ලෝක පාලක රවි කුම්භයට ලග්න රැසකට සුබ යෝග

ජනවාරි 14, 2022

මේෂ,කටක, තුලා, මකර යන ලග්න හිමියන්ට ශශ යෝගය දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට ජනතාවගෙන්ම ප්‍රතිචාර මහ භාණ්ඩාගාරය තරවෙයි වෙළඳ ව්‍යාපාර සරුවෙයි

 

ශ්‍රී ලංකා කේන්ද්‍රය වූ කුම්භ රාශියට රවිගේ ප්‍රවේශවීම 2022.02.12 වෙනි ශනි දින පැය 53.10 න් සිදුවේ. එතැන් සිට මාර්තු මස 14 වෙනි දින මැදියම් රැය තෙක් එහි ගමන් කරන රවි, කුජ හිමි දෙනට නැකැතේ 3 - 4 පාදත් සියාවස නැකැතේ පාද 4 ත් පුවපුටුප නැකැතේ 1,2,3 පාදත් යන ප්‍රදේශ පසු කරනු ඇත.

 

මේ කාලය තුළ පෙබරවාරි 26 වෙනි දින කුජ මකර රැසට පැමිණ උච්චභාවය ලැබීම පෙබරවාරි 27 සිකුරු මකර රැසට පැමිණීම හා මාර්තු 06 දින බුධ, කුම්භ රාශියට පැමිණීමත් සිදුවේ. රවි. කුම්භ රාශි ගත වන වේලාවේ ශනි හිමි . මකර රාශිය හා බුධ හිමි , මිථුන නවාංශකය උදාව තිබෙන අතර ලග්නයේ බුධ – ශනි සිටී. දෙවැන්නේ රවි, ගුරු, නෙප්චූන් ද සිවුවැන්නේ යුරේනස් ද රාහු 5 වැන්නේද, සඳු 6 වැන්නේ ද කේතු 4 වැන්නේ හා කුජ, ශුක්‍ර, දෙපළ 12 වැන්නේද සිටී. සෙනසුරු උදාව පවතින අතර බ්‍රහස්පති වර්ගෝත්තමව සිටී. සෙනසුරු මකර රැසෙහි සිටීමෙන් “ශශ” නමැති රාජයෝගය පවතින බැවින් මේ කාලය තුළ මේෂ – කටක, තුලා, මකර යන ලග්නවලින් ජනිත වන කුමරා කුමරියන්ගේ කේන්ද්‍රවල මේ යෝගය පිහිටනවා ඇත.

තත්කාල ලග්නයේ සෙනසුරු සිටීම අශුභපල ගෙන දෙන කාරණයක් වුවත් මකර රැසෙහි සිටීම හා උදා බලයෙන් යුක්ත බැවින් පවත්නා තද බල දෝෂ අවම කොට සහන දායක තත්ත්වයක් ළඟාකර දීමට සමත්වේ. එසේම රාජ්‍ය තන්ත්‍රයේ කැබිනට් සංශෝධන ඇති වීමට ද මේ ග්‍රහ තත්ත්වය විද්‍යාමාන වන බවයි කිව හැක්කේ. රවි සමඟ ගුරු ග්‍රහයා ගේ බලය වර්ධනය වන බැවින් මූල්‍යමය තත්වය යහපත් අතට හැරී මහා භාණ්ඩාගාරය වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සමත්වේ.

වෙළහෙළදාම් කටයුතු සමඟම ඉහළ යන වෙළඳපොළ මිල ගණන් පහත හෙළීමටද පුළුවන් වේ. රටේ ජනතාව පත්ව තිබෙන අසහනකාරි බව ක්‍රමයෙන් පහත වැටී යයි. 2021 වසරට වඩා 2022 වසර ජනතාවට හිතකර වන බවද කිව හැක. කාන්තා හා ළමා හිංසනවල අඩුවක් දක්නට නොලැබේ. ඒ සඳහා පාලකයින්ගේ දෙනෙත් යොමුකොට අවශ්‍ය නීති පැනවිය යුතු කාලය එළඹ ඇත. පවතින ග්‍රහචාරය අනුව එය සනාථ වන බව පෙනේ. බොරු ප්‍රචාර කරන්නන්ට හා දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට රටේ ජනතාව විසින්ම ප්‍රතිචාර දක්වනු ඇත.

මේෂ ලග්නය

රවිගේ කුම්භ රාශි ගමන යහපත් වේ. තම පවුලේ කටයුතු වලදී තරමක් පරිස්සම් වන්න. විදේශ ගමන් ඇරඹීමට අදහස් කරන්නේ ඊට යහපත් තත්ත්වයක් ඇතිවේ. ආදායම් මාර්ග හා විදේශ මුදල් ලබාදේ. මා, පුවපල්, උත්‍රපල් නැකත් වලින් හා මුවහිස, අද, පුනාවස නැකත්වලින් ජනිතවූ අසිරි මංගල යෝග.

වෘෂභ

10 වැන්නට රවි පැමිණ දිග් බලයෙන් යුක්තවීම ඉතා ශුභ වේ. ආදායම් මාර්ග සරු වේ. ස්ථාන ලාභ ලැබේ. පදිංචිය වෙනස් විය හැක. ඉවසීමෙන් හා කලබල නොවී ප්‍රඥාවන්තව කටයුතු කළොත් දියුණුව ඇතිවේ.

මිථුන

භාග්‍යස්ථානයට ඉරුගේ පැමිණීම පලදායි වේ. තම අභිමාර්ථ සඵල වේ. විවාහ නොවූ අයට මංගල සීනු හැඩවේ. වාසනාවන්ත පින්වත් දරුවන්ගේ භාග්‍යය ළඟා කෙරේ. හදිසි වාසනා ගෙනේ.

කටක

8 වැන්නට රවි පැමිණේ. තරමක දුෂ්කර ගමනකට ජීවන රටාව වෙනස්වේ. එසේ වුවද විදේශ ධනය ලැබීම ආදායම් තත්ත්වය ඉහළ යාම සිදුවේ.

සිංහ

7 වැන්න වූ කුම්භ රැසට රවි පැමිණීම නරක නැත. සතුරාගේ රාශිය වුවත් රවි යහපත් දිවියකට මං පාදාදෙයි. ප්‍රාර්ථනා යහපත් වූ තරමටම තම දියුණුව ඇතිවේ. ලැබීම් අතින් හොඳයි. පැතුම් ඉටුවේ.

කන්‍යා

6 වැන්නට පැමිණෙන රවි විපරීත රාජයෝග උදාකර දෙන්නේ මේ කාලය තුළ කන්‍යා ලග්නයෙන් ජනිත වන දරුවන්ටය. තම ඥාතීන් අතර ඉස්මතුවන තත්ත්වයක් පෙන්වයි. විවාහ කටයතුවලට බාධා එල්ල වේ.

තුලා

5 වැන්නට පැමිණෙන රවි බාධක ග්‍රහයා වෙයි. එසේ වුවත් ප්‍රසිද්ධිය ඇතිවේ. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. නිවාස ඉදිකිරීමට හොඳම කාලයයි.

වෘශ්චික

ඉවසිලිවන්තව ක්‍රියා නොකළොත් නැති කරදරවලට මුහුණ දිය හැක. ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සිතන්න. දරුවන්ගේ දියුණුව ඇතිවේ. ඉඩකඩම් දේපළ ලාභ අත්වේ.

ධනු

8 වැන්න වික්‍රමස්ථානගතවීම රවි බලය පතුරුවයි. ඒ වුවත් මුදල් වැය වැඩිවේ. පවුලේ කටයුතුවලදී මෛත්‍රියෙන් ක්‍රියා කරන්න. යහපත සැලසේ. අන් අයට උපදෙස් දීමෙන් වළකින්න.

මකර

රවි කුම්භ රාශිගතවන තත්කාල කේන්ද්‍රය මකරයයි. තම අනාගත සිහින සැබෑ කර ගැනීමට සැලසුම් කරන්න. ලාභ සත්කාර ලැබේ. හදිසි ධන ලාභ ගෙන දේ.

කුම්භ

රවි ලග්නයේ මසක පමණ කාලයක් හැසිරේ. මේ කාලය තුළ දුක සැප දෙකම සමව විඳ දරා ගැනීමට සිතන්න. වැඩිපුර ආගමික කටයුතුවල යෙදෙන්න. සිත් තැවුල්ද විය හැක.

මීන

ලග්නාධිපති සමඟ රවි 12 වැන්නේ හැසිරේ. රවි 6 අධිපති බැවින් මේ කාලය තුළ මීනයෙන් ජනිත වන දරුවන්ට විපරීත රාජයෝගය යෙදේ. විදේශ සහසම්බන්ධතා ගොඩ නැඟේ.

 

කලාභූෂණ

කේ.එච්. ධනපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.