ගුරුගේ බලය ලබා දෙන නාරසිංහාය යන්ත්‍රය

ජනවාරි 24, 2025

අද ලියන්න සූදානම බ්‍රහස්පති ග්‍රහයාට අයිති යන්ත්‍රය ගැනයි. මේ යන්ත්‍රයට අයත් ග්‍රහ කිරණය ගැන බොහෝ දේ ඔබේ දැනීමේ තිබුණට හදිසියට මතක් වන්නෙ නැහැ.

බ්‍රහස්පති හොඳ ග්‍රහයෙක්. ඒ කිව්වේ පාපි නැති ග්‍රහයෙක්. මේ ග්‍රහ කිරණයට අයිති යන්ත්‍රයේ නම කියන කොටම බුද්ධ යන්තරයක් බව වැටහෙනවා ඇති. නාරසිංහ කියන්නෙ අපේ බුදුහාමුදුරුවන්ට. ඒ වුණාට නාරසිංහ උත්තමයන්ටත් මේ බ්‍රහස්පති අරියාදු කළ අවස්ථාවන්ද නැතුවා නොවේ.

අපි ඉස්සෙල්ල බ්‍රහස්පතිගේ හොඳ ගතිගුණ කතා කරමුකෝ. ගුරු පාපි නොවන ග්‍රහයෙක්. මේ ගුරු නැත්නම් බ්‍රහස්පති කේන්දරයක 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක ස්වක්ෂේත්‍රව හෝ උච්චව පතිත වුණොත් “ගුරුහංස” කියන පංච මහා පුරුෂ යෝගය පිහිටලා සුබ ප්‍රතිපල දෙනවා.

ඕනෑම කෙනකුගේ හෝ ග්‍රහයකුගේ යහපත් ක්‍රියා වගේම අයහපත් ක්‍රියා තිබෙන එක සාමාන්‍ය දෙයක්. ඕනෑම කේන්දරයක නරක ග්‍රහ පිහිටීමක් තිබුණොත් ඒ පිහිටීම මේ දීප්තිමත් බ්‍රහස්පතිට ශප්තම දෘෂ්ටියට, ඒ කිව්වේ 7 වැන්නට හසු වුණොත් දෝස භංග වනවා. විශේෂයෙන් මේක පොරොන්දම් බැලීමේදී සැලකිල්ලට භාජනය විය යුතුම එකක්. මේක එක් දෝස භංගයක්. මේ දෝස භංගය නොදත් බොහෝ දෙනා පොරොන්දම් ප්‍රතිඵල වැරදියට සකස් කරනවා.

ඕනෑම පාපී ග්‍රහ පිහිටීමක් දීප්තිමත් චන්ද්‍රයාට හෝ දීප්තිමත් බ්‍රහස්පති දකිනවා නම් ඒ දෝසය භංගවනවා.

බ්‍රහස්පති ශිල්පයට අධිපතියා. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ ශිල්පයට මේ ග්‍රහයා හරියට උදවු කරනවා. 5 වැන්නෙ ගුරු යහපත්ව හිටියොත් මූලික අධ්‍යාපනය හා 11 වැන්නෙ යහපත්ව පිහිටියොත් උසස් අධ්‍යාපනයත් නිසැකවම දෙනවා. ඒ වගේම 'අහිංසක' කුමාරයාව 'අංගුලිමාල' කළේත් බෝධිසත්වයන් වහන්සේට දුෂ්කර ක්‍රියා අරඹන්න හිත් දුන්නෙත් මේ බ්‍රහස්පතිම තමයි. අනෙක තමයි මේ බ්‍රහස්පති නරක් වුණොත් ශරීරයේ සියුම් නහර හා ස්නායුවලට අයහපතක්ම තමයි කරන්නේ.

මේ ගුරු, රවි සමඟ යෝග වුණොත් හොඳ මධ්‍යස්ථ මොළයක් ඇති ලෞකික ඥානවත් රාජ්‍යමායමින් ඉතා යහපත්ව ප්‍රතිපල දුන්නට ලග්නයේ මේ දෙන්නා නරක් වුණොත් නම් ‘අංශභාගය’ කියන රෝගය හදලා මහ විනාසයක් කරනවා. මේ දෙන්නා අතරට අඟහරුවා යෝග වෙලා නරක් කළොත් හිසේ සියුම් නහරයට ලේ කැටියක් හිර කරල ඒක පුපුරවා හරිනවා. එතකොට තමයි අංශභාගය හැදිලා බිමට වැටෙන්නෙ.

ඕනෑම ග්‍රහයකුට අවස්ථා 12ක් ඇති බව දන්නවානේ. මේ ගුරු නැත්තම් බ්‍රහස්පති සභා අවස්ථාවේ හෝ ආගම අවස්ථාවේ හෝ භෝජනඅවස්ථාවේ දී උපන්නා නම් රටකට අවශ්‍ය දරුවෙක් නිර්මාණය කරන අතර නිද්‍රා අවස්ථාවේදී උපන්නා නම් මහා මෝඩයෙක්, දිළින්දෙක් කරවලා ජීවිතය එපා කරවනවා.

නාරසිංහ යන්ත්‍රය මතුරන කොට වාර ගණන 19000ක් අවශ්‍යයයි කියල තමයි කියන්නෙ. මේ යන්ත්‍රය මතුරන මන්තරය ඒ නමින්මයි තිබෙන්නෙ. පොතේ තිබෙන මන්තරයෙහි ටිකක් අඩුපාඩුවක් තිබෙනවා. ඒක ගුරු මුෂ්ටියට අඩුකළාද නැත්නම් අඩු වුණාද කියල මට කියන්න තේරෙන්නෙ නැහැ. මේ මන්තරයේ මථ මථ ළඟට “හුං හුං” කියලා එකතු කර ගන්න ඕනෑ.

මේ නාරසිංහ යන්තරයට හිමිකම් කියන බ්‍රහස්පතිට රාශි 2ක් අයිති වුණාට ධනු රාශිය වඩා බලවත්. ධනු ලග්නයේ උපන් අයට එකම පාපියා සිකුරා. “අරඛඞ ශනේෂ්වරඞ, බුධඞ චන්ද්‍රාඞ ගුරු ශුක්‍රෝ සදා වෛරඞ” කිව්වේ ඒකයි. රවි, බුධ යෝගය රාජ යෝගයක් බව දන්නවනේ. හැබැයි සෙනසුරා මාරකයි. ඒ වුණාට අෂ්ටමයට අධිපති චන්ද්‍රයා ලග්නාධිපති සමඟ අති මිත්‍ර බැවින් පාපි ඵල ගොඩක් වෙලාවට දෙන්නෙ නැහැ.

වයස අවුරුදු 10ට ඉහළ ඉගෙන ගන්නා දරුවන්ට බ්‍රහස්පති දසාව ලබලා සිකුරු අතුරු දසාව ලැබුණොත් කොහේ හරි ඉන්න ගැහැනු ළමයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරවලා ඉගෙනීමට බාධා කරනවා. ඒ වගේම විවාහවන වයසේ කෙනෙකුට සිකුරා ලැබිලා බ්‍රහස්පති අතුරු දසා ලැබුණොත් කොහොම හරි ඒ විවාහ වීමට අකුල් හෙළනවා. වෙනත් ග්‍රහයෝ වගේ නරක දේ පෙන්වන්නෙ නැහැ. හොඳ දේ පෙන්වලා නරක දේ කරනවා.

නාරසිංහ යන්තරය මතුරන කොට ලොකු ලොකු දිෂ්ටි මන්ත්‍ර ඕනෑ නැහැ. පොඩි දිෂ්ටියක් ඇති. ඒක මතුරන ජප මන්ත්‍රයත් ඒකමයි. පූජාවට පිරිසුදු දෑ තබන්න ඕනෑ. අපි දන්නවා. මහ බ්‍රහ්මයා මවනවා, විෂ්ණු රකිනවා නැත්නම් ආරක්ෂා කරනවා. ඊශ්වරයා විනාශ කරනවා. එනම් විෂ්ණු රකිනවා නම් බ්‍රහස්පති කරන්නේත් ඒකමයි.

බ්‍රහස්පතිට මහ දසාව අවුරුදු 16 යි. බ්‍රහස්පතිගෙන් බ්‍රහස්පතිට අවුරුදු 02 මාස 01 දින 18 යි. බ්‍රහස්පතිට බල වැඩි මේ කාල සීමාවෙදිමයි. බ්‍රහස්පතිගේ එකම හතුරා සිකුරා වුණාට බ්‍රහස්පති මහ දසාවේ සිකුරුගේ අන්තරය වර්ෂ 02 මාස 08 යි. මේ කාලෙදී හැමදේම වගේ ලැබෙනවා. හැබැයි පිහිටීමත් හොඳවන්ට ඕනෑ. මේ කාලෙදි නැති ඥාතීන් ඇති වෙනවා. ආගමික උත්සව යෙදෙනවා. කොටින්ම කිව්වොත් උසස් යහපත් ජීවිතයක් පවතිනවා. මේ යන්තරය ශරීර ස්පර්ශය හෝ නිවසේ රාමු කරලා තබන්නත් හොඳයි. විශේෂයෙන් යන්තරය ඇති තැන වඩා පිරිසුදු වූ තරමටම යහපත් ප්‍රතිඵල දෙනවා. නිවසට යක්ෂ, ප්‍රේත බිය එන්නෙ නැහැ. කලවම් නැති සාම්බ්‍රානි දුමට යන්තරය වැඩි ආකර්ෂණයක් ඇති වනවා. යන්තරයට සාත්තු සප්පායම් කරන්නෙ කොච්චරද ඒ තරමටම ඔබට යහපත් ප්‍රතිපලත් ලැබෙනවා.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.