ලග්න රැසකට සුබපල උදාකරමින් නීච භංග රාජ යෝග සමඟ රවි තුලා රැසට

ඔක්තෝබර් 14, 2022

මෙම වසරේ දෙවැනි කෝණ මාසය නිමා වේ

එළැඹෙන  සඳුදායින් (17දා)  පසුව විවාහ සහ නිවාස  සුබ වැඩට සුබ නැකැත්  යොදාගත හැකි  කාලය  උදා වේ.

 

2022. 10. 17 වැනි සඳු දින සිංහල පැය 33න් කිවි හිමි තුලා රැසට පැමිණෙන රවි ග්‍රහයා 2022. 11. 16 වැනි දින සැන්දෑ යාමය වන තුරු එහි ගමන් කරනු ඇත. තුලා රැස සම්පූර්ණ වන්නේ කුජ හිමි සිත නැකැතේ 3-4 පාදත් රාහු හිමි සා නැකැතේ පාද හතරක් විසා නැකතේ 01-02-03 යන නැකැත් පාද 09 සම්පූර්ණ වීමෙනි. එය නම් කරනු ලබන්නේ, ‘සිත දෙක -සා -විසා 3න් පෙඳ තුලා රැස’ යනුවෙනි.

රවි සංක්‍රමණ අවස්ථාවේ කුජ හිමි මේෂ රැසත් කිවි හිමි තුලා නවාංශකයත් උදාව පවතී. එදින ගුරු හිමි පුනාවස නැකතේ තුන්වන පාදයත් ලබා ඇත. මේෂ ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙසේය. ලග්නයේ රාහු යුරේනස් ද තුන්වැන්නේ සඳු කුජ දෙපළ ද 6 වැන්නේ බුධ සිකුරු දෙපළ ද හත්වැන්නේ රවි කේතු ද දහ වැන්නේ සෙනසුරුද එකොළොස්වැන්නේ නෙප්චුන් ද දොළොස් වැන්නේ ගුරු ග්‍රහයාද සිටියි. 18 වැනි දින සිකුරු තුලා රැසට පිවිසීමෙන් රවි සිකුරු දෙපළගෙන් නීච භංග රාජ යෝගයක් යෙදී ඇති අතර කන්‍යාවේ දාහත දිනට පමණක් බුධ සිකුරු නීච භංග යෝගයක් යෙදී ඇත. වක්‍ර සෙනසුරු මකර, ශශ යෝගය ඇතිව ද 12 ගුරු මීන රැසෙහි විපරීත යෝග බලයද ලබා ඇත.

තත්කාල ග්‍රහ පිහිටීම් අනුව මේ වසර අවසාන වන තුරු මූල්‍යමය තත්ත්වයෙන් ගොඩ ඒමට නුපුළුවන් බව පෙනෙයි. ලබන ජනවාරියෙන් පසුව යම් සහන් එළියක් ඇති වන බව පෙනෙයි. එනම්,විදේශ රාජ්‍යවල අනුග්‍රහය ඇතිව ආර්ථිකය පොහොසත් වේ. රටෙහි පරිහානි තත්ත්වය අවබෝධ කරගන්නා නායකයන් විවිධ පැතිවලින් උදව් උපකාර කිරීමට කටයුතු කරයි. විරුද්ධ පාර්ශ්වයේ විරෝධතා අඩුවක් නැත.

රටේ නාවික කටයුතු විධිමත් කෙරේ. දුම්රිය හා තැපැල් සේවා වල ප්‍රගතියක් ඇති වේ. නව නීති සම්පාදනයට පාලක පක්ෂ උනන්දු වෙයි. සොර සතුරු පීඩා අසන්නට ලැබෙයි. ළමා ස්ත්‍රී පක්ෂවලට හොඳ කාලයක් නම් පෙනෙන්නට නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රශ්නපිට ප්‍රශ්න ඇතිවේ. මහාමාර්ග අනතුරු වැඩි වේ. හදිසි ප්‍රභූ මරණ අසන්නට ලැබේ. මේ ග්‍රහචාරය ලග්න දොළොසට කෙසේදැයි විමසා බලමු.

 

මේෂ ලග්නය

මේ වසර අවසානයේදී ආර්ථිකය පොහොසත් වේ. පවුලේ අභ්‍යන්තරික ප්‍රශ්න පැන නගියි. විදේශ ගමන්වලට යහපත් කාලයකි.

වෘෂභ ලග්නය

ලග්නාධිපති සිකුරු බලවත් වන බැවින් තම අනාගත සිහින සැබෑ වෙයි. ඥාතීන් අතර තමා කැපී පෙනේ. ඉවසීමෙන් ක්‍රියා කළහොත් දියුණුව අත ළඟමය. අවිවාහක අයට මංගල සීනු හැඬවේ. ආර්ථික තත්වයට බලපෑම් ඇතිවේ.

මිථුන ලග්නය

ලග්නාධිපති හා හතරවැන්න අධිපති බුධ කන්‍යා රැසෙහි උච්චව ගමන් ගන්නා අතර ඔක්තෝබර් 26 දින තුලා රැසට ගොස් රවි හා එක්වේ. රාජ්‍ය අංශයේ උදව් උපකාර, තරග විභාග ජය ගෙන දෙන අතරම මත ගැටුම් ද වැඩිවේ.

කටක ලග්නය

සඳු ලග්නාධිපතිව කුජ හා එක්ව මිථුනයේ ගමන් ගනී. අන් අය හා එක්ව සිදු කරනු ලබන කටයුතු ඉතා පරිස්සමෙන් කරන්න. ගුරු භාග්‍ය ස්ථානයේ බැවින් ධාර්මික ජීවිතයකට යොමු වන්න. විදේශ ගමන්වලට හේතු වේ.

සිංහ ලග්නය

ලග්නාධිපති රවී තුන් වැන්නට පැමිණ 18 දිනට සිකුරු තුලා රැසට පැමිණි පසු නීච භංග රාජ යෝගයක් ලබයි. එය වසරේ යෙදෙන ප්‍රබල එකකි. සිකුරු කර්මස්ථාන අධිපති ද වන බැවින් රැකි රක්ෂා කටයුතු දියුණු වේ. තම සිතුම් පැතුම් සපුරා ගත හැකි වනු ඇත.

කන්‍යා ලග්නය

ලග්නාධිපති බුධ කන්‍යාවේ රාජයෝගයක් ලබා සිටියි. ගුරු ග්‍රහයාගේ පූර්ණ දෘෂ්ටියෙන් බලවත් වේ. දෙවැන්නේ රවි සිකුරු ද බලවත් වන බැවින් තමුන් අපේක්ෂා කරන සියලු දෑ විධිමත්ව කර ගත හැකි වේ. විභාග ජය අත්වේ. තව තවත් ඥානය දියුණු කර ගැනීමට හැකිවේ. ඒරාෂ්ටක අපල ඇති අය පරිස්සම් විය යුතු කාලයකි.

තුලා ලග්නය

ලග්නයේ සිකුරු බලවත් වේ. අන් අයගේ පැසසුමට ලක්වේ. අපේක්ෂා ඉටු වේ. විවාහ කටයුතුවලට ද සුබදායක වේ. ස්ථාන සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය වේ. නිවාස ඉදිකිරීම්වලට යෝග්‍යයි. පොළොවෙන් වාසි ලැබෙන කාලයකි.

වෘශ්චික ලග්නය

ලග්නාධිපති අට වැන්නේ ගමන තරමක් අසුබ වේ. අන් අය සමඟ කරන කටයුතු ශුභ නැත. නඩුහබවලට පැටලිලි ඇති කරවයි. හැකි නම් විදේශ ගතවීමට උත්සාහ කරන්න. පවුලේ අභ්‍යන්තරික ප්‍රශ්න බලපාන කාලවකවානුවකි.

ධනු ලග්නය

රවි සිකුරු එකොළොස් වැන්නේ ගමන ශුභයි. ලග්නාධිපති ගුරු 4 වැන්නේ බලවත්ය. දහවැන්නේ බුධ නිසා රැකිරක්ෂා දියුණුව, ගෘහ ලාභ, කලා ඇසුර ඇති වේ. විවාහ අපේක්ෂා කරන අයට තරමක් අසුබ වෙයි. ධාර්මික දිවිපෙවෙතකට පත්වුවහොත් අපල අවම කරගත හැක.

මකර ලග්නය

ලග්නාධිපති ලග්නයේ බලවත් ය. දහ වැන්නේ රවි ශුභ වේ. විදේශ ගමන් ගැන සිතන්න. ලබන ජනවාරියෙන් පසු කාර්යය ඉටු වේ. ලාභ ලැබේ. සතුරු උවදුරුවලට ද ඉඩ ඇත.

කුම්භ ලග්නය

බාධක ස්ථානගත වුවද රවි සුබපල ගෙන දෙවයි. ඒරාෂ්ටක අපල නිසා ඇතැම් විට වැඩ අවුල් විය හැක. ඉවසීමෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන්න.

මීන ලග්නය

ගුරු ලග්නාධිපති බලවත් වුවද සිත් තැවුල් පීඩාවලට ලක් වේ. අපේක්ෂිත කරුණු ඉටු කර ගත හැකිවේ. ලබන වසරේ ඒරාෂ්ටකයි. පරිස්සම් වන්න. විදෙස් ගමනකට හේතු වෙයි.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වැලිගම

කේ.එච්.ධනපාල

 

 

මේෂ-කටක-වෘශ්චික-මකර-මීන ලග්න හිමියන්ට විදෙස් ගමන් හිමිකම්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.