බුධ ග්‍රහයාගෙන් යෙදෙන සුබ යෝග

මාර්තු 26, 2021

බුධ ග්‍රහයා සූර්යයාට ළඟින්ම සිටින ග්‍රහයා වේ. ඒ අනුව බුධ ග්‍රහයා සූර්යයාට හොරෙන් අංශක 28 කට වඩා ඈත් නොවේ. බුධ ග්‍රහයාට එක් රැසක ගෝචරය වීමට ගත වන්නේ දින 27 ක් වැනි කෙටි කාලයකි. එනමුත් බුධ ග්‍රහයා වසරකට තුන්, හතර වතාවක් වක්‍ර වන ග්‍රහයෙක් වන හෙයින් වක්‍ර වූ විට මාස දෙකකට ආසන්න කාලයක් එක් රැසක රැඳී සිටියි.

බුධ ග්‍රහයා මිනිසාට යම් කාර්යයක් හිතාමතා කිරීමට බුද්ධිය ලබා දෙන ග්‍රහයා වන හෙයින් කේන්දර සටහන්වල බුධ බලවත්ව යෙදුණු ජන්මින් දක්ෂ චින්තකයෝ වෙති. එයට හේතුව නම් ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට වඩා යමක් හිතාමතා කිරීමට හැකි තාර්කික බුද්ධියක් ඇති හෙයිනි. එහෙයින් බුධ බලවත් බොහෝ ජන්මීන් , තර්ක ශාස්ත්‍රය ගණිතය, ඡ්‍යොතිෂ්‍ය සහ විවිධ භාෂාවන් හැදෑරීමට දක්ෂ අයවලුන් වෙති. එමෙන්ම බුධ මිනිසාට යමක් මතකයේ රඳවා ගැනීම උපකාර වන ග්‍රහයෙක් වන හෙයින් බුධ බලවත් ජන්මීන්ට හොඳ ධාරණ ශක්තියක් ඇත. මෙකී බලවත් ධාරණ ශක්තිය හේතු කොටගෙන බුධ බලවත් ජන්මීන් තමා කැමැති විෂයක් පිළිබඳව උසස් දැනුමක් ලබා ගැනීමට උනන්දුවක් ආශාවක් ඇති වෙයි. ඒ අනුව පහත දැක්වෙන්නෙ කේන්දරයක බුධ බලවත් වීම හේතු කොටගෙන විවිධ විෂයන් කෙරෙහි උසස් දැනුමක් ලබාදීමට හේතු භූත වන ග්‍රහයෝග කිහිපයකි.

භද්‍ර යෝගය

පංච මහ පුරුෂ යෝගයකට හිමිකම් කියන භද්‍ර යෝගය කේන්දරයක යෙදෙන්නේ බුධ ග්‍රහයා 1,4,7,10 යන කේන්ද්‍ර භාවයක උච්ච හෝ ස්වක්ෂේත්‍ර, මූල තික්‍රෝණාධි බලයකින් යුතුව සිටීමෙනි. ඒ අනුව මෙකී භද්‍ර යෝගයෙන් උපන් ජන්මින්ගේ දැනුම, බුද්ධිය , ඥාණ ශක්තිය, ධාරණ ශක්තිය උසස් හෙයින් ඔවුන් පොතපතට සම්බන්ධ ශාස්ත්‍රීය කටයුතුවලට දක්ෂ අයවලුන් වෙති. සිත් ගන්නා සුළු තර්කානුකූල කථිකත්වයෙන් යුත් භද්‍ර යෝග හිමියන් බොහෝදෙනෙක් පොත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, ගණකාධිකාරිවරුන්, භාෂා විශාරදයන්, පැවිදි පඬිවරුන් වෙති.

විදුරවි යෝගය

බුධ ග්‍රහයා කන්‍යා රාශිගතව සිටීමෙන් විදුරවි යෝගය යෙදේ. බුධ ග්‍රහයා කන්‍යා රැසෙහි උච්ච මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යන බල තුනම තිබෙන හෙයින් බුධ ග්‍රහයා කන්‍යා රැසේ ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ උච්ච බලවලින් යුක්ත වේ. ඒ අනුව මෙකි විදුරවි යෝගයෙන් උපන් ජන්මීන්ට විවිධ භාෂාවන්, විවිධ විෂයන් පිළිබඳ උසස් දැනුමක් ලැබීමට හැකි ඥාණ ශක්තියන් ලැබේ. එමෙන්ම තමන් ප්‍රගුණ කළ විෂයන්හි දැනුම ඉබේම වාගේ වැඩි දියුණුූ වේ. හැම දෙයකින්, හැම කෙනෙකු ගෙන්ම යමක් ඉගෙනීමට ආශාවක් ඇති අයවලුන් වෙති. කොපමණ උගතෙක් වුවත් තමාට තව කොපමණ ඉගෙනීමට තිබේ ද යන්න සිතන හෙයින් ආඩම්බර නොවේ. මෙකී යෝගයෙන් උපන් ජන්මීන් හිතේ දියුණුවට මුල් තැනදී ක්‍රියා කරන හෙයින් විවාහය, ධනය, බාහිර දියුණුව පිළිබඳව ඇත්තේ අඩු අවධානයකි.

අත්පෙත් යෝගය

බුධ ග්‍රහයා මිථුන රාශිගතව සිටීමෙන් අත්පෙත් යෝගය යෙදේ. මෙකී යෝගධාරියා කිසියම් හේතුවක් නිසා විධිමත් අධ්‍යාපනයක් නොලැබුව ද, මොහු කෙරෙන් බොහෝ උගත් ඇසූ පිරූ තැනැත්තෙකුගේ ගති ලක්ෂණ විද්‍යමාන වේ. අන්‍යයන්ට යම් විෂයක් පිළිබඳව කරුණු තේරුම් කර දීමේ හැකියාවක් ඇති නිසා උපදේශකයෙකුගේ තත්ත්වයට පත් වේ. එමෙන්ම වයසට වඩා නොමේරු පෙනුමකින් යුත් අත්පෙත් යෝගධාරියා ප්‍රයෝගයෙහි දක්ෂය. පොත් පත් ලිවීමට සහ විවිධ නිර්මාණයන් සඳහා දක්ෂයෙක් වේ. අන්‍යයන්ගේ සිත් ඇද බැඳගන්නා ලෙස කථා කිරීමට දක්ෂ අත්පෙත් යෝගධාරියා තම දැනුම සහ බලයෙන් අයුතු ප්‍රයෝග නොගනී.

බුධ ආදිත්‍ය යෝගය

බුධ ග්‍රහයා රවි ග්‍රහයා සමඟ සංයෝග වීමෙන් බුධ ආධිත්‍ය යෝගය යෙදේය. බුධ ග්‍රහයා රවි ග්‍රහයාට අංශක 12 කිට්ටු වූ විට බුධ ආදිත්‍ය යෝගය යෙදෙන හෙයිනි. මෙකී යෝගයෙන් උසස් ශුභ ඵලයක් ලැබීමට නම් මෙකී බුධ සහ රවි ග්‍රහයා අතර පරතරය අංශක 10 කට වඩා අඩු නොවී තිබිය යුතුය. ඒ අනුව මෙකී බුධ ආධිත්‍ය යෝගයගෙන් උපන් ජන්මියාගේ බුද්ධි මහිමය හා ගුණ නුවණ අති විශිෂ්ටය. වහා වැටහෙන නුවණින් යුතු මෙකී යෝගධාරියා කථාවෙහි දක්ෂයෙකි. තමා දැන උගත් දේ පිළිබඳව අන්‍යයන්ට මැනවින් පහදාදීමෙහි සමතෙක් වන බුධ ආදිත්‍ය යෝගයෙන් උපන් ජන්මියා, ලේඛන කලාව කාව්‍ය ගණිතය යන විෂයන් පිළිබඳව ගැඹුරු දැනුමක් ඇත්තෙකි. ඔහු සතුව ඇති විශාල දැනුම් සම්භාරය හේතු කොටගෙන ඔහු ග්‍රන්ථකරණයට යොමු වන්නේ නිරායාසයෙනි. මෙකී දක්ෂතාවයන් හේතු කොටගෙන බුධ ආධිත්‍ය යෝගධාරියා අන්‍යයන් අතරේ හොඳ නම, කීර්තිය, ගරුනම්බු හිමි කර ගනියි.

කලා නිධි යෝගය

ගුරු ග්‍රහයා බුධ, සිකුරු යන ග්‍රහයන් දෙදෙනා සමඟ යෝගව නො එසේ නම් බුධ / සිකුරු යන ග්‍රහයන් දෙදෙනාගේ දෘෂ්ටියට ලක්ව දෙවැන්න හෝ 5 වැන්නේ සිටියදී එකී දෙවැන්න හෝ පස්වැන්න බුධ හෝ සිකුරු යන ග්‍රහයන් දෙදෙනාගෙන් එක් ග්‍රහයෙක්ගේ ස්වක්ෂේත්‍ර රාශියක් වීමෙන් කලා නිධි යෝගය යෙදේ.

ඒ අනුව මෙකී කලා නිධි යෝගයෙන් උපන් ජන්මියා, බෙහෙවින්ම රාග නිශි‍්‍රතය. රජුන්ගේ හෝ ප්‍රභූන් ගේ ගෞරවයට පාත්‍රවේ. කල් පවතින රෝග ව්‍යාධීන් ගෙන් තොරය. රජු සහ ප්‍රභූන්ගේ ගෞරවයට පාත්‍ර වන මෙකී යෝගධාරියා සුව පහසු යාන වාහන, අගනා නිවාස, යනෙන තැන්හි පිළිගැනීමට ලක්වන කෙනෙකි.

ශරද යෝගය

රවි ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද බුධ ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයක ද, 10 අධිපතියා පස් වැන්නේ සිටියදී බුධගෙන් ත්‍රිකෝණ ස්ථානයක කුජ ග්‍රහයා ද සඳුගෙන් ත්‍රිකෝණ ස්ථානයක තුළ ග්‍රහයා යෙදීමෙන් හෝ යටකී සියලු කරුණු සමඟ සඳුගෙන් ත්‍රිකෝණ ස්ථානයක ගුරු යෙදුණු වෙනුවට බුධගෙන් 11 හි ගුරු යෙදීමෙන් ශරද යෝගය යෙදේ. ඒ අනුව මෙකී යෝගධාරියා පි‍්‍රයමනාප පෙනුමකින් යුත් ලලිත කලාවන්හි ලැදි ආගමික පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවන, දෙවි බඹුන්ට ලැදි තම යුතුකම් නොපිරිහෙලා ඉටු කෙරෙන තම බිරිඳ හා දරුවන්ට ඥාතීන්ට ලැදි තම පවුල මැනවින් රැක බලා ගන්නා කෙනෙකි.

සරස්වතී යෝගය

මෙකී සරස්වතී යෝගය යෙදෙන්නේ ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන් තිදෙනා 2,5,4,7,9,10 යන ස්ථානවල එකට හෝ වෙන වෙනම හෝ දෙදෙනෙකු යෝගව තැන්පත්ව සිටීමෙනි. මෙලෙස යෙදෙන සරස්වතී යෝගයෙන් පූර්ණ ශුභ ඵලයක් භුක්ති විඳීමට නම්, මෙකී යෝගයට සම්බන්ධ වන ගුරු ග්‍රහයා යටකී භාවයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටිය යුතුය. ඒ අනුව මෙලෙස යෙදෙන සරස්වතී යෝගයෙන් උපන් ජන්මියා කෙරෙන් විද්‍යමාන වන ප්‍රධාන ගති ලක්ෂණ වන්නේ සෑම ශාස්ත්‍රයක් පිළිබඳව මනා දැනුමකින් හෙබි කෙනෙක් වීම, විශේෂයෙන්ම කවියට , නර්තනයට රංගනයට දක්ෂයෙක් වීම, යහපත් භාර්යාවක් සහ දරුවන් ලැබීම, යහපත් සිතුවිලි වලින් යුත් කෙනෙක් වීම ඒ හේතු කොටගෙන සැමගේ ප්‍රශංසාවට ලක්වීම යන පල විපාකයන්ය.

බුධ දීප්ති යෝගය

රාහු / කේතු අක්ෂයෙන් එක් පසෙක බුධ ග්‍රහයා පමණක් යෙදීමෙන් බුධ දීප්ති යෝගය යෙදේ. මෙකී බුධ දීප්ත යෝගයෙන් උපන් ජන්මියාගේ ජීවිතයේ මුල් කාලයේදී නොයෙක් දුක් පීඩා අවහිරතාවලින් ග්‍රහණ වුවත්, ඒවා ක්‍රම ක්‍රමයෙන් ස්වකීය බුද්ධිය, ස්ථානෝචිත ප්‍රඥාව, උපායශීලි බව, ධෛර්ය යන ගති ලක්ෂණ හේතු කොටගෙන ජයගෙන, තම ජීවන උසස් කර ගැනීම, මෙකී බුධ දීප්ති යෝගයෙන් උපන් ජන්මියාට කෙරෙන් විද්‍යමානව ප්‍රධාන ගති ලක්ෂණ වන්නේය.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.