඳව පලා පල අනාවැකිවලට ද පත්වේ.
මේ අක්ෂර පිළිබඳව දැනුම්වත්වී කටයුතුවලට යොමු වන්නේ නම් එය අගය දැක්වීමකි.
ඔබ ලිවීමට සකසා ගත් පුස්කොළයේ කේන්දරයක් ලිවීමට සැරසෙමු. පළමුව රූපසටනෙන් දිගැටිව ඇති කේන්දර සටහනෙන් මුල් කොටුවෙහි කේන්දරය අයිතිකරුගේ නම ලියන්න. දෙවැනි කොටුවේ උපන්දිනය හා වේලාව ද රවුම්වට ඇති මණ්ඩලයේ කලියුග වර්ෂ ද ඊළඟ බුද්ධ වර්ෂයද ඊළඟට ශක වර්ෂය ද, සිව්වැන්නේ ක්‍රිස්තු වර්ෂය ද ලියන්න. මේ වෘත්තවලට කරවිල ගෙඩියේ පෙති යනුවෙන් පැරණි ඡ්‍යොතිර්වේදීන් නම් කරයි. ඊළඟට ඇති කොටුවේ නැවත උපන්දිනය, උපන් නැකත හා පාදය ද, නැකැතට හිමි ග්‍රහයාට අයත් දශාශේෂය සඳහන් කරන්න. මෙය පහසුවෙන් දැනට ගතවන දශාව හා අතුරු දශාව දැන ගැනීමේ පහසුවටය.
පුස්කොළ කේන්දර ආදිය ලියන ඡ්‍යොතිර්වේදියා කලාකරුවකු ද වේ කියන වචනය දැන් පෙනියයි. ඊළඟට ඇඳි අලංකාර චිත්‍රයක් පෙනේ. කලාත්මකව හා එහි අඩංගු අදහස් ද සමූහයකි. එය 1927 දී ලියන ලද කේන්දරයක සටහනකි. එම කේන්දරය ලියා ඇත්තේද කවියෙනි. එවිට ඔහු කවියට දක්ෂයකු බව පෙනේ.
ග්‍රහයින් සටහන් දැක්වීමට ඇති කොටුවට කියන්නේ ග්‍රහකුණ්ඩලිය, රාශිය, භාවය, මණ්ඩලය වේ. මෙය විවිධාකාර හැඩතලවලට නිර්මාණය කරයි. එයද ලියන්නාගේ හැකියාව අනුවයි. සෑහෙන මහන්සියක් හා වේලාවක් ගතවන හෙයින් සමහරු කාලයට සීමාවක් හා මහන්සියට සාර්ථක ප්‍රතිඵලයක් නැති බවට සටහන් තබයි. මේ කටයුත්ත වියළි යාමටද හේතුවකි. ඉරිකෑලි 8 න් ගැබ් 13 ක් පෙන්වයි. එය මෙහි ඇති මුල් ග්‍රහ කුණ්ඩලයෙන් පෙනේ. අනෙක් ඒවා ද විවිධ විසිතුරු බවටද ඇති බව පෙනේ.
මේ ග්‍රහ කුණ්ඩලිවල සමහරු ග්‍රහයින් 9 දෙනා පමණක් සටහන් කරයි. යුරේනස්, නැප්චූන් හා ප්ලූටෝ සටහන් නොකරයි. එහෙත් ඒ අයත් පල විපාක දෙන්නේය. සටහන් තැබිය යුතුයි. දැන් ප්ලූටෝ අයින් කර දමා ඇත.
ලියවැලක රූ සටහනක් ඊළඟට දක්වා ඇත. එය සමබරතාවයටය. දැන් මේ රූසටහන් ඔබ අඳින්න ඇත්තේ මේසය මත තබාගෙන විය හැකිය. එම කාර්යය අතහැර අතේ ඇඟිලිවලින් පුස්කොළය අල්ලාගෙන ලිවීමට පටන් ගන්න. ලිවීමට පෙරහුරුවීම ඉතා ප්‍රයෝජනවත් වේ. අතේ ඇඟිලිවලින් අල්ලා අනෙක් අතින් ලියනවිට ඉතා දක්ෂතාවක් මෙන්ම දක්ෂයකු බවද පෙනේ. පුස්කොළ කලාවේ අගය පෙනී යන්නේය. ඡ්‍යොතිර්වේදියාගේ දක්ෂතාව ද පෙනීයන්නේ එවිටය.
ග්‍රහ කුණ්ඩලියේ ග්‍රහයින් සටහන් කිරීමෙන් පසුව කේන්දරයේ විස්තරය ලියමු. ලිවීම ආරම්භයේදි ආශිර්වාද, ග්‍රහ ආශීර්වාද නමස්කාරය මේ ආකාරයෙන් ඇත. මේවා අවශ්‍යම වදන්ය.
නමෝ බුද්ධායං ගනේෂාය නමඞ නමඞ ශිවාය . එසේම සර්වඥ බෝධි සත්වානම්
බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර
සුරේන්ද්‍රෂ්ඨක දේවානම්
පංච නක්ෂත්‍ර ශෝභනම්
ජනාකී ජන්ම සෞඛ්‍යානම්
වර්ධනී කුල සම්පදා
පදවි පූර්ව පුණ්‍යානාම්
ලිඛිතේ ජන්ම පාත්‍රිකා
රවි ද සඳු කුජ බුධ ද, ගුරු කිවි ද ශනිද නිති රැකදෙනා විවිධ බල ඇති රාහු කේතු ද මෙනම් ඇති නව දෙනා ආදියෙන්.
ගජාක්ෂර, සිංහකර, හංසාකර ආදී අක්ෂරවලින් ලිවීම අක්ෂර හුරුව අනුව අනුගමනය කිරීම සුදුසුය. සමහරු ඡ්‍යොතිෂයේ අඩංගු සියලු හෑලි ද ලියයි. ඒවා එතරම් අවශ්‍ය නොවේ.
ශ්‍රීමත් ශාලිවාහන ශකනාම වර්ෂ ප්‍රමාණයෙන් එක්වාදහස් ආදි විධියෙන් තවත් දෑ එක් එක් ගුරු කාල අනුවද මුලින් දැක් වූ කවියන් අනුව මෙය කොපමණ අගේද බලන්න.
ශක වර්ෂ නා
එක දහසකි නා
අටසියට උ නා
විසිහත පැමි නා
තුදුසකි නා
ගුරුදින පහන් උ නා
සත් පියවර ගැන් නා
ගැනදුන් විදියට සැදු නා
මේ ආදී අලංකාරයට දැනුම අනුව දිනය, නැකත තිථිය යෝගය, කරණය ඇතුළු පංචාංග කරුණු හා ෂඩ්වර්ගය ද උපන් නැකතට පාදය අනුව ද නැකත් ගණ, යෝනි ආදී ග්‍රහ ලක්ෂණ ද හිමි නැකත් ග්‍රහයාට හිමි දශාශේෂය ලියා අවසන් කර මයියම සටහන් කරයි.
ලියන කේන්දරය කළු මැද ගැනීම සඳහා ගැඩුඹ ලීය පුලුස්සා කුඩුකර රට කපුරෙදි කැබලි පුලුස්සා අළු ද මිශ්‍රකර දුම්මල තෙල් මිශ්‍ර කර පැණි පදමට ගෙන ලියන ලද තලපතෙහි කුඩා රෙදි පොට්ටනියකින් තවරා මිනිත්තු 10කින් පසුව ඒ මත (වී කුඩු) දහයියා. ඉස හොඳින් රෙදි කඩකින් පිස දැමූ විට ඉතා පැහැදිලි කළු පැහැයෙන් අක්ෂර මතුවී පෙනේ. එවිට දක්ෂතාවයට සතුට ලබාදෙයි. කළු මැදීමෙන් සිදුවන්නේ කල් පැවැත්මත් අක්ෂර මතු වී පෙනීමත්, කුඩා ජීවීන්ගෙන් ආරක්ෂාවීමත් වෙනස් නොවන වර්ණයට ලක්වීමයි.
මේ කළු වර්ණය හැර වෙනස් වර්ණ ද ඇතැම් අය සිදු කරයි. ඒ සඳහා කීකිරිඳිය, තිත්ත අඟුණ කොළ අඹරා ගත් යුෂ (ඇල්දිය නොදමා) තවරා පිස ගත් විට කොළ පැහැයෙන් අක්ෂර මතුවී පෙනේ. එම වර්ණය දීර්ඝ කාලයක් නොපවතී. නියම වර්ණය වන්නේ කළු පැහැය පමණි. දැන් තලගොබ කපා කොළ ගලවා වඩි බැඳ ඖෂධ සමඟ තම්බා වියළා කඳේ පිරිමැද වුවමනා ප්‍රමාණයට කපා සාදා ගත් කේන්දරය පන්හිඳෙන් කල දක්ෂතාවට මහන්සිය හා කාලය කෙතෙක් ගතවී ගියේද? එයින් ඇතිවන්නේ තමාට සතුටය. මහන්සියට කාලයට ලබන ප්‍රතිඵලය කුමක්ද? කේන්දරය හිමිකරුවා මියගියත් තල්පත් කේන්දරය ඉතිරිවීමයි.
මේ පාරම්පරික තල්පත් ක්‍රමය සකස් කර පුස්කොළ කේන්දර ලිවීම කරන හැටි ලිපියක් ලිවීමට මා දිරි ගන්වා මෙහි පළවී ඇති රූ සටහන් කලට වේලාවට ඇඳ දුන් මා මිත්‍ර හෙන්රි බෙම්මුල්ල මහතාට ස්තුතිය හා පින් කියා නවතිමි.