මඟුල් දවසට අසුබ නැකැත් හා ග්‍රහ සංයෝග

නොවැම්බර් 19, 2021

මංගල දිනයේ ඉතාම ප්‍රශස්ත සුබ ධනාත්මක ග්‍රහයෝග සහිත නැකැත් තෝරා ගැනීම අනිවාර්ය වන අතර ඉතාම අසුබ ග්‍රහ හැසිරීම් රටාව අනුව අසුබ ග්‍රහ සංයෝග පහතින් පළකරමු. එවැනි අසුබ ග්‍රහ පිහිටීම් ඇති නම් මධුසමය ඉතාම අසුබ තත්ත්වයට පත්වනු ඇත.

සඳු දුර්වලව හෝ පාප කර්තරීව හෝ පාප පෙනීම් ලබා පාපී සංයෝගීව සිටින අවස්ථාවක මංගල දිනය දෙදෙනාගේම සහ සබඳතාවය සිදු වුවහොත් නිරවුල් අතිශයින්ම සාර්ථක යුග දිවියක් ගෙවීමට නොහැකි බැව් ඡ්‍යොතිෂයේ සඳහන්ව ඇත.

සඳු ශුක්‍ර සමඟ සංයෝගව කුජට සප්තමව සිටී නම් හෝ සඳු සහ කුජ යෝග වී සිකුරුට සප්තම වීම අසුබයි. පැවැත්මට හිංසාවේ. මේෂ වෘශ්චික, මකර, කුම්භ වී එහි සඳු දුර්වලවී සිට හත් වැන්නේ පාපීන් සිටීම සුබ නැත. සඳු පාපියකු සමඟ හෝ පාපීන් කීපදෙනකු සමඟ හෝ පාප කර්තරී සිටියදී මධුසමය ගතකිරීම ඉතාම අසුබයි.

සඳු කටකය වී වෘෂභ නවාංශකය සිටියදී කුජට සප්තම වීම අසුබයි. ඇය අයථා සේවනය හැරේ. සිකුරු කුජ හෝ ශනි භවලෝකයක සිටිනවිටදී ප්‍රථම එක්වීම ඉතාම අසුබයි. සිකුරු කුජගේ නවාංශකයත් කුජ සිකුරු නවාංශකයත් සිටියදී ප්‍රථම එක්වීම සිදුවූවොත් බිරිඳගේ අනාචාරයේ හැසිරීමක පෙළඹේ.

සඳු, ශනි සමඟ 1, 5, 7, 10 සිටීමෙන් එක්වීම අරුචියක් වේ. සඳු කුජ සමඟ එක්වී හෝ කුජට සප්තමව සිටින විට අඹු සැමි එක්වීම හරහා පසුව විවාහය නීරස වේ. විවාහයෙන් පසු ප්‍රථම එක්වන විට දී සඳු, ශුක්‍ර යෝගවීම 3, 4, 5, 7 භවයක සිටීමත් පෙනීමත් වීමෙන් විවාහයට අහිතකර වේ. ශනි කුජ රවි අට වැන්නේ සිටිවිට එක්වීම යුග දිවි පැවැත්මට හානි වේ.

බිරිඳගේ හත අධිපතියා සහ සැමියාගේ හත අධිපතියා සප්තම පෙනීමක් ඇති විට එක්වීමෙන් විවාහ පැවැත්මට අහිතකර වන්නේ ය. ප්‍රථම සම්භෝග වෙලාව තුළදී විෂ කලාව ලිංගික ප්‍රදේශය තුළ පවතින බැව් පෙනේනම් එවැනි කාල පරාසය නොගත යුතුයි. විෂ කලාවන් දෙදෙනාගේම පවතින කාල වේලාවන් මඟ හැර ගැනීමට අවස්ථාව යොදා ගන්න.

මේ අනුව බලන විටදී මඟුල් නැකත් සෑදීම කොතරම් දුෂ්කර බරපතල වැඩක්ද යන්න ඡ්‍යොතිෂ විද්‍යාත්මකව බලන විටදී වැටහේවී. නව සමාජය දෙස විපරම් කර බලන විටදී විවාහ උත්සවයේ දී රූපලාවන්‍ය, ඡායාරූප ගැනීම සහ මත්පැන්වලට රුපියල් ලක්ෂ ගණන් වැය කරන අතර ජීවිතයේ එක් වරක් කරන විවාහයකට මංගල නැකත් සෑදීමේ දී ඡ්‍යොතිෂවේදියා කොතරම් වෙහෙසක් වෑයමක් දරන බැව් පැහැදිලි ය. ඉතාම අපහසුතාවයෙන් යුතුව සුබම මඟුල් නැකැත් සපයා දෙන නැකත් ඇදුරාට ගුරු පඬුරු දෙන විට මුහුණ අවුල් කර ගන්නා අයද සිටින බව නම් නොරහසකි.

හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.