අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

අප්‍රේල් 8, 2022

 

 

නව සඳ බැලීමට

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 03 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.

 

පරණ අවුරුද්ද සඳහා ස්නානයට

අපේ‍්‍රල් මස 13 වැනි බදාදා දින කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වැනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 14 වන බ්‍රහස්පතින්දා (බ්‍රහස්පතින්දාට එළිවෙන පාන්දර) පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 02.17ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අපේ‍්‍රල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද උඳුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපේ‍්‍රල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අපේ‍්‍රල් මස 17 වෙනි ඉරිදා දින පූර්ව භාග 07.04 ට දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල්පත් යුෂ මිශ්‍රනානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අපේ‍්‍රල් මස 18 වන සඳුදා පූර්ව භාග 06.51 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභවකර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීමට

අපේ‍්‍රල් මස 18 වන සඳුදා දින පූර්ව භාග 11.16ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

නානු සෑදීමට ගන්නා ඖෂධ

කළාඳුරු අල,කුම්කුමප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය. නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන, තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳ ගන්න. ඉන් පසු ඉඹුල් පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසුදු රෙද්දකින් පෙරා ගන්න. එවිට ලැබෙන දියරය නානුය.

හිසතෙල් සඳහා තෙල් වර්ග

මෙලෙස සාදාගත් නානු ද, තෙල් ද, (තල තෙල් , මී තෙල්,අබ තෙල්, කොහොඹ තෙල් සහ එඬරු තෙල් යන පස් තෙල් ද) ගා ස්නානය කරනු මැනවි. (හිසතෙල් ගෑමේ නානු හා තෙල් වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලදී)

 

 

 

සැ.යු.

ඉහත නැකැත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.