හෙට විවාහ වන දූ පුතුන්ට

පෙබරවාරි 25, 2022

 

එදා අපේ ඉපැරැණි ගැමි විවාහ චාරිත්‍ර ක්‍රමවේදයන් අද වන විට වෙනස් වී තිබේ. දෙපක්ෂයේම වැඩිහිටියන්ගේ කතිකාවතක් හරහා උපදේශකත්වය මුල්කොටගෙන සුබ නැකැත් හෝරා තෝරාගෙන විවාහ චාරිත්‍ර විධි පවත්වන ලදී. බුලත්දීම, මඟුල් මඩුවට කණු සිටුවීම, තෙල්වළං ළිපතැබීම, මේසය ඉඳුල් කිරීම, සුබනැකැත් වේලාව මනාල මහතා නෑපිරිස කැටුව නිවසින් හාපුරා කියා පිටත්වීම, පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීම, ආදී අපේ පාරම්පරික සාම්ප්‍රදායික මංගල චාරිත්‍ර ධර්ම ඉතාම සුබ නැකැත් වේලාවන්ට අනුව සිදු කෙරිණි.

මනාල යුවලට මධුසමය ගතකිරීමට ඔවුන් දෙදෙනාට නිවසේ ඇතුළත කාමරයක් සකසනු ඇත. මංගල රැයෙන් පසු පහන් වී ඉර මුදුන් වීමට මත්තෙන් මනාලියගේ මව්පියන් ඇතුළු නෑ පිරිස මනාල මහතාගේ නිවසට සකල වරිගයන් සමඟම දෙවැනි ගමන හෙවත් ඉසදිය ගමනට පිටත්වේ.

එදා පැවැති චාරිත්‍රවලට සුවිශේෂත්වයක් දරන ඉසදිය ගමන ඉතාම වැදගත්වේ. මනාලියගේ පතිවත පිළිබඳව කියැවෙන ගමනකි. සංකේතවලින් මනාව පැහැදිලි වේ. කාලයත් සමඟ අද වෙනස්වෙමින් හෝටල් කලාවට අවතීරණ වී තිබේ. කෑම් බීම් පෝරු චාරිත්‍ර වෙනස් ස්වරූපයක් ගෙන ඇත. නෑහිතවතුන්ට සංග්‍රහ කිරීම බුෆේ ක්‍රමයට සිදුකෙරේ. එය ස්වයං සේවා ක්‍රමවේදයකි. රූපලාවන්‍ය ශිලිපිනියන් සේයා රූප ශිල්පියාගේ වගකීම් අංක එකට වැටී තිබේ. සමහරවිට නැකැත් සෑදීමේදී මෙ අංශ දෙකම මූලිකව නියෝජනය වන අන්දමට කිරීමට පවා සිදුවී ඇති බැව් ප්‍රසිද්ධ රහසකි.

විවාහයකට මංගල නැකැත සෑදීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. ප්‍රවේසමින් කළයුතු වේ. මනාලියගේ කේන්ද්‍රය පිරික්සා බලා විවාහ දිනයේ දී ඇයට ඉදිරිපත් වීමට එදා දවස කායිකව යෝග්‍යවේදැයි බැලීම අනිවාර්ය වන්නේ ය. එය මනාලියගේ මව අතේ තිබෙන ඉතාම සුවිශේෂි ක්‍රියාවක් එය බැව් සනිටුහන් කරමු. සඳු චන්ද්‍රයා ශුක්ල පසෙහි සිටි කල්හි රෙහෙණ, මා, මුවසිරස, උත්‍රපල්, හත, සා, අනුර, මුල, උත්‍රසල, උත්‍රපුටුප, රේවතී යන නැකත් සීහුම් තිබේ. දෙපෝය, අටවක රික්තා විෂ්ඨි යන දෝෂ සහිත තිථින්ද රවි, චන්ද්‍ර, කුජ, ශනි ග්‍රහයින්ගේ හෝරා දේෂ්කාන අංශකාදිය ද ගැළපීම් රහිතයි. විෂ්ඨි හැර අන්‍යකරණයන් ද අපරාර්ධයෙන් මිථුන, කන්‍යා, තුලා යන රාශින් සුබ වේ. 6, 8, 12 ගිය බුධ ගුරු සිකුරු යන ග්‍රහයෝ අටට ගිය කුජ සත්වැන්නට ගිය සියලුම ග්‍රහයින් විවාහය අවුල් සහගත තත්ත්වයට පත් කරයි.

මේ ග්‍රහයින්ගේ හැසිරීම් හරහා මේ ස්ථානගතව සිටී නම් නැකැත් සැකසිය යුතු නොවේ. විවාහ ලග්නයෙන් 2, 12, 8, 9, 7 රවි සිටිය යුතු නැත. සඳු 2, 3, 11 සුබව සිටීම. අද විවාහයට නැකැත් සෑදීමට ඡ්‍යොතිෂවේදියකුට සිදුවී ඇත්තේ හෝටලයේ ඉඩ ඇති වේලාවන් අනුවය. ශනි හා රිවි දිනයන්හි ද විවාහයට සුදුසු දැයි සේවාදායකයන් විමසන්නේ හෝටල් තදබදය නිසාය. පෝරු චාරිත්‍රයට මිනිත්තු 20ක් දෙන ලෙස කරන තවත් ඉල්ලීමකි. වසර තිස් ගණනක් ජීවිතයේ පසුකළත් පෝරුවේ චාරිත්‍රයට මිනිත්තු 20ක් හෝ 30ක් යොදා ගැනීම යත්න දරන්නේ ඇයිද ප්‍රශ්නයකි.

යුගදිවියට පාත්‍රවන මොහොතේ දී ඉතාම සුබ දිනක සුබම නැකැත් හෝරා තෝරා ගැනීම යුග ජීවිතයට අතිශයින්ම වැදගත් වේ. ඡායාරූප ඇල්බමයට සුවිශේෂත්වයක් ද හිමි වී තිබීම වැදගත් වූවත් සමහර විට එම ඇල්බමය සකස් කර මනාල යුවල අතට පත් කරන්නටත් මත්තෙන් දෙන්නා දෙපැත්තට වන අවස්ථා දැන් දැන් ක්‍රමයෙන් සිදුවෙමින් පවතී.

ඉතාම සුබ නැකැත් හරහා විවාහයක් සිදු වන්නේ නම් දෙදෙනාටම ආයු වර්ණ, සැප, බල, ප්‍රඥා® යන, පංච මහා සම්පත්තියෙන් යුක්ත දාරක සම්පත් ලබාගත හැකිබැව් පරම සත්‍යයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.