මල්සරා දුනුරැසේ සංක්‍රමණයෙන් විශ්ව ප්‍රජාවගේ සිත් කැළඹෙයි

ඔක්තෝබර් 15, 2021

පංච මහා පුරුෂ යෝග අතරින්

මිථුන- කන්‍යා - ධනු - මින - භද්‍ර යෝගද

මේෂ - කටක - තුලා - මකර සස යෝගයද

රාශි දොළසටම පාශ යෝග බලයද උදා කරවමින්

 

දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා රවි 14 භාග වප් මහේ අව දොළොස්වක තිථිය, ධනු රාශිය, මේෂ නවාංශකය, මුල 01 පාදය මූලාශ්‍රිතව ඔක්තෝබර් 30 වැනි ශනි දින පස්වරු 04. 10 ට බෙරණ, පුවපල්, පුවසල නැකැතේ අධිපති විශ්ව තාරකා මන්දාකිණියෙහි බ්‍රාහ්මණ වංශික සිකුරු සුරගුරු හිමි දුනුරැසේ (බ්‍රහස්පති හිමි ධනු රාශිය ) අසිරිමත් වූ සංක්‍රමණයක් සිද්ධ වන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි ගුරු හිමි මීන රාශි උදාවෙහි වක්‍ර යුරේනස් සමව දෙවැන්න වූ ධනස්ථාන ගතවද, උච්ච රාහු තුන්වැන්න වූ වික්‍රමස්ථාන ගතවද, චන්ද්‍රයා මිත්‍රශීලීව රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේද, නිවෘත බුධ උච්ච මූල ත්‍රිකෝණව බාධක ග්‍රහයා ලෙසද සත් වැන්නේද අඟහරු සමව අට වැන්න වූ මෘත්‍යු ස්ථානගතවද, කේතු උච්චව නව වැන්න වූ භාග්‍යස්ථාන ගතවද, සිකුරු සමව දස වැන්න වූ කර්ම ස්ථාන ගතවද නිවෘත ගුරු නීච ක්ෂේත්‍රව, නිවෘත සෙනසුරු ස්වක්ෂේත්‍රව, ප්ලූටෝ නිවෘතවද සතුරු අයස්ථානය වූ එකොළොස්වැන්නේද, වක්‍ර නැප්චූන් සමව දොළොස්වැන්න වූ වැය ස්ථාන ගතවද, කුජ ශනි චතුර්කෝණ අශුභ දෘෂ්ටියද, ගුරු ශනි අශුභ යෝග බලයද යෙදී විශ්ව තාරකා මන්දාකිණියෙහි සමතුලිත දැඩි වූ ග්‍රහ චලිතයක් විශ්වය පුරා පැතිරෙන්නේය.

ජාතික අන්තර්ජාතික කාලගුණික, දේශගුණික ඊසානදිග මෝසම් කාල පරාසය සැප්තැම්බර් අග සතියේ සිට ඔක්. 17- 18 පමණ දක්වා බලපානු ඇත. භූ කම්පන, සුළිසුළං, වායු පීඩන, අකුණු අනතුරු, මුහුදු ගංගා පිටාර ගැලීම්, කඳු කඩා වැටීම්, නාය යෑම් ආශ්‍රිතව අවහිර බාධකයන් විශ්ව ජන ජීවිතය කෙරෙහි බලපෑ හැකිය. ඔක්තෝබර් 10 වැනිදින අලුයම 04.20 ට සෞරග්‍රහ මණ්ඩලයෙහි අඟහරු, බුධ ග්‍රහ යුද්ධයෙන් ඥානකාරක බුධ විජයග්‍රහණය කළත් 09- 10- 11 බොහෝ දුරට ප්‍රචණ්ඩ කුණාටු ආදියෙන් ජන ජීවිතය කෙරෙහි යම් බඳු බලපෑමක් නිර්මාණය වී යාමෙහි දැඩි ප්‍රවණතාවයක් විද්‍යාමාන විය හැකිය.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.