වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
හෙට දවසට බලාපොරොත්තුවක්

බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී, දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් රාත්‍රිකාලයේ ඇවිදීමට යද්දී අද්භූත මහලු මිනිසකු හමුවෙයි. මහලු මිනිසා තරුණයා කැටුව අවන්හලකට ගොඩවෙයි. එහිදී තරුණයාට ප්‍රකෝටිපතියකු වී මේ දුප්පත් දිවි පෙවෙතින් මිදීමේ අපූරු ක්‍රමවේදයක් මහල්ලා විසින් පැහැදිලි කරයි. ඒ අතර තරුණයාට ලැබෙන ලියුම ඔහුට අතට බාරදීමට තැපැල්කරු පැකිළෙයි.
“සමහර විට ඒ ඔබම වෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නෑ ලියුම පෙට්ටියටම දාන එක තමයි මගේ රාජකාරිය, කරුණාකරලා මට තැපැල් පෙට්ටිය විතරක් පෙන්නනවා”
තැපැල්කරුවා පැවසුවේ රූපට්ගේ මුහුණ දෙසවත් හරිහැටි නොබලමිනි.
රූපට් විසින් පෙන්වන ලද තැපැල් පෙට්ටියට ලියුම්කරුවා තම අත වූ ලිපිය ඇතුළු කළ පසු ඔහු බලා සිටියදීම තම කලිසම් සාක්කුවෙන් කුඩා යතුරක් එළියට ගත් රූපට් එය විවෘත කර ලිපිය අතට ගත්තේය. ලැජ්ජාවට පත් තැපැල්කරු තම රාජකාරි ස්වභාවය විස්තර කරමින් ලියුම අතට නොදුන්නේ ඇයි දැයි පැහැදිලි කරන්නට පටන් ගත්තේය. එහෙත් ඉතා කාරුණික ලෙස ඔහුට සමුදෙමින් ඒ ගැන නොතකා ඔහුට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කිරීමටද රූපට් අමතක නොකළේය.
තට්ටු නිවෙසේ උඩු මහලේ සීතලෙන් පිරුණු තම කාමරයට ඇතුළු වුණ රූපට් තමාට ලැබුණු ලිපියද අත තබාගෙන එහි තිබු එකම ඇඳී පුටුවේ වාඩි වූයේ බඩගින්නද අමතක කර දමමිනි. ඉක්බිති යළිත් වතාවක් පසු දිනයේ සිට උදාවන ඉසුරුමත් දිවි පෙවෙත ගැන මියුරු ස්වප්නාවලියක හේ ගිලී ගියේය.
ඔහු තමා වෙත මේ වන විට ලැබී තිබුණු ලිපිය ඉරා විවෘත කරනු ලැබුවේ මේ ආකාරයට දෙපැයක් එකම තැනකට වී වාඩිවී සිටීමෙන් අනතුරුවය. බිල නොගෙවීම නිසා කාමරයේ ගෑස් ලාම්පුව නිවා දමා තිබූ හෙයින් ඉටිපන්දම් කැබැල්ලක් දල්වා ගත් ඔහු තමාට ලැබුණු ලිපිය කියවූයේය. සුප්‍රකට ඩැරොල් සහ කෙටෙල් නීතිඥ සමාගමෙන් යොමු කර තිබූ එහි සඳහන්ව තිබුණේ දකුණු දිගට වන්නට තිබූ ප්‍රාන්තයක විසූ ඔහුගේ දුර ඥාතියෙකු විසින් ඩොලර් ලක්ෂ දහයක දේපොළක් රූපට් ඔරේන්ජ්ගේ නමට ලියා ඇති බවය. දැන් ඔහු අභාවප්‍රාප්තව ඇති බැවින් ඒ මුදල් රූපට් හට හිමිවී තිබේ. එහෙත් තව දුරටත් එහි සඳහන්ව තිබු පරිදි මේ ලක්ෂ දහය යනු රූපට් ඔරේන්ජ් උදෙසා වූ හුදු ආරම්භක අරමුදලක් පමණක්ම වූයේය. ඔහුගේ ඉරණමට අනුව තවත් බොහෝ ධනස්කන්ධයන් රූපට්ගේ සාක්කුවට ඇද වැටීම පිණිස ඒ වන විටත් සිදුවීම් පෙළ ගැසෙමින් පැවතිණි.
පසුදින ගෙහිමි කාන්තාවට දැකගත හැකි වූයේ තවමත් ඇඳී පුටුව මතට වී දැඩි නිද්‍රාවක පසුවන රූපට් ඔරේන්ජ්ය. දකුණු කලවය මත දකුණතින් තද කරගත් ලිපියක්ද, මුවට නැංවුණු සුන්දර සිනහවක්ද සහිතව නිදා සිටි තරුණයාගේ ඉරියව්ව වෙනදාට වඩා අමුත්තක් පෙන්නුම් කළද, ඇයගේ පැත්තෙන් බලන ඔහු තමන්ගේ කාමර කුලිය පවා ගෙවා ගත නොහැකි වූ අන්ත දුප්පතෙක් බව අමතක කළ නොහැකි විය. එනිසා සිය අතෙහි වූ කොස්සෙහි මිටෙන්ම උරහිසට තට්ටු කර ඔහුව අවදි කිරීමට තරම් නිර්භීත කමක් තවමත් ඇය සතුව පැවතුණි.
අනතුරුව ඔහුගේ මුහුණටද වදින සේ දුවිලි ඇවිස්සෙන ලෙස බිම අතුගාන්නට පටන් ගත්තේ මේ නිසා රූපට් අවදි වනු ඇතැයි සිතමිනි. දුවිල්ල හේතුකොට රූපට් අවදි වූයේ වේදනාකාරී කැස්සක්ද සමඟය.
“මට ටිකක් වැඩිපුර නින්ද ගියා ස්පිල් නෝනා”
කැස්ස අතරින්ම රූපට් පැවසුවේ සමාව අයදින ස්වරයකිනි.
“වැඩිපුර නිදා ගන්න නම් ටවුමේ පාක් එකට යන එකෙනෙ තියෙන්නෙ. කොහොමටත් සල්ලි නොගෙව්වොත් හෙට වෙන කොට ඔහෙට පාක් එකට තමයි යන්න වෙන්නෙ. මොකද තවත් ඔහෙට මෙහෙ නම් ඉඩ ලැබෙන්නෙ නෑ. හොඳට මතක තියාගන්නවා”
ස්පිල් මහත්මිය මැෂිමක් සේ එක දිගට කියාගෙන ගියාය.
ඊයේ රාත්‍රියේ පසුවූ දුක්ඛිතයාගේ තත්ත්වයේ සිටියා නම් හදවත පසාරු කරගෙන යන්නාසේ දැනෙන මේ වදන් නෙළුම් පතකට වන් දිය බිඳක් සේ සැණෙකින් බැහැර කළ රූපට් ඒ වන විට තමා සතුව තිබූ අන්තිම ඩොලර් පහේ නෝට්ටුව ස්පිල් මහත්මිය අත තැබුවේ ඇය පුදුමයෙන් ගල් ගැසී බලා සිටියදීය. ඇත්තෙන්ම එය ඇයට බලාපොරොත්තු විරහිත මුදලක් වුයේය. මේ දුප්පතා තමා වෙත ලබා දුන්නේ ඔහු සතු අවසාන මුදල් නෝට්ටුව බව ඉතා හොඳීන් දැනගත් ඇයට සිතුණේ, ඊළඟට නම් සිය දිවිනසා ගන්නවා හැර වෙනත් විකල්පයක් මේ දුප්පතාට නැති බවය. එහෙත් ඉතා සැහැල්ලුවෙන් තම ඇඳුම් පැළඳුම්වල තැවරුණු දුවිලි ගසා දැමු හෙතෙම සිය හිස් වැස්මද අතින් ගෙන කාමරයෙන් පිටවුයේ ඉතා විනීත ලෙස ගෙහිමි කාන්තාවට ආචාරයක්ද පුද කරමිනි. ඉක්බිති තවත් මොහොතක් කාමරයේ දොර ළඟ නැවතුණ හෙතෙම “මම මෙතන නැවතුණ දවසේ සිට කරන ලද සැලකිලිවලට ස්පිල් මහත්මියට බොහොම ස්තුතියි. ඔබ මට හොඳීන් සැලකුවා” යනුවෙන් පැවසීමටද අමතක නොකළේය.
තම අවශ්‍යතාවය සඳහා යා යුතු නීතිඥ කාර්යාලය පිහිටා තිබුණේ නගරයේ පහළ කොටසේය. අස් රියකට ගොඩ වීමට අවශ්‍ය සත ගණන හෝ මේ වන විට ඔහු සතුව නොපැවති බැවින් හෙතෙම එම දුර පයින්ම ඇවිද ගෙන ගියේය.
ඩැරල් සහ කෙටල් සමාගමේ නීතිඥ කාර්යාලයට ඇතුළු වූ වහාම ඔහුට මුණ ගැසුණේ සුපුරුදු ලෙසම අහංකාර ලිපිකරුවෙකි. රූපට් විසින් අසන ලද ප්‍රශ්නය කනට වැටුණු බවවත් නොපෙන්වා ලිපිකරුවා විසින් ඔහුව තවත් මිනිත්තු පහක් පමණ ප්‍රමාද කරවන ලද්දේය. තමා කරමින් සිටි කාර්යය නිම වූ හෙතෙම රූපට්ගේ වැරහැලි වූ ඇඳුම් පැලඳුම් දැක කෝපයටද පත් වූ හේ තම ආයතනයට අපහාසයක් කිරීමට පැමිණියෙකු සේ සලකා රූපට් අරබයා රළු පරුළු වාග් විලාසයක් භාවිත කළේය.
තමාට අවශ්‍යව ඇත්තේ සමාගම් ප්‍රධානියා වන කෙටෙල් මහතා මුණ ගැසීම බව රූපට් විසින් දෙවැනි වරටත් පැහැදිළි කිරීමෙන් පසු වැඩක නිරත වන අතරේම ලිපිකරුවා සිය මුව විවර කළේය.
“ලොකු මහත්මයා ඇතුළේ හිටියට අද හුඟාක් වැඩ වැඩියි. ඒ නිසා අපේ වැඩ ඉවර වෙනකම් අරහෙන් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සෙ තමයි තමුසෙට එයාව හම්බ වෙන්න පුළුවන්”
දුප්පතෙකු ලෙස මෙවැනි අතවරයන්ට සියදහස් වාරයක් මුහුණ දී ඇති රූපට් කිසිදු හිත් තැවුලකින් තොරව තමාට හිඳගන්නට ලැබුණු ආසනයේ පැයක් තිස්සේ ඉතා හොඳ නින්දකට වැටුණේය. තමාගේ ඇඳුම් පැලඳුම් දෙස බලමින් එහි සිටින ලිපිකරුවන් සිනාසෙන ආකාරය ගැන සිතන්නට පොඩ්ඩක්වත් ඔහු වෙහෙස වූයේ නැත.
නින්දෙන් අවදි වූ ඔහු යළිත් මුලින් හමුවු තරබාරු ලිපිකරුවා වෙත ළඟා වුයේ හුරු පුරුදු යටහන් පහත් විලාසයෙනි.
“ඔබට පුළුවන් නම් කරුණාකරලා මගේ නම කෙටෙල් මහත්මයාට කියන්න... ”
එහෙත් රූපට්ට ඔහු අමතා කියාගත හැකි වුයේ එපමණකි. තරබාරු ලිපිකරුවා සෙසු පිරියටද ඇසෙන සේ මහ හඬින් කෑගැසුවේය.
“මං දැන් තමුසෙට සැරයක් කිව්වා කෙටෙල් මහත්මයා වැඩ ගොඩක ඉන්නේ කියලා. මහත්තයාගේ වැඩ ඉවර වෙනකම් ඉන්න බැරි නම් ඕනෑ දේවාලෙක යනවා. ආයෙමත් කරදර කරන්න ඇවිත් මං නරක මිනිහයි කියන්න එපා”
වින්සන්ට් ඕ සුලිවන්ගේ කෙටි කතාවක් ඇසුරිනි
(මතු සම්බන්ධයි)