කාන්තාවන්ට අසුබපල දෙන ආකාරය

අගෝස්තු 19, 2022

කේන්ද්‍රයක 7 වැන්න නිත්‍යානුකූල විවාහය පෙන්වනු ඇත. එසේම 12 වැන්න කාම ස්වරූපය රහසිගත ආදරය පෙන්වයි. මකර ලග්නයෙන් උපත ලබා රවි 7 වැන්නේ සිටීමද, රවි, කුජ 12 වැන්නේ හෝ දෙවැන්නේ සිටීමද, කාන්තාවන් අන්‍ය පුරුෂයන් කරා යාමට තුඩු දෙන ග්‍රහ පිහිටීමකි. එසේම වෘෂභ, තුලා, රාශියකින් ඉපිද 7 වැන්නාධිපති වූ කුජ 12 වැන්නේ සිටීමද, අන්‍ය පුරුෂයන් කරා යන ග්‍රහ යෝගයකි. කේන්ද්‍රයක සිකුරු දුබලයි. කුජ සිකුරු ගේ රාශියක සිටීමද, අයථා සංවිධාන ඇති කරන පිහිටීමකි. ලග්නාධිපති හා 7 අධිපති සංයෝග වූ විට අනිසි ලෙස කාම ආශාව උද්දීපනය කිරීමට හේතු වේ. රාහු ලග්න ගත වී 7 වැන්නේ කුජ සිටි කාන්තාව නොමඟ යෑමට ඉඩ තිබේ.

මේෂ ලග්නය වී රාහු සමඟ කුජ හෝ ශනි ලග්නයේ සිටියේද, 7 වැන්නේද සිටීමත් සිකුරු 6, 8 යන ස්ථානයක සිටීමත් කාන්තාවන්ට අයහපත්ය. මෙම ග්‍රහ පිහිටීම් ඇත්තිය පෙම් සබඳතා ඇති කර ගැනීමට ඉතා දක්ෂය. ඒත් ඒ සම්බන්ධතා පවත්වාගෙන යා හැකි නොවේ. කාන්තාවකගේ ගතිගුණ විවාහයකදී බැලිය යුතුය. දෙවැන්නේ රවි, කුජ, ශනි යන පාප ග්‍රහයින් ඇති කාන්තාවෝ සෑමවිටම සිත පෑරෙන ආකාරයට ස්වාමිපුරුෂයාට කතා කරයි. ශනි හා චන්ද්‍රයා සම්බන්ධ වූ කාන්තාව ද විවාහ කර ගැනීමට නුසුදුසුය. මෙම ග්‍රහ පිහිටීම් ඇති බිරිද, හැමවිටම ස්වාමිපුරුෂයාට නින්දිත ආකාරයට කතා කරන බව කියැවේ.

ලග්නයෙන් 4 වැන්නේ කුජ යෙදි ඇති වනිතාවන් ද නිතර කෝප වන කෙළෙහිගුණ නොසලකන පැවතුම් ඇති තැනැත්තියකි. මෙය ශනි 4 වැන්න ඇති කාන්තාවන්ද පරුෂ වචනයෙන් කතා කරන කාන්තාවකි. ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් ඇති කාන්තාවන් විවාහ කර ගැනීමේදී එම ග්‍රහ බලපෑම්වල බලය බිදෙන ග්‍රහබලයක් ඇති පුරුෂයකු සිටියොත් පමණක් විවාහය පිංවත් වරදක් සිදු නොවේ.

හත්වැන්න අධිපතියා භාව දොළහට බලපාන හැටි

1. හත අධිපතියා ලග්නයේ නම් ඔහුට හිමිවන සහකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝගී තත්ත්වයකට පත් වෙයි. ඇය කියන කියන ඕනෑම දෙයක් කිරීමට ඔහු පෙළඹෙයි.

2. හත්වැන්න අධිපතියා දෙවැන්නේ නම් ආර්ථික තත්ත්වය කෙරෙහි විශේෂයෙන් බලපායි. පාප දෘෂ්ටි නොලැබ යහපත් ලෙස සිටී නම් ආර්ථිකයේ විශේෂ දියුණුවක් ඇති වේ.

3. හත්වැන්න අධිපතියා තුන්වැන්නේ නම් එම දෙදෙනාගේ සම්බන්ධතාවය කෙරෙහි සහෝදර සහෝදරියන්, නෑයන් හා අසල්වැසියන් විසින් නොයෙක් බලපෑම් කරනු ඇත.

4. හත්වැන්නාධිපතියා හතර වැන්නේ නම් වටපිටාව තමාගේ අභ්‍යන්තරික කටයුතු දෙමාපියන් ඉඩකඩම් තමාට උරුම දේපළ පවුලේ තත්ත්වය යනාදිය නිසා විවාහයට විශාල බලපෑමක් ඇති වේ. තනිව තීරණයක් ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වේ. මොවුන් සෑම දෙයක්ම තීරණය කරන්නේ පවුලේ තත්ත්වය අනුවය.

5. හත්වැන්න අධිපතියා පස්වැන්නේ නම් මෙම දෙපළගේ දරුවන් හැඩගැසෙන්නේ මව අනුවයි. විවාහය සිදුවන්නේ පේ‍්‍රම සම්බන්ධතාවයක් මුල් කරගෙනය. දෙමවුපියන්ගෙන් එතරම් බලපෑමක් ඇති වන්නේ නැත. තමාගේ කැමැත්තට විවාහය තීරණය කර ගැනීමට හැකි වේ. නමුත් විවාහය සාර්ථක වීමට හේතුවන්නේ 7 වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ටි අනුවයි.

6. හත්වැන්න අධිපතියා හයවැන්නේ නම් ලැබෙන සහකාරිය අන් අයගෙන් වෙනස් වන තමාට පමණක් උචිතයයි හැඟෙන මාධ්‍යයකින් ඇඳුම් පැලඳුම් කිරීමට පෙළඹෙන තැනැත්තියක් වේ. තමාගේ සුව පහසුව ගැන එතරම් පතන්නේ නැත. සුළු අසනීපවලින් පෙළේ.

7. හත්වැන්නාධිපතියා හත්වැන්නේ නම් හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි අනුවම විවාහය සැපවත් වීමට හෝ නැති වීමට හේතු වේ. හිමිවන සහකාරිය අනුවම විවාහ ජීවිතය සකස් වේ.

8. හත්වැන්න අධිපතියා අටවැන්නේ නම් සහකාරයා අකාලයේ මිය යාමට හේතු වේ. විවාහය තීරණය කිරීමේදී ආයුෂ පිළිබඳ විශාල වගකීමක් ඇති වේ. සමහරවිට මරණයේ ස්වභාවය හේතු කොට ගෙන තමාට උරුම හිමිකම් ඇහිරී ඒ පිළිබඳ ප්‍රශ්න ඇතිවිය හැක.

9. හත අධිපතියා නවයේ නම් ලැබෙන සහකරු දීර්ඝ ගමන්වල යෙදෙන අයකු වේ. දෙදෙනාම එකට එකතු වී වන්දනා ගමන්වල යෙදීමට පෙළඹේ. විශේෂයෙන් විදේශීය සංචාරවල යෙදේ. තමාට ඉතා දුර නෑයින් සමඟ පවා සම්බන්ධකම් පවත්වනු ඇත. මොවුන්ගේ විවාහය වැඩි වශයෙන් බලපාන්නේ ආගමික හා සමාජීය අදහස් මතය. මෙය විවාහයටම විශාල ප්‍රශ්නයක් වේ.

10. හත්වැන්න අධිපතියා දසවැන්නේ නම් හත්වැන්නට වැටෙන දෘෂ්ටි අනුවම තම ගෞරවය රැකියාවේ ස්වභාවය පිළිබඳව විවාහයට බලපා හැකිය. මේ නිසා විවාහය ගැන සෙවීමට පෙළඹෙන්නේ මවුපියන්ය. මවුපියන් මේ අයගේ විවාහය පාලනය කිරීමට පෙළඹේ. මේ හේතු නිසාම සහකාරියගේ ගති, සිතුම් පැතුම් වෙනස් වේ.

11. හත්වැන්නාධිපතියා එකොළොස්වැන්නේ නම් තමාගේ සෑම වැඩ කටයුත්තක් කර ගැනීමට සහකරුගේ සහයෝගය මැනවින් ලැබේ.

12. හත අධිපතියා දොළොස්වැන්නේ නම් විවාහය හේතු කොටගෙන නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට ඉඩ ඇත. එහෙත් හත්වැන්න අධිපතියා සුබ ග්‍රහයෙක් නම් මෙය තරමක් දුරට වෙනස් වේ.

 

උපාලි සෙල්ලහේවා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.