නිමිත්තට වැඩකර ජය ලබන්න

ජනවාරි 28, 2022

 

ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්. ශාස්ත්‍රයකින් කරන්නෙ හොඳ නරක පැහැදිලි කිරීමක්. වගාවක් කළොත් අස්වැන්න ලැබෙනවා. අස්වැන්න ලැබුණාම අපේ බඩකට පිරෙනවා. ඒ එක්තරා ක්‍රියාවක් සහ ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමක් හෝ පැහැදිලි කිරීමක් නොවේ. නමුත් ඡ්‍යොතිෂයෙන් මූලිකව කරන්නෙ ප්‍රතිඵලය රිසිසේ ලබාගන්න ක්‍රියාව නිවැරදිව කරන විදිය පැහැදිලි කිරීමක්.

 

 

බුදු දහමේද උගන්වන්නෙ ඒකමයි. ක්‍රියාව යහපත් එකක් විදියට පරිවර්තනය කරගැනීම මට ඔබට බාරයි. ඒ නිසාමයි ඡ්‍යොතිෂයත් බුදු දහමත් සමාන්තරව පිහිටියේ. මේ දෙකම තිබෙන්නෙ ප්‍රඥාවන්තයින්ට පමණයි. ආගමක්, ධර්මයක් , කර්මයක්, ඡ්‍යොතිෂයක් විශ්වාස නොකරන අය නැතිව නොවේ. ඒ අයට විශ්වාසය කියන එක අල්පයි. කොටින්ම කිව්වොත් පවුලේ අනිත් අය අම්මා කියන නිසා අම්මා, තාත්තා කියනවා. එහෙම අයත් ඉන්නවා. ආගම ධර්මයක් ගැන විශ්වාසය නැහැ. පන්සල් යනවා. ඡ්‍යොතිෂය ගැන විශ්වාසය නැහැ. රාහු කාලයට වැඩක් ආරම්භ කරන්නෙ නැහැ. දෙවියෙක් විශ්වාස කරන්නෙ නැහැ. වාර්ෂිකව ලොකු මල්මාලයක් හදාගෙන කතරගම යනවා. එහෙම අයත් නැතුව නොවේ. ඒ ඒ අයගේ මතය බුදුහාමුදුරුවො දේශනා කරල තිබෙනවා. එක එක අයගේ මතය නානාප්‍රකාරයි කියලා.

ඒක මානව නිදහස මේ අයුරින්ම ඔබ මම හෝ වෙනත් කෙනෙක් නිමිති බලලම වැඩ කරන්න ඕනෑම කියල නැහැ. නිමිත්ත බලලා වැඩ කරල බලලා ඉන් යහපත සැලසුනානම් ඒක අනුගමනය කරන්න. නිමිත්තට වැඩ කරල අයහපත සැලසුනා නම් එය අතහරින්න. කිසි ගැටලුවක් නැහැ.

නිමිත්ත ගැන ටිකක් පැහැදිලි කරල එහි ප්‍රයෝජන ටිකකුත් කියන්නම්. ඡ්‍යොතිෂයේ එක්තරා වටිනා පැතිකඩක් මේ නිමිති ශාස්ත්‍රය. නිමිත්ත කිව්වේ සලකුණ නැත්නම් සැලැස්ම කියන එකයි. මේකෙන් යහපත අයහපත දෙකම පෙන්වනවා. නිවැරදි එක කරන්න. මේ නිමිති ගැන වටහා දීලා ඔබට යහපත ඇතිකර දුන්ණොත් ඒක අපි ලැබු ජයක්. නිමිත්ත කියන එක ඔබ දන්නවා සරලව. ඒක බොහෝ දුරට කරලත් ඇති. නිමිත්තකින් කරන්නෙ ස්වභාවධර්මයා නැත්නම් විශ්ව ශක්තිය විසින් යහපතම උදාකරවීමයි. සාමාන්‍ය කඩයකට යාම හැර වෙනත් අත්‍යාවශ්‍ය ගමනකදී කිසියම් දෙයක් බලාපොරොත්තුව පිටව යනවා නම් නිමිත්තකට ක්‍රියාකිරීම හොඳයි.

ඔබ ඕනෑම වැඩක් කරනකොට ඒ කිව්වේ ආරම්භයේදී ‘රාහු කාලය’ අතහරින බව මම දන්නවා. ඒක නො නැකැතක් මිස නිමිත්තක් නොවේ. රාහු කාලය කිව්වේ කිසියම් දිනකදී ස්ථීර වශයෙන්ම නියමිත කාල ප්‍රමාණයක්. එනම් එක් දිනකදී පෙරවරුවේ හා පස්වරුවේ පැය 1 විනාඩි 30 ක කාලයක්. සඳුදා දිනවලදී සූර්ය උදාවේ අනුව උදේ 7.30 සිට 9.00 දක්වා රාත්‍රියටත් එහෙමයි. ගුප්ත විද්‍යාව දන්නා අය යමකාලය හා දිශාවත් මේ අයුරින්ම බලනවා. වර්තමානව බොහෝ දුරට මෙය අමතක වෙලා ගිහිල්ලා. සමහර නිමිති අපේ මනසේ රැඳිලා තිබෙනවා. පුංචි ළමයින් පවා දන්නවා. නිමිති දර්ශනය වන්නේ හදිසියේ අපිට බලාපොරොත්තු රහිතව ඔබට මතක ඇති. වර්ෂ 2004 දෙසැම්බර් 26 වැනිදා. සුනාමිය ආරම්භ වුණේ ගොඩබිම සිට නාවික සැතපුම් කීපයක් දුරින්. ගැඹුරු මුහුදේ සිට. ඒ ගැඹුරු මුහුදේ කැලැඹීමක් . විහාර මහා දේවියගේ කාලයට පස්සේ මේ විදියේ අමුතු දෙයක් දැක්කෙ නැහැ. ඒ සුනාමියට කලින් කිසිම නිමිත්තක් සලකුණක් දුටුවේ නැහැ අපි. ඒකනේ පළමු වර මුහුද ඇවිල්ලා නැවත මුහුදට ගියාම අපේ සමහර මිනිසුන් වැල්ලේ හිටි මාළු අල්ලන්න පවා ගියේ. දෙවන වර මුහුද ආවේ ඒ අයවත් මරාගෙන. මිනිසුන් කිසිවෙක් කලින් නොදැන හිටියට සත්තු පක්ෂින් දැනගෙන හිටියා. සුනාමියට කලින් ඒක නොදැන සිටි මිනිසුන් දහස් ගණනක් ඒකට අහුවෙලා මිය ගියා. මිනිසුන් තම නිවෙස්වලින් පිටව නොගියට පක්ෂීන් සතුන් උන්ගේ ස්ථානවලින් පිටව ගියා. වායුගෝලය නොහොබිනා ලෙස හුළං කැරකැවුන හැටි සතුන්ට දැනුනා. ඒ නිමිත්ත අපිත් දැනගෙන හිටිය නම් අපිටත් බේරෙන්න තිබුණා. ඊට පස්සේ තමයි ඔය සංඥා මීටර හැදුවේ. දැන් ඒ මීටර තමයි නිමිත්ත වෙලා තිබෙන්නේ.

නිමිත්ත වැටහෙන්නෙ අපි සිහිකල්පනාවෙන් හිටියොත් විතරයි. අපිට පෙනෙන වෙනස් කරුණු ගැන. වැඩිපුර හිතන්න ඕනෑ. අපේ ගෙදර නංගි මල්ලි පවා දන්න නිමිත්තක් කියන්නම්. එහාට මෙහාට දුවන පනින ගෙදර පූසා මතකද දවසක් උගේ අතින් උගේ මුහුණ පිස දැම්මා. පුංචි නංගි කිව්වා අද නම් අපේ ගෙදරට ඥාතියෙක් එනවා කියලා . කවුරුත් හිනාවුණාට එදාම හවස අපේ නැන්ද කදමලු බැඳගෙන ආවා මතකද? අන්න අර පූසා මුහුණ සේදූ නිමිත්ත නංගි දැනගෙන හිටියා.

අපේ මහමායාදේවිය දුටු හීනය මතකද? ඒක සිහින නිමිත්ත. දැන් ඔබට වැටහුණාද නිමිත්ත කියන එක. මම මීට ඉහත දී ලිව්වා. “කළු කුහුඹි නිමිත්ත” හා “රතු කුහුඹි” නිමිත්ත. ඉන් බොහෝ අය පල ප්‍රයෝජන ගත්තා. මටත් දුරකතනයෙන් දැන්නුවා.

සාමාන්‍යයෙන් වැඩුණු නයෙක් ඔබේ ඉඩමේ එක දිශාවක සිට අනිත් දිශාවට දවසකට වරක් වත් වේගයෙන් යනවා නම් ආයි සැකයක් නැහැ. එම ඉඩමේ හදිසියෙන් දමා ගිය වස්තුවක් තිබෙනවා. ඒක ඔබට හිමි නම් බහිරව පූජාවක් දීලා ගන්නවා මිස බලෙන් ගන්න යන්ට එපා. ජීවිත හානියකින් වන්දි ගෙවන්න වේවි.

ඔබ අද හෝ හෙට වැදගත් ගමනක් යාමට නිවසෙන් එළියට බහින කොට කුරුල්ලො දෙදෙනෙක් හෝ කීපදෙනෙක් පොර කාගෙන ඔබ ඉදිරියට වැටිලා ඉගිල යාවි. ගමන කොච්චර වැදගත් වුණත් දැන් යන්ට එපා. ටිකක් වෙලාවක් ඉඳලා යන්න තව එකක් කියන්නම් ඔබ නැවතත් ගමනක් යන විට කිසියම් නියම හිඟන්නෙක් අත පාවි . එතකොට ඔබට තරහත් යාවි. තරහ ගන්ට එපා. යායුතු ගමන යන්න අතරමගදි ලොතරැයි දිනුමක්ද ගන්න. තවත් දිනයක ඔබ ගමනක් යනවිට කළු බළලකු ඔබ ඉදිරියෙන් ඒ පැත්තෙ සිට මේ පැත්තට පනීවි. සමහර විට ඔබේ රියට හසුවේවි. වහා ගමන නතර කරන්න. ගියොත් ගිය විලසින් ආපසු එන්නේ නැහැ.

ඉතින් මේවා තමයි නිමිති කිව්වේ. කරන්න බැරි මහා ලොකු දේවල් නොවේ. නමුත් ඔබ ගණන් නොගෙන ගියොත් මහා ලොකු දෙයක් වේවි. මේ සියලුම නිමිති ඔබට ගෙනෙන්නෙ ස්වභාව ධර්මයා, නැත්නම් විශ්ව ශක්තිය මගින්. ඔබේ මගේ ආරක්ෂාව දියුණුව සඳහාමයි ඒ නිමිති අප වෙතට ගෙනෙන්නේ. ස්වභාවධර්මය, විශ්වශක්තිය අපට ආදරය කළාට අපි ඒවා විනාශ කරනවා. ඉතින් අපට හුස්ම පවා ගන්න බැරි වුණාට අපේ වරදට එයාට බනිනවා. මනුෂ්‍යයා ජීවත් කරන්නේ ස්වභාව ධර්මයා විසින් සපයන ලද වාතය, ජලය, ආහාරවලින් නොවේද? ඒවා ආරක්ෂා කිරීම කොච්චර අඩුද?

මතකද දවසක් පියදාස අයියව සර්පයෙක් දෂ්ඨකළ දිනේ ඒ ආරංචිය වෙද මාමට කිවු එයාගේ මල්ලිට වෙද මාහතා දුන් උත්තරය. යන්ට කිව්වා මම. එන්නම් කියලා. වෙද මාමා ආවද? වෙද මාමා දැනගෙන හිටියා එයාට ආරංචිය සැලකලේ කකුලේ මා පට ඇඟිල්ලෙන් බිම හාර හාර බව. වෙද මාමා ඒ නිමිත්ත දැනගෙන හිටියා ලෙඩා මළ බව. මේ විදියට ඡ්‍යොතිෂ නිමිති, නවාංශක නිමිති, ශ්‍රී රාම නිමිති, හුලවාලි නිමිති, වර්ගාක්ෂර නිමිති, ඊශ්වර නිමිති, මල්වර නිමිති කියල වර්ග ගොඩක් තිබෙනවා. මේ නිමිති ශාස්ත්‍රය ක්‍රමයෙන් නැතිවී යන්ට බොහෝ හේතුත් නැතිව නොවේ. දැනට බොහෝ දුරට පවතින්නෙ මල්වර නිමිති විතරයි මං හිතන්නේ.

යම් කෙනකුගේ කිසියම් බඩුවක්, භාණ්ඩයක් නැති වුණාම ඒක හොයාගන්න නිමිත්තක් අල්ලනවා. එහෙම කරල දුන්නම ඒ තැනැත්තගේ ජීවිතයට කිසියම් තර්ජන එන නිසා ඒකත් ක්‍රමයෙන් අඩුවි යනවා. නැකැත හා නිමිත්ත පටලවා ගන්නත් එපා. නැකැත කිව්වේ කලින් දෙන ලද යම්කිසි වෙලාවක් හා දිශාවක් .නිමිත්ත කිව්වේ හදිසියෙන් ලැබෙන සංඥාවක්. ඔබට දවස ජය ගන්න තව සාමාන්‍ය නිමිත්තක් කියන්නම්. සාමාන්‍යයෙන් දවසේ පළමු කාර්යය ධනාත්මක විය යුතුම වෙනවා. ඔබ ගමනක් යනකොට නිකමට වගේ ලොතරැයි පතක් ගන්නවා. ඒක පරදිනවා. මුළු දවසෙම වැඩ ඔබ පරදිනවා. සාමාන්‍යයෙන් ඔබ ලොතරැයි 1000ක් වත් ගත්තොත් දිනන්නෙ එකයි. අනිත්වා ඍණාත්මකයි. එනිසා දවසේ ප්‍රථමයෙන් ලොතරැයි ගන්න එපා. දවල් වෙලා ගන්න. ලොතරැයියේ ප්‍රතිඵල ඒ උදේ ඔබ නොදන්නවට විශ්ව ශක්තිය දන්නවා. එනිසා දවසේ මුල කාර්යය සතුට උපදවන ධනාත්මක විදියේ දෙයක්. කර ජීවිතය ජය ගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.