අපල දුරුකර සැපත සලසන අධියෝගය

ජූලි 22, 2022

දෛවඥ මහත්මයකු ඇතැම් කෙනෙකුගේ හඳහනක් පරික්ෂාකර බලා “මෙම හඳහන හිමි අයට මේ ගත වන දශා කාලය තද අපලයි. කොයි එකටත් පරිස්සමෙන් කටයුතු කළොත් හොඳයි, යනුවෙන් දෛවඥ උපදෙස් දෙනු ලබන අවස්ථා මෙම ලිපිය කියවන ඔබට සමහරවිට අසන්නට ලැබී ඇතිවාට කිසිම සැකයක් නැත. ඉතින් ඒ අන්දමට අනතුරු හැඟවීමක් කරපු ආකාරයෙන්ම ඇතැම් ජන්මීන් හට අපල සිදු නොවේ. කොටින්ම නරක දශාවලදී සුබ පල ගෙන දුන් අවස්ථා ද කොතෙකුත් තිබේ. මෙසේ වන්නට නම් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්වල කිසියම් ආකාරයක ගුප්තමය බලවේගයක් තිබිය යුතුමය. එසේ වන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු.

කිසියම් ජන්ම පත්‍රයක, එම ජන්ම පත්‍රයේ සඳු පිහිටා සිටි රාශියෙන් අට වැන්නේ බුධ,ගුරු, සිකුරු යන සෞම්‍ය ග්‍රහයින් පිහිටා සිටි විට අධියෝගය යෙදේ.

එබඳු ග්‍රහචාරයක් යෙදුන හඳහනක් හිමි ජන්මියකුට නරක දශා කාලයකදී වුවද එහෙමටම අපල සිදු නොවන්නේ එබැවිනි.

කෙසේ වුවද අධියෝගය යෙදී ඇති ජන්මියකු තුළ විද්‍යමාන විය හැකි කරුණු පිළිබඳව විමසා බලමු.

සඳු පිහිටා තිබූ රාශියෙන් හය වෙනි භාවයේ මිත්‍ර රාශි ගතව හෝ අඩු තරමින් සමව හෝ සිකුරු සිටින්නේ නම් ඒ අය කලාකාමි ගති පිහිටි නිහතමානී ගුණයෙන් අනූන සමාජයෙන් පවා උදව් ලබා ගත හැකි කෙනකු වෙයි. විශේෂයෙන්ම සිකුරු හෝ සඳුගේ දශාවකදී ශුභ ඵල උදාකරයි.

තවද සඳු පිහිටි තැනින් 7 වෙනි භාව ගතව සිකුරු පිහිටි විට එම ජන්මියාට සකල විධ සම්පත් ලබාදෙයි. ජන්මියා ව්‍යාපාරිකයකු නම් ඒ තුළින් ගෙය දොර වතු පිටි, යාන වාහන ආදී ධන සම්පත් ගෙන දෙයි. එමෙන්ම සඳුගෙන් 8 වෙනි භාවයේ සිකුරු පිහිටා සිටි විට ගුප්තමය අයුරින් ධනය ලබාදෙයි. ස්වීප් ජය හෝ භූමි වස්තු ලබා දීමට හිමිකම් ඇති කරයි.

සඳුගෙන් 6 වැනි භාව ගතව බුධ පිහිටා සිටි විට පිරිස් බලය වර්ධනය කෙරේ. එමෙන්ම දැනුම බුද්ධිය ද ඇති කරනු ලබයි. පත පොත ආදි කටයුතුවලට ද යහපත් වෙයි. එහෙත් බුධ ගෝචරයෙන් 6 වැන්නේ නීචව ගමන් කරන විටක සෞම්‍ය තත්ත්ව තරමක් දුර්වල කරයි.

සඳු පිහිටා තිබූ තැනින් 7 වැනි භාව ගතව බුධ පිහිටා සිටි විට යුග දිවියේ විටින් විට හැල හැප්පිලි ඇති විය හැකි වුවද තම ඥාතියකුගේ දේපළවලින් දියුණුව ඇති කෙරේ. සඳුගෙන් 8 වැන්නේ බුධ පිහිටි ජන්මියාට කලා ශිල්පි කටයුතු සම්බන්ධයෙන් උසස් නිර්මාණ ශක්තියක් ලබාදෙයි. තවද ගමට රටට වැඩදායක සමාජශීලි පුද්ගලයකු ද වෙයි. එමෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතුවලට යහපත් පිහිටීමක් ඇති කෙරේ. විශේෂයෙන් මැණික් හෝ රන් භාණ්ඩ ව්‍යාපාරික කටයුතුවලට යහපත් වේ. සිකුරු ග්‍රහයා සමඟ බුධ ග්‍රහයා සිටිවිට ඉන් උපරිම පල නෙළා ගැනීමට පුළුවන්කම ඇතිවේ.

සඳු පිහිටා තිබූ තැනින් 6 වැන්නේ ගුරු පිහිටීම යහපත් යෝගයක් වේ. එසේ පිහිටි පුද්ගලයා පිනට දහමට කැමැති යහපත් කෙනෙකු වෙයි. උපේක්ෂා සහගතය. සතුරන් අභිභවා ජීවිත සටන ජය ගනී. තවද විශාල ගෘහයක වාසය කිරීමට තරම් පෙර පින් ඇති පාරම්පරික දේපළවලට උරුමකම් ද ඇති කෙරේ. ආත්ම ගෞරවය සුරකියි.

සඳුගෙන් 7 වෙනි භාවයේ ගුරු ග්‍රහයා පිහිටි ජන්මියා ලෝකෝත්තර පැත්තට වැඩි නැඹුරුවක් ඇති කෙනෙකි. ඉගෙනීමෙන් ද දියුණුව ලබා යහපත් අනාගතයකට අවතීරණය වෙන කෙනෙකු වෙයි. බොහෝවිට අනුන් පාලනය කරන පුද්ගලයකු වෙයි.

සඳුගෙන් 8 වැන්නේ ගුරු, බුධ දෙදෙනා පිහිටි අය පිරිස් බලය අතින් වඩාත් ඉදිරියෙන් සිටියි. දේශපාලනයට ද යෝග්‍ය පිහිටීමකි. ඉවසීමෙන් කටයුතු කරන මෙම ජන්මියා කෙසේ හෝ උසස් යුගදිවියකට ද හිමිකම් උදා කර ගනී. අදාළ දශා හෝ අන්තර් දශාවලදී අපල දුරු කොට නීරෝගි සුවය අත්පත් කර ගනියි.

මෙසේ බලන කල යම් ජන්මියකු හට ඒරාෂ්ටක අපල තිබුණ ද එම අපල නිරාවරණය කොට ශුභ පල ගෙන දීමට තරම් බලයක් අධියෝගය පිහිටා තිබෙන ජන්ම පත්‍රයක ඇති බව පෙනේ.

 

ඉත්තෑකන්දේ ගාමිණී එදිරිසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.