මේෂ ලග්නහිමි ඔබ‍ගේ ගතිගුණ

ජූලි 15, 2022

රාශි චක්‍රයේ ලග්න දොළොසක් වන අතර මෙලොව ඉපදුන හැම අයෙකුටම ලග්නයක් හිමිවෙයි. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්‍රහ තාරකාව එම අයගේ ලග්නය වශයෙන් හඳුන්වයි. දළ වශයෙන් එක ලග්නයක් පැය දෙකක පමණ කාලයක් උදාවෙමින් පවතී. ඒ අනුව පැය විසිහතරට ලග්න දොළහක් උදාවේ. එම ලග්නය අනුව බලපාන එම ජන්මියාගේ ජීවිත තොරතුරු හා චරිත ලක්ෂණ කෙසේදැයි දැන් විමසා බලමු.

රාශි චක්‍රයේ මුල්ම රාශිය මේෂ රාශියයි. ග්‍රහ මණ්ඩලයේ අඟහරු ග්‍රහයාට හිමිවන මේෂ රාශිය සංකේතවත් කරන්නේ එළුවෙකුගේ ස්වභාවයයි. විෂම චර පුරුෂ රාශියක් වන මේෂ රාශිය තුළ අස්විද නැකත, බෙරණ නැකත, කැති නැකතත් එක පාදයකුත් හිමිවේ. වේගවත් බවින් අධික සටන්කාමි බවෙන් යුතු තරුණකම නියෝජනය කරන අඟහරු හිමි මේෂ රාශියෙන් උපත ලැබූ අය බොහෝවිට සාමාන්‍ය මධ්‍ය ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියයි. දික්වූ මුහුණක් හා ගෙලක් හිමිවන අතර යහපත් අංග සම්පූර්ණ අඟපසගින් යුක්තය. කඩිසර මෙන්ම ක්‍රියාශීලිබව පැහැදිලිව දැකිය හැකිය. ගමන් කිරීමේ දී හිස කෙළින් තබාගෙන යෑම කැපී පෙනෙන ලක්ෂණයකි. නිතරම සටන්කාමිත්වයට බර මොවුහු හැම අවස්ථාවකදීම මූලිකත්වය ලබා ගැනීමට කැමැත්තක් දක්වති. හැමවිටම තමන්ගේ මතය අනුවම ක්‍රියාකිරීමට පෙළඹෙයි. තවත් කෙනෙකුට යටත්වීමට හෝ ඔවුන්ගේ මතයට එකඟවීමට මැළිකමක් දක්වයි.

මේෂ ලග්නයෙන් උපන් අය සමඟ තර්ක විතර්ක කිරීම, වාද විවාදවලට යෑම සුබදායක නොවේ. මන්ද යත් එයින් ඔහුට පරාජය ලැබුවත් දබරකර ගැනීමෙන් හෝ එතනින් ජය ලබා ගැනීමට ඔවුන් පෙළඹෙන බැවිනි. කිසිම කාර්යයක් ඔවුන් සුළුවෙන් කිරීමට කැමති නැත. හදිසි තීරණ ගැනීමට පෙළඹෙන අය වෙති. හදිසියේම ගන්නා තීරණවලින් බොහෝවිට පාඩු සිදුකර ගනී. කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් බැවින් මේෂයෙන් උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. කීර්ති ප්‍රසංසා ලැබීමට ඇති කැමැත්තත්, පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත්, ඉදිරියට යන ගතියත් නිසා හැමවිටම ජය හා ප්‍රසිද්ධිය ලබයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියකනම් තමාගේ ස්වාමිපුරුෂයාට හෝ හැර අන් කිසිම අයෙකුට යටත්, පහත්වීමට කැමැති නැත. යුද හමුදා නිලධාරීන්, දේශපාලන නායකයන්, කාර්මික ශිල්පීන්, රසායන විද්‍යාඥයින්, විදුහල්පතීන්, වෛද්‍යවරුන් බොහෝවිට මේෂ ලග්නයෙන් ඉපදී ඇත.

මේෂ ලග්න හිමියෝ් වියළි කඳුකර ස්ථානවලට බෙහෙවින් කැමැති වෙති. ගිනි, විදුලිය ඉන්ධනවලට සම්බන්ධ රැකියා මේෂ ලග්න හිමියන්ට උරුම වේ. පොළොව ආශි‍්‍රතව කරන කටයුතුවලින්, යන්ත්‍ර සූත්‍ර ආශි‍්‍රතව කරන කටයුතුවලින්ද වඩාත් ලාභ ප්‍රයෝජන ලැබීමට භාග්‍ය ඇත. ස්වකීය උත්සාහයෙන් කෙසේ හෝ උසස් තත්ත්වයකට ඒමට ඉලක්ක කර ගැනීම මෙම ලග්න හිමියන්ගේ ලක්ෂණයකි. වහා අවබෝධවන තීක්ෂණ බුද්ධියක් ඔවුනට හිමිය. මේෂය චර රාශියක් බැවින් සිතේ චංචල බවක් ඇති කරයි. එහෙත් ගිනි රාශියක් බැවින් යමක් කරගෙන යාමට සිතා ගත හොත් එය කෙසේ හෝ කරගෙන යයි. සිත තුළ ඇති දැඩි චංචල ගතිය පිටතට නොපෙන්වයි. තමාට කෙනෙක් පක්ෂපාති නම් ඔහුට ඉතාමත් හිතවත් වෙයි. විරුද්ධනම් කෙසේ හෝ ඔහු යටත්කර ගැනීමට සිතයි. මේෂ රාශිය හිමි කුජ තරුණ බැවින් ද, තද කාමයට ආශා ඇත්තකු බැවින් ද කොයි කාට යටත් නූනත් තම විවාහ සහකරුට හෝ සහකාරියට යටහත් බවක් පෙන්වයි. ඇය හෝ ඔහුගේ අදහස්වලට වඩා සැලකිලිමත් වෙයි. තමා ගැනත් තම කරන දේවල් ගැනත් හැම දේකටම වඩා සිතයි. භයානක දේවල්වලට පවා නිර්භයව ඉදිරිපත්වීම ඔවුන්ගේ ලක්ෂණයකි. ආරක්ෂක අංශයේ රැකියාවලට ද මොවුන් වඩාත් ගැළපේ. නිතර කෑම බීමවලට පි‍්‍රය කරන ඔවුන් ලස්සනට ඇඳීමට, පැලඳීමට හා දුර ගමන්වලට ද ළැදිකමක් දක්වති.

නොඉවසිලිමත් බව, සාමයට ගරු නොකිරීම මොවුන් තුළ ඇති දුර්වලකමකි. ලෝකයේ ප්‍රබල සටන්කාමීන්, දක්ෂ ක්‍රීඩකයින්, වැඩි දෙනෙකු ඉපදී ඇත්තේ ද මේෂ රාශියෙනි. රාශි චක්‍රය පටන් ගන්නේ මේෂ රාශියෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මේෂ ලග්නයෙන් උපන් අයට තුලා, මකර, කුම්භ ලග්න හිමියන් ඇසුරට වඩා යෝග්‍ය වෙයි. විවාහයේදී මෙම ලග්න වලින් උපන් සහකරුවෙකු හෝ සහකාරියක හිමි වුව හොත් විවාහ ජීවිතය වඩාත් සාර්ථක වේ. මේෂ ලග්න හිමියන්ට වෘශ්චික, මීන ලග්න හිමියන් කිසිසේත්ම නොගැළපේ. විවාහයේ දී ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකිය. ඔවුනොවුන් හැමවිටම නුරුස්සන ගතියක් පෙන්නුම් කෙරේ. විශාල ව්‍යාපාර පවත්වාගෙන යාමට, ආයතන පාලනය කිරීමට මේෂ ලග්න හිමියන් දක්ෂය.

මේෂ ලග්නයෙන් උපන් අයට නිතර නිතර ශරීරයේ ඌෂ්ණ රෝග ඇති කරයි. තේජෝ ගුණය වැඩිවීම බොහෝ ඌෂ්ණ රෝගවලට හේතුවෙයි. මේෂ ලග්න හිමියන්ට වැලඳෙන රෝග අතර, ඇඟපත දැවිල්ල, හිසරදය, හිසකෙස් යෑම, මොළයේ පීඩා ක්ලාන්තය, සිහිනැතිවීම, රත්පිත් රෝග, ලේවල සීනි අඩුවීම ආදී රෝග වේ. ශනි, බුධ, සිකුරු ග්‍රහයෝ මේෂ ලග්න හිමියන්ට අසුබ පල උදා කරයි. රවි හා ගුරු නිතරම සුබපල උදාකරන ග්‍රහයෝ වෙති. ගුරු, ශනි යෝගය මේෂ ලග්න හිමියන්ට එතරම් ශුභදායක නොවේ. මේෂ ලග්නයෙන් උපන් අයට මාරක ග්‍රහයා වනුයේ සිකුරු ය. සිකුරු දශා අනු දශා කාලවලදී ඔවුනට විවිධ බාධකවලට මුහුණපෑමට සිදුවේ. දුර්වල ග්‍රහ ගමනක යෙදෙන කාලවලදී මරණය පවා ගෙනදෙයි.

මේෂ ලග්න හිමියන්ගේ අටවැන්නේ බුධ, කුජ, ශනි නම් වඩා සැලකිලිමත් විය යුතුය. මෙසේ වූ විට මෙම ග්‍රහයන්ගේ දශා කාලය තුළදී හදිසි අනතුරුවලින් දිවි හානිවීමට පුළුවන. මේෂ ලග්න හිමියන් බොහෝ විට රිය අනතුරු, විදුලි අනතුරු, බෝම්බ පිපිරීම් ආදියෙන් අනතුරු පෙන්නුම් කරයි. මේෂ ලග්නයෙන් උපන් අයට ශනි, බුධ, සිකුරු දශා අනුදශා තුළ දී අධිකව ශුභපල උදාකරයි.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.