වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
දශක හයක් පුරා දෝ සතර දැයට තිලිණ කළ ගුරුතරුව
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.
සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරයි. කාටද මේක විසඳන්න පුළුවන්. වේවැලෙන් මේසයට පහරක් ගසමින් විමසයි. ඔහු කළු ලෑල්ලේ ලියන ගණන හදාගන්නට බැරි වුණොත් දඟකාර කොලු ගැටවුන්ගෙන් පිරීගිය ඒ පන්තියේ එකෙක් දෙන්නෙක් නොව දහ පහළොස් දෙනකුම වේවැලෙන් එක දිගට තැලුම් කන බව නම් සිකුරුය.
පන්තියේ මොනතරම් දඟ වැඩ කළත් ගණිත විෂය වෙලාවට අසරණ වන කොල්ලන් පිරිස බොහෝය.
මේ කොලුගැටවුන්ගේ හිතේ ඇති බිය තරමක් හෝ පහව යන්නේ ගුණපාල මිතුරා තමා අහල පහලක ඇත්නම් පමණකි. ඒ ඔහු ගණිතයට උපන් හපනකු වන බැවිනි. අල්පෙනෙත්තක් පවා බිමට වැටෙන හඬ ඇහෙනා තරමටම පන්තිය නිහඬය. නිහඬ බව බිඳ දමමින් ගුරුතුමාගේ හඬ අවදි වෙයි.
‘‘කෝ අපේ ප්‍රොෆෙසර් ගුණපාල, මේ ගාන හදන්න. එමු බලන්න මෙහාට.” ගුණපාල ශිෂ්‍යයා හැමදාමත් වගේ මේ විධානයට කීකරුය. හෙතෙම ගුරුතුමා වෙත පියමනිද්දී දඟකාර කොලු ගැටවුන්ගේ සිත් සතුටින් පිරී යයි. ඒ තමාගේ ගැලවුම්කාර මිතුරා අභියෝගය භාරගෙන කළු ලෑල්ල වෙත යන බව දන්නා බැවිනි.
ගුරුතුමා දිගු කරන හුණුකූර අතට ගන්නා ගුණපාල සිසුවා කළු ලෑල්ලේ ඇති ගණිත ගැටලුව දෙස බලා සිටින්නේ මොහොතකි. කාටත් ගැටලුවක්ව පැවැති ගණිත ගැටලුව කළු ලෑල්ල පුරා විසදෙමින් දිග හැරී යන්නේ තත්පරෙනුත් පංගුවක් වැනි කාලයකදීය. ඒ දෙස පන්තියේ ශිෂ්‍යයන් පමණක් නොව ගුරුවරයා ද බලා සිටින්නේ පුදුමයෙනි. ගණිත ගැටලුව දුන් තමාට පවා නොතේරෙන තැන් සියුම්ව ගෙනහැර දක්වමින් ගුණපාල සිසුවා ගණිත ගැටලුව විසඳන අයුරු අපූරුය. ගණිතයට පමණක් නොව පාසලේ උගන්වන සෑම විෂයකටම පාහේ පැවැති මේ හැකියාව නිසාම ගණිත ගුරුවරයාගේ සිට මුල් ගුරුතුමා දක්වාම ගුණපාල සිසුවාට ආමන්ත්‍රණය කළේ ‘ප්‍රොෆෙසර් ගුණපාල’ යන ආදරබර නාමයෙනි. අද ඒ ආමන්ත්‍රණය සැබෑවක් වී ඇත්තේය.
පාසල් කාලයේ මෙන්ම අද ද ඔහු තම විෂය ක්ෂේත්‍රයේ ඉලක්ක හඹා යන්නෙකි. ඒවා ජයග්‍රහණය කරන තෙක් සිය අරමුණ අත් නොහරින්නෙකි. ආචාර්ය ජි.ඇම්. ගුණපාල යන නාමය මෙරටේ නොදන්නේ කවරෙක්ද?
දුගී පැල්පතේ සිට මහා මන්දිරය දක්වාම ඔහුගේ සේවය ලබා නොගත්තෙක් නම් මේ ලක් දෙරණේ සිටිය නොහැකිය. එදා මෙන්ම අදත් හෙටත් මතුවටත් ඡ්‍යොතිෂයෙන් නැකැත් ශාස්ත්‍රයෙන් ඔහු රටට සේවය කරන්නේය. ඔහු සතුව ඇත්තේ, වසර දහස් ගණනක් ඈතට දිව යන මෙරට ඉපැරැණිම ශාස්ත්‍රයේ දැනුම් සම්භාරයයි. ඡ්‍යොතිෂ ලෝකයේ බොහෝ ඇසූපිරූ තැන් ඇති ජ්‍යෙෂ්ඨයන්ගේත් ජ්‍යෙෂ්ඨයා වූ ඔහුට ඇත්තේ, තමන්ටම අනන්‍ය වූ ශාස්ත්‍රීය ගමනකි. මේ පෙළ ගැහෙන්නේ ඔහුගේ කතාවයි.
උපත
1944 සැප්තැම්බර් මස දෙවැනි දා දකුණු ලක බෙන්තර තුන්දූව ග්‍රාමයේදී ජී. අමාරිස් සහ එස්. කැරලැයින් යුවළට දාව පින්වත් කුමරකු මෙලොව එළිය දුටුවේය. පවුලේ සිවුවැනි දරුවා ලෙස උපන් පුතණුවන් නිසාම අමාරිස් මහතාගේ සිත සතුටින් පිරී ඉතිරී තිබිණි. දියණියන් තිදෙනකුගේ පියකු වූ ඔහුට සිවුවැන්නා ලෙස පුතකු ලැබීම වඩාත් සතුටට හේතුවක් විය.
කොළඹ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයකු වූ අමාරිස් මහතා තුන්දූව ග්‍රාමයේ සිටි සැලකිය යුතු ධනවතෙකි. උපතින්ම ඡ්‍යොතිෂ පරම්පරාවකට නෑකම් කියූ ඔවුන්ගේ මේ පින්වත් පුංචි පුතු ඉපදෙන මොහොතේ නැඟෙනහිර සිතිජයේ උදාව පැවැතියේ මකර රාශියයි. දරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂාකර බැලූ ඡ්‍යොතිශාස්ත්‍රඥයා පැවසූ වදනින් අමාරිස් මහතා අමන්දානන්දයට පත් විය. කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ප්‍රබල ග්‍රහ බලයක් සහිතව ඉපදී ඇති මේ දරුවා කෙදිනක හෝ නක්ශස්ත්‍රයෙන් ඉදිරියට යන රටේ නමක් දිනූ කීර්තිමත් පුද්ගලයකු බවට පත්වනු ඇති බව කල්තියාම දැන ගන්නට අමාරිස් මහතාට හැකි විය.
එනිසාම ජී. ඇම් ගුණපාල ලෙස සිය පුතුට නම තැබූ අමාරිස් මහතා ඔහුට හොඳීන් ඉගැන්වීමට කටයුතු කළේය. එලෙස සහෝදරියන් හය දෙනකුට සහ සොයුරකුට මැදිව ගෙවී ගිය ළමා විය ඔහු අද ද සිහිපත් කරන්නේ සතුටිනි.
අධ්‍යාපනය
තුන්දූව මුහන්දිරම් ජේ.ජේ. ධර්මසේන කනිෂ්ඨ විද්‍යාලයට සිය මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වන ජී. ඇම්. ගුණපාලයන් පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා පාණදුරේ මහානාම විද්‍යාලයටත් පාණදුර ශ්‍රී සද්ධර්මාලංකාර විශ්වවිද්‍යාල පිරිවෙනටත් ඇතුළත් වන්නේය. එහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබමින් සිටිය දීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගන්නටත් අධ්‍යාපනයෙන් පසුව ගුරුවරයකු ලෙසත්, තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙසත් රැකියා කරන්නටත් ඔහුට සිදු විය. නමුත් මේ සියල්ල පරදවා ඔහු තුළ සිටි ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයා නැඟී සිටියේය. ඒ දෝ සතර වැනි ගැඹුරු විෂයක් හදාරන්නට උපතින්ම ඔහු ගෙන ආ ජානමය හැකියාව නිසාවෙන් යැයි සිතිය හැකිය.
ඡ්‍යොතිෂයට යොමුවීම
පාසල් අධ්‍යාපනය ලබන සමයේදීම නවකයකු ලෙස ඔහු ඡ්‍යොතිෂය හැදෑරීමට පටන් ගන්නේ වයස අවුරුදු 15දී පමණය. ඒ වරහමිහිරේ ප්‍රථම ශ්ලෝකය කියවමිනි. ඒ මතකය ඔහු මෙසේ අවදි කරයි. ‘මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට අත්පොත් තබන්නේ 1960 ජූනි මස 10 වැනි දායි. සූර්යයාට නමස්කාර කරමින් ඇරැඹූ මගේ ඡ්‍යොතිෂ ගමනට දැන් දිගු කාලයක්. ඒ සඳහා මා පරම්පරා තුනකින්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තා. පළමුව මෙරට සුප්‍රසිද්ධ මැලෑගම ඡ්‍යොතිෂ පරපුරට සම්බන්ධ සකලාධිපති සීඩින් ඡ්‍යොතිෂශාස්ත්‍රඥයා ගෙන් භාව කේන්ද්‍ර ක්‍රමය හා ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් ඉන්පසුව තවදුරටත් බෙන්තොට ගණේ රජමහාවිහාරයේ ආනන්ද ශ්‍රී වාගීෂ්වර ඌරාගොඩ ධම්මදිස්සි හිමියන්ගෙන් නැකැත් ශාස්ත්‍රය වගේම අනුරාධපුරයේ ඡ්‍යොතිෂශාස්ත්‍රඥයකු වූ මහාචාර්ය ඩී. එච්. ඩී. එස්. වීරසූරිය යන වතුඅධිකාරීතුමා යටතේත් මට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නටත් ඒ පිළිබඳ පුළුල් දැනුමක් ලබන්නටත් හැකියාව ලැබුණා. ඔහු ඉංග්‍රීසි , සිංහල, දෙමළ භාෂාවන්ගෙන් පරතෙරට ගිය කෙනෙක්. වීරසූරිය මහතා ඉන්දියාවේ මහාචාර්ය සූර්ය නාරායන් රාඕගේ එකම ශ්‍රී ලාංකික ශිෂ්‍යයායි. එවන් අයකුගේ ශිෂ්‍යයෙක් තමයි මගේ ගුරුවරයා වූණේ. මේ අයගෙන් ඡ්‍යොතිෂය කෙරෙහි සෑහෙන දැනුමක් ලබා මා තනිව ඉන්දියාවට ගියා. එහිදී මේ ශාස්ත්‍රය එහි සිටින ශාස්තෘවරු කීප දෙනකුගෙන් ප්‍රගුණ කළා. ‘‘
ආචාර්ය ජී.ඇම්. ගුණපාලයන් මේ වන විට වසර 64ක් පුරා මනාදැනුමකින් හා මහා ප්‍රාගුණ්‍යයකින් යුතුව අත්දැකීම් සම්භාරයක් සහිතව ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ කටයුතු කරමින් සිටින්නේ අතුපතර විහිදූ දැවැන්ත ශාස්ත්‍රීය වෘක්ෂයක් ලෙස නැඟී සිටිමිනි. ඒ වෘක්ෂයේ සෙවණ ලබන මෙන්ම වෘක්ෂයෙන් පැන නඟින තවත් අංකුර පැළ මෙන් රටවටා ඔහුගෙන් සේවය ලබන සහ ශිල්ප ලබන්නෝ බොහෝය. ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලද ජී.එම්. ගුණපාලයන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සඳහා එහි දී රන් පදක්කම ද හිමිකර ගත්තේය. ඒ සම්බන්ධයෙන් තවත් සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත්තේය.
තම ජීවන ගමන් මගේ 80 විය සපුරන මේ ප්‍රවීණයා, ඡ්‍යොතිෂ ශාස්ත්‍ර උපදේශකවරයකු ලෙසත් ඒ සම්බන්ධ පොත්පත් හතළිහකට අධික සංඛ්‍යාවක් ලියූ කතුවරයකු ලෙසත් හැඳීන්විය හැකිය. ඉන්දියානු විද්වතුන් හා ප්‍රවීණයන් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ සම්මන්ත්‍රණ සහ වැඩමුළුවලට සහභාගී වන එතුමා පරාශර හා ජෛමිණි ඡ්‍යොතිෂ සිද්ධාන්තයන් මනා ලෙස ප්‍රගුණ කර තිබේ. චන්ද්‍ර, කේරළ, නාඩි ආදී ඉපැරැණි ඡ්‍යොතිෂ සිද්ධාන්තයන් වඩවඩාත් ප්‍රමුඛ ස්ථානයේ ලා සලකමින් ශාස්ත්‍රීය විවරණයන්හි යෙදෙමින් ඡ්‍යොතිෂයේ සූක්ෂ්ම තැන් සොයමින් පර්යේෂණ කරමින් ඡ්‍යොතිෂය ජීවිතය සේ සලකමින් ඔහු සිදුකරන සේවය සුළුපටු නොවේ.
“ සෑම ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකුම ඡ්‍යොතිෂයේ අභිමානය රැකගනිමින් කටයුතු කළ යුතුයි. මේ ශාස්ත්‍රය මුවාවෙන් අයථා ලෙස මුදල් නොඉපයිය යුතුයි. තමා වෙත එන්නන් මුළාවේ නොදැමිය යුතුයි. ඡ්‍යොතිෂශාස්ත්‍රඥයා සෑම ඡ්‍යොතිෂශාස්ත්‍රඥයකුටම ගරු කළ යුතුයි.’ යන්න ඔහු කාටත් ලබාදෙන පණිවුඩයයි. ඡ්‍යොතිෂය නිසා ඔහු ලද දේ බොහෝය. එලෙසම ඔහු එමඟින් රටට තිළිණ කරන දේ ද බොහෝය. වසරක් පාසා තම උපන් දිනය දා තම ගම්පියසේ ජීවත් වන සැදැහැවතුන් හැත්තෑපස් දෙනකුගෙන් යුතු පිරිසක් අනුරාධපුර අටමස්ථානය වන්දනා කරන්නට රැගෙන යන්නට ඔහු අමතක නොකරයි. තමාගේම වියදමින් සිදු කරන ඒ පුණ්‍ය කටයුත්ත සිදු කරන්නේ ඉතා කැපවීමෙනි. එලෙසම බෙන්තර ශ්‍රී විමලධර්ශනාරාමය හෙවත් ශ්‍රී සුධර්මාරාම පිරිවෙන එනම් එදා සාර්ලිස් මාස්ටර් සුරතින් සැකසුණු එම විහාර මන්දිරය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ද ගුණපාල මහතා විසින් සිදු කරනු ලැබුයේ පසුගිය වසරේ දීය. ඒ මතු පරපුරට එය රැකදීම තම පරම යුතුකම ලෙස සැලැකූ නිසාය. සැබෑවටම ජී ඇම්.ගුණපාල මහතා වැනි ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්, ගුරුවරුන් රටට සැබෑම සම්පතකි. වාසනාවකි. පන්නිපිටිය මාකුඹුර ශාන්ති මාවතේ නිසංසල රමණීය පෙදෙසක තම කැදැල්ල තනා එහි දිවගෙවන මේ සොඳුරු මිනිසාගේ පතිනිය තිසරා ද සිල්වාය. දරුවන් සිවු දෙනකුගේ පියා වන එතුමන් මුනුපුරු මිනිබිරියන් පිරිවරාගෙන ගෙවන ජීවිතය සරලය. පිළිවෙළට ගලා ආ ඒ දිවිය සුන්දරය. ඒ දෙස බලා නිවී සැනසෙන්නට ඕනෑවටත් වඩා කරුණු කාරණා එතුමන් සතුව ඇත්තේය. ඔහු සිතේ මතු ප්‍රාර්ථනාවක් ඇත්තේ නම් ඒ එක දෙයකි. එය උතුම් පැතුමකි. එනම්, මතු අත්භවයේත් මෙරටේ ඡ්‍යොතිෂවේදියකුම වේවා යන්නය! ඔහු පතන ඒ අහිංසක පැතුම ඉටුවේවායි අපි ද පෙරළා ප්‍රාර්ථනා කරමින් දිර්ඝායුෂ පතනෙමු.
ඡායාරූප - තිලක් පෙරේරා