වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
අබිරහස් ලෙස මියගිය පසු මහ මැදුරුවල සැරිසරන භූතාත්ම
මනුෂ්‍යයන් විසින් ගොඩනඟනු ලැබූ මුත් භූතයන් විසින් අරක් ගන්නා ලදුව මොන විදියකින්වත් කිසිවෙකුට සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ නොදුන් අද්භූත මන්දිර ලොව පුරා තිබී ඇත. ඉන් බොහොමයක් අදටත් ඉතිරිව ඇත.
1862 දී එංගලන්තයේ බෝර්ලි රෙක්ටොරියි නමින් ප්‍රකටව තිබුණේද එවැන්නකි. බෝර්ලි නම් පූජකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ මන්දිරයේ ජීවත්ව සිටි අතර, 1863 වන විට, එනම් ඔවුන් එහි පදිංචිව වසරක් ගතවන විටම විවිධාකාර අද්භූත සිදුවීම් ඇති වන්නට පටන් ගෙන තිබේ.
මන්දිරයේ සිටි නිත්‍ය සේවකයන් මුලින්ම පවසා ඇත්තේ ඔවුන්ට බොහෝ අවස්ථාවල විවිධාකාර අඩි ශබ්ද ඇසෙන බවය. 1900 වන විට පූජකතුමන්ගේ දියණියන් සිව් දෙනා විසින්ම පැමිණිලි කරනු ලැබුවේ, මන්දිරය වටා ඇවිද යන කන්‍යා සොහොයුරියකගේ අවතාරයක් තමන්ට දක්නට ලැබුණු බවය. මේ කන්‍යා සොහොයුරිය කවරෙක්දැයි සැක හැර දැන ගැනීම සඳහා ඔවුන් ඇයව මුණ ගැසීමට කීප වරක්ම උත්සාහ කළ මුත් ක්ෂණයකින් ඇය අතුරුදන් වී ඇත.
වඩාත් භයානක දර්ශනයක් වී ඇත්තේ හිසක් නොමැති ශරීරවලින් (කවන්ධයන්ගෙන් ) යුතුව සැරිසරන අසරුවන් දෙදෙනෙකුද සේවකයන්ට දක්නට ලැබීමය. තමන්ගේම රුධිරයෙන් නැහැවුණු හිස් ගෙඩි අතකින් එල්ලාගෙන, හේවායන්ගේ ඇඳුමින් සැරසී මුර සංචාරයේ යෙදෙන මේ මළගිය ආත්ම සමඟ තවදුරටත් ජීවත්විය නොහැකි වූ තත්ත්වයක් පූජකතුමන්ට උදා වූ අතර, මන්දිරය ඇතුළත අද්භූත ක්‍රියාකාරකම්ද දිනෙන් දින වැඩි වෙන්නට පටන් ගෙන තිබේ. නිවෙසේ තිබූ පිඟන් කෝප්ප ආදී භාණ්ඩ හිටිවනම බිම වැටී පොළවේ ගසන්නාක් මෙන් කුඩු පට්ටම් වී විනාශව යන්නටත්, වීදුරු ඩිකැන්ටර් ආදියේ වූ ජලය රුධිරය මෙන් රත් පැහැ වන්නටත් පටත් ගත්තේ මේ සිදුවීම්වලට සමගාමීවය. වසා ඇති දොරවල් කිසිවෙකුගේ සහයකින් තොරව ඉබේම විවෘතවන්නටත්, විවෘතව ඇති දොර ජනෙල් ඇඟ කිලිපොලන හඬක් සහිතව නිවැසියන් ඉදිරියේ වැසී යන්නටත් පටන් ගත්තේ “තව දුරටත් මෙහි නොරැඳී පලයල්ලා” යයි පවසන්නාක් මෙනි.
තවදුරටත් මෙය මනුෂ්‍ය වාසයකට සුදුසු තැනක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගත් බෝර්ලි පූජකතුමා සිය පවුලත් සමඟ මෙකී මන්දිරය හැර දමා දුර පළාතකට ගියේය.
ඉන් අනතුරුව මෙය මිලට ගනු ලැබුවේ බ්‍රැන්සන් නමැති හමුදා කපිතාන්වරයෙකි. එහෙත් ඔහුට පූජකතුමන් සිටි තරම්වත් කාලයක් මෙහි රැඳී සිටීමට එකී අද්භූත බලවේග විසින් ඉඩ සලසා දුන්නේ නැත.
දිනක් මේ කපිතාන්වරයා එළියේ සිට නිවෙස තුළට ඇතළුවෙද්දී යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඔහුව පසෙකට තල්ලු කළ බව දැනිණි. පසෙකට විසි වූ කපිතාන්වරයාගේ අතක් මේසය මත දැල්වෙමින් තිබූ ලාම්පුවක වැදී එය බිමට ඇද වැටී තිබේ. ඒ සමඟම බිම තිබූ කළාලවලට ගිනිඇවිළුණු අතර, තවත් සුළු වේලාවකින් ඒ මහා මන්දිරයට ගිනි ජාලාවකින් වෙලී ගියේය.
1939 දී වූ මේ විනාශයෙන් අනතුරුව මෙහි හිමිකරුවන් විසින් යළිත් එය අලුත්වැඩියා කරන ලද නමුත් පදිංචි වූ පුද්ගලයන් පිළිබඳව වාර්තා වන්නේ නැත.
අද්භූත සිද්ධි ගවේෂකයකු වූ හැරී ප්‍රයිස් විසින් 1943 දී මේ මන්දිර භූමියේ කැණීමක් සිදුකර තිබේ. ඒ අවස්ථාවේදී කාන්තාවකගේ යැයි සැක කරන ඇට සැකිල්ලක් මතු කර ගැනීමට හැරී ප්‍රයිස්ට අවස්ථාව උදාවී ඇති අතර, එය මෙහි හොල්මන් කරනු ලැබූ කන්‍යා සොහොයුරියගේ විය හැකි යයි විශ්වාස කරනු ලැබේ.
මොන්තෙක්‍රිස්තෝ යන නාමයත් සමඟ අපගේ සිතෙහි නැඟෙන්නේ සෞභාග්‍යය හා ශ්‍රී විභූතිය පිළිබඳ සංකල්පනාවක් වුවත්, ඔස්ට්‍්‍රලියාව තුළ ඇති මෙනමින් යුත් මන්දිරය ගැන කතා කිරිමේදී පෙනී යන්නේ මොන යම් හේතුවකටවත් මනුෂ්‍යයෙකු විසින් පය නොතැබිය යුතු තැනක් වශයෙනි.
නිව් සවුත් වේල්ස්හි සුන්දර කඳු මුදුනක මෙය පිහිටා ඇති අතර, එය දුටු විගස භයංකාර අතීතයක් සඟවාගත් ස්ථානයක් යයි කිසිවෙකුටවත් නොසිතෙනු ඇත.
1886 දී ධනකුවේරයකු හා ඉඩම්හිමියෙකු වූ ක්‍රිස්ටෝපර් විලියම් කෝලි නම් පුද්ගලයෙකු මේ නිවෙස ඉදිකරනු ලැබ ඇත. ආරම්භයේ දිනක එම නිවසේ සේවය කළ පිරිමි මෙහෙකාර දරුවකු ඝාතනය කර ඇත. ඒ කෲර අපරාධය සිදු කර ඇත්තේ ඔහු ඇඳෙහි නිදා සිටියෙදී ගිනි තැබීමෙනි.
ඊළඟ අපරාධය වූයේ හැරල්ඩ් වොන්ඩර් නැමැති මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු දම්වැලකින් බැද තබා තිබියදීම මේ නිවෙස තුළම මියගොස් තිබිමය.
පඩිපෙළෙන් ලිස්සා වැටි මියගිය බවට පවසමින් ඝාතනය කරන ලද සේවිකාවක් පිළිබඳ පුවතක් ද මේ මැඳුරේ අභිරහස් අතරට එකතු වී තිබේ.
මේ පිරිසගේ අවතාර මැදුර තුළ නිරන්තරයෙන් මෙහි දක්නට ලැබෙන බව පසු කාලීනව බොහෝ දෙනෙකු විසින් පවසා තිබේ.
ක්‍රිස්ටෝපර් විලියම් කෝලි 1910 දි මිය ගිය අතර, එතැන් සිටි මේ නිවෙසේ අධිපතිනිය ලෙස කටයුතු කළේ ඔහුගේ බිරිඳ වූ එළිසබෙත් කෝලිය.
ආගමට ළැදි කතක් වූ ඇය සිය ඉහළ මාලයේ ඒ කටයුතු සඳහා කුඩා දේව මන්දිරයක් තනාගෙන තිබුණාය. එවැනි ආගමික භක්තියකින් යුතු කාන්තාවක් වුවද, ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉතා ගුප්ත චරිතයක් ඇති කාන්තාවක් ලෙසය. 1933 දී ඇය මිය ගිය අතර, ඒ මුළු කාලය තුළම ඇය මොන්තො ක්‍රිස්තෝ මැදුරෙන් පිටතට ගොස් ඇත්තේ දෙවතාවක් බව සඳහන්ය. ඇය මියයෑමෙන් අනතුරුව ඇගේ අවතාරය සෙසු භූතාත්ම සමඟ මේ මැදුර තුළම දෘශ්‍යමාන වන්නට පටන්ගෙන තිබේ.
මේ පිළිබඳ පර්යේෂණවල යෙදුණු ගුප්ත විද්‍යා ගවේෂකයන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇයගේ අවතාරය දුටු සෑම විටකදීම මැදුර තුළ වූ පරිසරය ගුප්ත ශිතලකින පිරී යන බවය.