සුබ ඵල උදාකරන අධියෝගය

අගෝස්තු 13, 2021

ලග්න අධියෝගය සහ චන්ද්‍රාධියෝගයට දායක වන ග්‍රහයන් වන බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ගෙන් ග්‍රහයන් දෙදෙනෙක් 6,8 යන භාවයන්ට අධිපතිට එහිම පතිතව හෝ එකී 6,8 භාවයන් මාරුකර ගනිමින් යෙදී ඇතිවිටදී විපරීත රාජයෝගයක් හෝ විපරීත පරිවර්තන යෝගයක් යෙදීම හේතු කොට ගෙන එකී ලග්නාධියෝගයෙන් හෝ චන්ද්‍රාධියෝගයෙන් ලැබෙන සුබ ඵල වඩාත් තීව්‍ර වන්නේය.

 

සෞම්‍ය ග්‍රහයන් වන බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 6,7,8 යන භාව බල යෙදුණු කල අධියෝගය පැන නගියි. මෙකී අධියෝගය ලග්න මුල්කරගෙන යෙදුණු කල එකී යෝගය ලග්න අධියෝගය යන නමිනුත් හඳුන්වනු ලැබේ. මෙකී යෝගයෙන් අපේක්ෂිත සුබ ඵල ලැබීමට නම් කොන්දේසි කිහිපයක් ඉටු විය යුතුයි. ඉන් පළමු කොන්දේසිය නම් මෙකී යෝගයට සම්බන්ධ ගුරු බුධ, සිකුරු යන ග්‍රහයන් රවිට අස්තව හෝ නීචව හෝ සතුරුව නොසිටිය යුතු බවයි. දෙවෙනි කොන්දේසිය නම් මෙකී ලග්න හෝ චන්ද්‍ර අධියෝගය යෙදෙන 6,7,8 යන භාව වලින් 7 වැන්නේ රවි ග්‍රහයට පතිතව නොසිටිය යුතු බවයි . තුන්වෙනි කොන්දේසිය නම් මෙකී යෝගයට සම්බන්ධ බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් බලවත් පාපින්ගේ දෘෂ්ටියට ලක් නොවිය යුතු බවයි.

 

 

සිවුවෙනි කොන්දේසිය නම් මෙකී යෝගයට සම්බන්ධ වන ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන් එනම් බුධ ග්‍රහයා 6 වෙනි භාවයෙත් ගුරු ග්‍රහයා 7 වෙනි භාවයෙත්, සිකුරු ග්‍රහයා 8 වෙනි භාවයෙත් යන පිළිවෙලට පිහිටිය යුතු බවයි. පස් වෙනි කොන්දේසිය නම් මෙකී යෝගයට දායක වන බුධ ග්‍රහයා 7 වැන්නෙහිත් සිකුරු ග්‍රහයා 6 වැන්නේහිත් ගුරු ග්‍රහයා 8 වැන්නෙහිත් තෙම පිහිටිය යුතු බවයි. මන්දයත් එකී භාව වල යටකී ග්‍රහයන් යෙදුණු කල එකී ග්‍රහයන්ගේ බලය බෙහෙවින්ම පිරිහෙන හෙයිනි.

මෙකී කොන්දේසිවලින් පූර්ණ වූ ලග්න හෝ චන්ද්‍ර අධියෝගයක් කේන්දරයක යෙදුණු කල එකී කේන්දර හිමියාට අධියෝගයෙන් උසස් සුබ පලයක් භුක්ති විඳිය හැකි වන අතර, ඒ අනුව මෙකී යෝගයෙහි පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකී යෝගධාරියා නිරෝගිමත් බවත් හදිසි අනතුරු, අන්තරා අඩු, දීර්ඝායුෂ ඇත්තෙක් බවත්, ආචාරවත් විශ්වාසනීය පුද්ගලයෙක් වන හෙතෙම පිරිසකට, පළාතකට නායකයෙක් හෝ මන්ත්‍රීවරයෙක්, හෝ අමාත්‍යවරයෙක් වන බවත් පී‍්‍රතිමත් සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට භාග්‍යයක් ඇති අයෙකු යන පල විපාකයන්ය. මෙකී අධියෝගයට සම්බන්ධ ග්‍රහයන් වන බුධ , ගුරු, සිකුරු යන ග්‍රහයන් ගෙන් දෙදෙනෙක් සඳුගෙන් රාශි දෙකක යෙදුණු කල අර්ධ අධියෝගය නම් යෝග විශේෂය පැන නගියි. මෙකී අර්ධ අධියෝගයද ජන්මියාට සුබ ලබා දෙන යෝග විශේෂයක් බව බොහෝ ඡ්‍යොතිෂ්‍ය පඬිවරුන්ගේ මතය වන්නේය.

එමෙන්ම මෙකී ලග්න අධියෝගය සහ චන්ද්‍රාධියෝගයට දායක වන ග්‍රහයන් වන බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ගෙන් ග්‍රහයන් දෙදෙනෙක් 6,8 යන භාවයන්ට අධිපතිට එහිම පතිතව හෝ එකී 6,8 භාවයන් මාරුකර ගනිමින් යෙදී ඇතිවිටදී විපරීත රාජයෝගයක් හෝ විපරීත පරිවර්තන යෝගයක් යෙදීම හේතු කොට ගෙන එකී ලග්නාධියෝගයෙන් හෝ චන්ද්‍රාධියෝගයෙන් ලැබෙන සුබ පල වඩාත් තීව්‍ර වන්නේය.

ලග්න කේන්දරයේ ලග්නයෙහි සඳු පතිතව සිටියදී ලග්නයෙන් සහ සඳුගෙන් 6,7,8 යන භාවයක බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් යෙදීමෙන් එකවරම ලග්නාධි යෝගයක් සමඟ චන්ද්‍රාධියෝගයක්ද පැන නගින අතර, එය ජන්මියාට අති විශිෂ්ට සුබ පලයක් ලබා දීමට හේතුවන අධියෝග විශේෂයක් වන්නේය. චන්ද්‍ර අධියෝගයකදී සඳුගෙන් 7 වැන්නේහි ගුරු ස්වක්ෂේත්‍ර මූල, ත්‍රිකෝණ උච්ච යනාදි බලයකින් යෙදුණු විට ගුරු හංස යෝගයක් සමග බලගතු ගජකේෂරී යෝගයක් ද යෙදෙන හෙයින්, ඒ ආකාරයට යෙදුණු චන්ද්‍රාධියෝගය ද කේන්දර හිමියාට උසස් සුබ පලයක් අත්කර දෙන්නේ ය.

ඡ්‍යොතිෂයෙහි අසුබ ඵල උදා කරන අධියෝග විශේෂයක් ද වෙයි. එකී අධියෝග විශේෂය ජොතිෂ්‍ය ශාස්ත්‍රයේදී පාප අධියෝගය යන නමින් හඳුන්වනු ලබයි. මෙකී පාප අධියෝගය යෙදෙන්නේ ලග්නයෙන් හෝ සඳුගෙන් 6,7,8 යන භාව වල සහජ පාපින් වන රවි, කුජ ශනි යන ග්‍රහයන් යෙදීමෙනි. මෙලෙස යෙදුනු පාප අධියෝගයකට රාහු / කේතු යන ග්‍රහයන්ගෙන් කෙනෙක් සම්බන්ධ වුවහොත් එකී පාප අධියෝගයෙන් ලැබෙන අශුභ පල වඩාත් තීව්‍ර වන්නේය. මෙහිදී ලග්නය මුල් කොට ගෙන යෙදෙන පාප අධියෝගයට වඩා චන්ද්‍රයා මුල් කොට ගෙන යෙදෙන පාප අධියෝගය කේන්දර හිමියාට දැඩි අශුභ පල ගෙන දෙන්නේය.

මෙකී පාප අධියෝගයෙහි ලග්නයෙහි සඳු යෙදුණු කල ලග්නය සහ සඳු යන දෙකකින්ම 6,7,8 යන භාව වල සහජ පාපින් වන කුජ, රවි, ශනි යන ග්‍රහයන් යෙදීමෙන් එකවර ලග්න සහ චන්ද්‍ර පාප අධියෝගයක් යෙදෙන හෙයින් එකී පාප අධියෝග විශේෂය කේන්දර හිමියටම බොහෝ අපල විපත් ගෙන දෙන්නේය.

මෙකී යෝගයෙහි පල විපාක වශයෙන් සඳහන් කළ හැක්කේ. මෙකී යෝගධාරියා අයහපත් ඇවතුම් පැවැතුම් හේතු කොට ගෙන ලෞකික ජීවිතය අසාර්ථක කර ගන්නා අයෙක් බවත්, සමාජ විරෝධී නීති විරෝධී, කටයුතු හේතු කොට ගෙන, සිර බත් කෑමටත්, දඬුවම් විඳීමට සිදුවන අයෙක් යන පලවිපාකයන්ය.

 

 

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.