දරුපල ඇද්ද? කේන්දරයෙන් බලා ගන්නේ මෙහෙමයි

අප්‍රේල් 22, 2022

මීට දශක හත අටකට එහාට දිවෙන අතීතයේ දී මෙරට සෑම පවුලකටම දරුවෝ 5 දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සිටියහ. නමුත් වර්තමානයේ දී ජීවන වියදම ඉහළ යෑම ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනයවීම යන කාරණා හේතු කොට ගෙන වර්තමාන සමාජයේ පවුලකට සිටින දරුවන් සංඛ්‍යාව දෙදෙනකුට හෝ තුන්දෙනකුට පමණක් සීමාවී ඇත.

අප මාතෘකාවට අනුව ලග්න කේන්දරයක දරුපල විමසීම සඳහා පරීක්ෂා කර බැලිය යුතු ප්‍රධාන භාවය වන්නේ පස් වැන්න සහ එහි අධිපතියාය. ඒ හැර පුත්‍ර කාරක ගුරු ග්‍රහයා පිළිබඳව ද දරුපල පරීක්ෂා කිරීමේ දී විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතු ය.

ඒ අනුව ලග්න කේන්දරයක පස් වැන්නෙහි ශුභ ග්‍රහයන් පතිතව සිටිය දී හෝ පස් වැන්න ශුභ ග්‍රහයන් ගේ දෘෂ්ටියට ලක්ව සිටිය දී පස් වැන්නාධිපති කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ ස්ථානයක බලවත්ව සිටියි නම් සහ පුත්‍ර කාරක ගුරු ද ශුභ භාව ගතව බලවත්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියාට දරුවන් ලැබෙන්නේය. මෙහිදී පස් වැන්නට 2, 11 යන ග්‍රහයන් ගේ දෘෂ්ටියක් වෙතොත් හෝ 2 වැන්නාධිපති හෝ 11 වැන්නාධිපති යන ග්‍රහයෙක් 5 වැන්නෙහි වෙතොත් සහ 5 වැන්න හෝ 5 වැන්නාධිපති තැන්පත් රැස, කටක, වෘශ්චික, මීන වැනි ඵලදායි රැසක් වී නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියාට හෝ හිමිකාරියට බොහෝ දරුවන් ලැබේ.

මෙකී 5 වැන්න 5 අධිපති තැන්පත් රාශිය පුත්‍ර කාරක ගුරු තැන්පත් රාශිය වෘෂභ, තුලා, ධනු, මකර, කුම්භ යන රැසක් වී නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියාට හෝ හිමිකාරියට ලැබෙන්නේ සීමිත දරුවන් සංඛ්‍යාවකි. එනම් තුන් දෙනකුට නොවැඩි දරුවන් සංඛ්‍යාවකි. ලග්න කේන්දරයේ 2, 11 හෝ කේන්ද්‍ර, ත්‍රිකෝණ යන භාවයක තැන්පත් 5 වැන්නාධිපතිට ලග්නයට යෝග කාරක ග්‍රහයන්ගේ බලවත් දෘෂ්ටියක් වෙතොත් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියන්ට විවිධ දේට දක්ෂකම් ඇති රට තොට නම පතල වන දරුවන් ලැබෙයි. 5 වැන්නට හෝ ශුභ භාව ගත 5 අධිපතිට බලවත් ගුරු, බුධ යන ග්‍රහයන් ගේ දෘෂ්ටියක් වෙත් නම් හෝ මෙකී බුධ, ගුරු යන ග්‍රහ යුවළ 5 වැන්නේ පතිත ව ඇත්නම් හෝ 5 අධිපති සමඟ සංයෝගව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ට ඉගෙනීමට දක්ෂ, බුද්ධිමත් දරුවන් ලැබෙයි.

වෛද්‍ය විද්‍යාව දියුණු මේ යුගයේ අතැම් ජන්මීන්ට මැදිවිය ආසන්නයේ දී හෝ මැදිවයසේ දී දරුවන් ලැබෙයි. එවැනි ජන්මීන් බොහෝ දෙනකුගේ කේන්දරවල 5 වැන්නේ ශුභ ග්‍රහයන් පතිතව සිටිය දී 5 අධිපති 6, 8, 12 යන දෘෂ්ටි භාව ගතව පාප පීඩිත නොවී සිටිය දී ගුරු ග්‍රහයා ලග්න නවාංශක, සප්තාංශක කේන්දරවල ශුභ භාව ගත බලවත් සිටීම බොහෝ වර අත් දකින්නට ලැබෙන ග්‍රහ බලයක් වන්නේය.

එමෙන්ම ලග්න කේන්දරයක 5 වැන්නෙහි කුජ, රවි, රාහු යන ග්‍රහයන් ගෙන් වැඩි දෙනෙක් පතිතව සිටිය දී 5 වැන්නාධිපති කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ 2,11 යන භාවයක බලවත් පාප පීඩිත නොවී සිටියදී, පුත්‍රකාරක ගුරු ග්‍රහයා ද 2, 11 හෝ කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක බලවත්ව සිටියි නම් එවන් ග්‍රහ බලයක් ඇති කාන්තාවන් ගේ ගර්භාෂයේ ඇති අධික උෂ්ණත්වය හෝ අම්ල ගතිය නිසා ගබ්සා වන නමුත් වෛද්‍ය ප්‍රතිකාරක මඟින් එකී රෝගී තත්ත්වය සුව කොට දරුවන් ලැබිය හැකිය. ඒ අනුව මෙකී ග්‍රහ පිහිටීම් ඇති කාන්තාවන්ට දරුවන් ලැබුණ ද එම දරුවන් බොහෝ දඩබ්බර, අකීකරු ඉගෙනීමට මැළිකමක් දක්වන දෙමාපියන්ට අකීකරුවන හිතුවක්කාර නොමඟ යන දරුවෝ වෙති.

ලග්න කේන්දරයක 5 වැන්නාධිපති කේන්ද්‍ර ත්‍රිකෝණ ස්ථානයක හෝ 2, 11 යන ධන භාවයක මිත්‍ර ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණාධි බලයකින් යුතුව සිටියදී, එකී පහ අධිපති 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතියන් වැඩි දෙනකුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව ඇත්නම් සහ පුත්‍රකාරක ගුරු ග්‍රහයා ද දුර්වලව ඇති විටදී පස් වැන්න පාපපීඩිත නොවීම නිසා, දරුවන් ලැබෙන නමුත් එම දරුවන්, විවිධ බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින හෝ අංග විකලතා ඇති දරුවෝ වෙති.

එමෙන්ම, පස් වැන්න මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රැසක් වී එහි සඳු, සිකුරු, ගුරු යන ග්‍රහයන් තිදෙනාම හෝ දෙදෙනෙක් යෙදුණු විට එවන් ග්‍රහ බලයක් ඇති ස්ත්‍රීන් හට පින්වත් නිවුන් දරුවන් ලැබෙන්නීය.

ලග්නාධිපති පස් වැන්නාධිපති, ලග්නාධිපති නව වැන්නාධිපති අතර ඇති වන පරිවර්තන යෝගවලදී, පස් වැන්නාධිපතිට බලවත් ගුරුගේ දෘෂ්ටියක් වෙතොත් එවැනි ග්‍රහ බලයක් ඇති කාන්තාවන්ට පින්වත් ගුණයහපත් දරුවන් ලැබෙයි.

ලග්න කේන්දරයක පස් වැන්නාධිපතියා 6, 8, 12 යන දුෂ්ට භාවයක පතිතව සිටිය දී එකී දුෂ්ට ත්‍රිකයන්ට අධිපති ග්‍රහයන් වැඩි දෙනෙක් පස් වැන්නේ පතිතව සිටියදී පුත්‍ර කාරක ගුරු ග්‍රහයා 3, 6, 8, 12 යන භාවයක නීච, සතුරු අස්ත යනාදී වශයෙන් දුර්වල පාප පීඩිතව ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට දරුවන් නොලැබේ.

කේන්දරයක පස් වැන්න නීච, සතුරු, අස්ත බවට පත් රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපීන් වැඩි දෙනෙක් ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇති විටක දී පස් වැන්නාධිපති ලග්න කේන්දරයේ 6, 8, 12 යන දුෂ්ට ස්ථානාධිපතියන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ගෙන් පීඩාවී ඇතිවිට දී පුත්‍රකාරක ගුරු ග්‍රහයා ලග්න නවාංශක, සප්තාංශක කේන්දරවල නීච, සතුරු අස්ත යනාදී වශයෙන් දුර්වලට පාප පීඩිතව ඇත්නම් එවැනි ග්‍රහ බලයක් ඇති. කාන්තාවන්ට ද දරුවන් නොලැබෙයි.

එමෙන්ම ලග්න කේන්දරයක 5 වැන්නත්, එහි අධිපති සඳුත්, ලග්නාධිපතිත් දුර්වලව පාප පීඩිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කාන්තාවන්ට ද ගර්භාෂයේ හට ගන්නා දෝෂ හේතුකොට ගෙන දරුවෝ නොලබති.

ලග්න කේන්දරයක පස් වැන්නෙහි කෙතරම් පාප ග්‍රහයන් සිටියත් පස් වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පාප පීඩිතව ඇතත් පුත්‍රකාරක බ්‍රහස්පති ග්‍රහයා ලග්න නවාංශක, සප්තාංශක (දරුපල පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා වර්ග කේන්දරයක්) යන කේන්දර සටහන්වල ගුරු ග්‍රහයාට ශුභ භාව ගතව මිත්‍ර ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ උච්චව යනාදී බලයකින් සිටිත් නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියන්ට දරු ලාබ හිමිකරයි.

ලග්න කේන්දරයට අනුව ලැබී ඇති දරුවන්ගේ තොරතුරු පැවසිය හැකිය.

ඡ්‍යොතිෂවේදී,

උදම් පෙරේරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.