ගැබිනි කතුන් ආරක්ෂා කරන රිද්දියාගයේ උපත

අගෝස්තු 5, 2022

මිනිසා අනේක විධ කායික රෝග නිසා මෙන්ම මානසික රෝගයනට භාජනය වන්නෙකි. මේ රෝග නිවාරණය කර ගැනීම සඳහා ආයුර්වේදය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය සහ තවත් ක්‍රම උපයෝගි කර ගනියි. මානසික රෝග සඳහා ද පිළියම් අවශ්‍යය.

ශාන්ති කර්ම තුළින් සිත් සතුටු කොට සිතට ශාන්තිය ගෙන දෙමින් රෝග නිවාරණය බලය ගෙන දෙයි. එබඳු විවිධ ශාන්ති කර්ම තුළින් මනස ශක්තිමත් කොට සැහැල්ලුව ජීවත්වීමට අවශ්‍ය කරුණු සිදුවේ. අපේ රටේ මෙබඳු ශාන්තිකර්ම රාශියක් වෙයි. සන්නියකුම, රට යකුම, කොහොඹා කංකාරිය, පත්තිනි පූජා, යන්ත්‍ර, මන්ත්‍ර, මැණික් පැලඳීම්, දෙහි කැපීම්, සෙත්කවි ආදී වශයෙන් බොහෝ සඳහන් කළ හැකි වෙයි.

විවාහප්‍රාප්ත වන කාගේත් අපේක්ෂාව දරු සම්පත් ය. පිරිමියාගේ දොසකින් හෝ වේවා, දරුසම්පත් නොලබයි නම් බෙහෙවින්ම දෝෂාරෝපණයට ලක්වන්නේ ගැහැනියයි. “ඒකි මහ වඳ එකියක්. පේන්නෙ නැද්ද මුහුණෙ හැටි. මහ මූසලී. මට නම් දකින්නවත් අපි‍්‍රයයි. දැන් අවුරුදු කීයක් පහුවුණාද? මම බලන් ඉන්නෙ මැරෙන්න ඉස්සරවෙලා මුණුපුරෙකුගෙ මිනිපිරියකගෙ හරි මුහුණ පොඩ්ඩ බලන්න ඉඳල ඉඳල උඹට හම්බවුණේ වඳ එකියක්නෙ. කරුමෙ කරුමෙ” මේ ආදී ලෙස නැන්දම්මාගේ දෝෂාරෝපණයට ලක්වන ඇයට කරකියා ගත හැකි දෙයක් නැත.

මෙබඳු දරු සම්පත් නොමැති ස්ත්‍රින්ට දරු සම්පතක් ලබා ගැනීමට විවිධ වෛද්‍යවරු හමුවෙති. කෙම් ක්‍රම කරති. භාරහාර වෙති. මේ සියලු කරුණු කාරණා අතර වඳ කාන්තාවන්ට දරු සම්පත් ලබාගැනීම සඳහා රට යකුම හෙවත් රිද්දි යාගය නම් වූ ශාන්ති කර්මය ඉතා ප්‍රබල සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ශාන්ති කර්මයක් සේ, ජනතාව අතර විශ්වාසය පවතී.

එසේම රටයකුම යාගය හෙවත් රිද්දි යාගය පිළිසිඳ ගත් දරුවාට කිසිඳු උපද්‍රවයක්, අනතුරක් නොවන සේ දරු ගැබ ආරක්ෂා කර දීමද, ගර්භිණි කාන්තාවට උපද්‍රව, රෝග අනතුරු නොවන සේ ඇයගේ සියලු ආරක්ෂාව, රැකවරණය දීමද, ප්‍රසූතියේ දී දරුවා විනාශයට පත්වීම වළක්වාලීමට ද ආදී වශයෙන් මව හා දරුවා සම්බන්ධයෙන් සෑම ආකාරයෙන්ම පිහිට ලබාදෙනු ලබයි.

දරු සම්පත් නැති කාන්තාවන් උදෙසා සිදුකරන රිද්දි යාගය පහතරට ප්‍රදේශයේ ඉතා වැදගත් කළ යුත්තක්ම සේ සලකති. දරුවා කුස පිළිසිඳ ගත් පසු දරුවා රිද්දි බිසෝවරුන්ට භාර කරයි. රිද්දි බිසෝවරු දරුවා හා මව මැනවින් ආරක්ෂා කරන බවත් රිද්දි බිසෝවරුනට ඒ සම්බන්ධව පුද පූජා පැවත්වීමත් මෙහි වෙයි. කාන්තාවන් උදෙසාම පවත්වන ශාන්ති කර්මයකි මේ. මෙහි කියැවෙන රිද්දි බිසෝවරු කවරහුද? ඔවුන්ගේ උපත කෙසේ වීද? රිද්දි යාග ශාන්ති කර්මයේ දී ගායනා කරනු ලබන කාව්‍යයන්හි රිද්දි බිසෝවරුන්ගේ උපත පිළිබඳ තොරතුරු අපූරුවට දැක්වේ.

මහා මේරු පර්වතය අති විශාලය. මෙහි එක් මුදුනක කූට හත බැගින් කූට මුදුන් හතක් විය. මුළුමනින්ම රත්රන්වලින් පිරුණු කූටයක් වූ අතර එයට රන්ගිරි කුටය යන නම ලැබිණ. එක් අවස්ථාවක ගිනි ජාලාවකක් ලෙසින් පුපුරා ගියේ ය. එහිදී විසිරී ගිය ගිනි පුපුරු හතක අමුතුම විශේෂයක්, දීප්තියක් දක්නට වූ අතර ක්ෂණයකින් ඒ හතෙන් සුරූපි කාන්තාවන් හත්දෙනෙක් පහළ විය. රන්ගිර කූටයේ දීප්තිමත් ආලෝකයක් අමුතු ප්‍රභාවත් පෙන්වූ ගිනි පුපුරු හතෙන් උපන් මෙම කාන්තාවන් හත් දෙනා මුදුන් මාල, ධර්ම පාල, ගිරිවේකල, ඕංකරා, එර්දි, රඵකපාල, කොණ්ඩමාල යන නම්වලින් හතක් වූහ. මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණ කීපයක් විය.

සිරුරේ පැහැය, රත්රන්, රිදී ආදී පැහැයක් ගැනීම.

සිරුරෙන් විවිධ මල් සුවඳ වහනය වීම. හත්දෙනාගේ සිරුරෙන් මල් හත් වර්ගයක සුවඳ දැනේ.

දරු සම්පත් ලැබීමේ හැකියාවක් නොවීම. මොවුහු හත් දෙනාම වඳ කාන්තාවෝ ය. අරමුණු ඉටුකර ගැනීම සඳහා ඕනෑම දුෂ්කර කාර්යයක් කිරීමේ හැකියාව.

පැහැය නිසා රිද්දි බිසව් ලෙස හැඳින්වූ ඒ සත්දෙනා තම තමන් පි‍්‍රය කළ තම සිරුරෙන් වහනය වන මල් සුවඳ මත මදු මල් බිසව, නා මල් බිසව, ඉද්ද මල් බිසව, කපුරු මල් බිසව, සපු මල් බිසව, පිච්ච මල් බිසව, කැකුළු මල් බිසව යන නමින් ද හැඳින්විණි.

වඳ භාවය දුරු කර ලනු පිණිස කවර පිළියම් වේදැයි විපරම් කළ ඔවුනට ඔවුන්ගේ බලවත් අකුසලයක් නිසා එසේ වූ බවත්, එය තමන් විසින්ම කැලෑ හෙළි කොට හේන් සකසා, කපු වගාකොට කපු පිළි ලබාගෙන ඒවායින් සකස් කළ සළුවක් දීපංකර බුදුරදුනට කඨින චීවරයක් කොට පූජා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවට උපදෙස් ලැබිණ.

ඒ උපදෙස් පරිදි නැවකින් ලංකාවේ දකුණු පළාතේ උයන්ගොඩට විත් නා පිරිසුදු වී කැලෑ කොටා, කපු ඇට වපුරා, කපුවල ආ පසු නෙළා සළුවක් සකසා දීපංකර බුදුරදුනට කඨින චීවරයක් හෝ පුජා කරමින් මේ පිනෙන් වඳ බව දුරු වී දරු ඵල පිහිටේවා යි කළ ප්‍රාර්ථනය ඒ ආකාරයෙන්ම ඉටුවෙමින් සත් දෙනාම ගැබ් ගත්හ.

සතුටට පත් ඔවුහු විලකින් නාන්නට ගිය අතර හත් දෙනාම නාන අතර එක් කාන්තාවක් තමන් දියයට කිමිදෙන බවත්, දිය යටින් විත් එයාව අල්ලන ලෙසත් කී කළ අනිත් පිරිස එසේ කරද්දී ඔවුනට අසුවී ඇත්තේ නාමින් සිටි රොඩි මිනිසෙකුගේ කකුලකි. ලජ්ජාවට පත් බිසෝවරු එහි ඇල්ලෙන් පැන දිවි නසා ගත්හ. එහෙත් එක් බිසවක් රොඩියකු විසින් බේරාගෙන ඇත. ඇයට දරුවෙක් ලද අතර එම බිසව බොහොම ආදරයෙන් දරුවා නළවමින් රැක ගත්තාය.

ඇල්ලෙන් පැන මිය ගිය බිසෝවරු රිද්දි යක්ෂණියන් ලෙස උපත ලද බව කියැවේ. මොවුහු වඳ කාන්තාවන්ට දරු සම්පත් දීම පිළිසිඳ ගත් දරුවන් අනතුරකින් තොරව රැක ගැනීම ගැබිනි කාන්තාවන්ට ආරක්ෂාව, පහසුව සැලසීම ආදී බොහෝ කරුණු ඉටුකිරීමේ සමත්ය. මේ නිසා අපේ රටේ ඒ කරුණු සම්බන්ධයෙන් රිද්දි යක්ෂණියන් වෙනුවෙන් රිද්දි යාගයක් පවත්වා ඔවුනට පුද පූජා පවත්වයි.මේ යාගයේ දී රිද්දි බිසවුන්ගේ නෑම ආදී සියලුම ඉරියව් යකැදුරන් විසින් ඉතා අපූරුවට ආනුරූපණය කරයි. හේන් කොටා කපු වැවීම ඇතුළු දරු නැළවිල්ල ආදී සියල්ල කවි ගායනයෙන් අනුරූපණය කරන අයුරු සිත් ගන්නා සුළුය. නානු ගෑම, දත් මැදීම, තොර ගා හිස පීරීම, හවරි දැමීම අවසානයේ කැඩපතින් මුහුණ බැලීම ආදී අවස්ථා මෙහි ඒ අවස්ථානුකූලව බෙරවාදනයද උපයෝගි කරමින් සිදුකරයි.

ආචාර්ය

සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.