29 වැනිදා වක්‍රවීමෙන් ග්‍රහලොව සෙන්පති කුජ ලොව කලඹයිද?

ඔක්තෝබර් 28, 2022

සොර සතුරු උවදුරු කුමන්ත්‍රණ ඉහළ යයි

ආරක්ෂක අංශවලට වැඩ රාජකාරී අධික කාලයක්

භූ චලනයන් ද පතල් අනතුරු සිදුවිය හැක

2022.10.29 වැනි දින සිංහල පැය 31.57 න් සෙන්පති කුජ වක්‍රවීම සිදුවේ. මේ වන විට මිථුන රැසේ දී වක්‍රවන කුජ නොවැම්බර් 13 වැනි දින වෘෂභ රැසට පැමිණෙයි. එතැන් සිට මාස 4 1/2ක් පමණ වක්‍රවන කුජ ග්‍රහයා 2023.01.13 වැනි දින නිවෘත වී මාර්තු 13 වැනි දින මිථුනයට පැමිණෙයි. 2022 වසරේදී මීට පෙර වක්‍ර නොවූ අඟහරු සාමාන්‍යයෙන් මාස 1 1/2ක් පමණ එක් රාශියක ගමන් කරයි. වක්‍ර ගමනට පත් අඟහරු චේෂ්ටා බලය ලබයි. එසේ වුවත් කුජගේ මෙම වක්‍රය ශුභ නොවන බව පෙනී යයි. අඟහරු වක්‍ර වන අවස්ථාවේ කුජට අයත් මේෂ රාශියද ගුරු හිමි ධනු නවාංශකය ද ක්ෂිතිජයේ උදාව පවතී. තත්කාල ග්‍රහ පිහිටීම් එතරම්ම ශුභ නොවේ. යුරේනස් ලග්නගත වී සිටියි. කුජ ලග්නපති මිථුනයේ සිට වක්‍රය අරඹයි. සත්වැන්න වූ තුලා රාශියෙහි රවි, බුධ, සිකුරු සිටියි. සඳු නව වැන්නේ ද සෙනසුරු 10 වැන්නේ මකරයේ නිවෘත වද 11 වැන්නේ නෙප්චූන් හා 12 වැන්න වූ මීනයේ ගුරු ද සිටියි. නොවැම්බර් 11 සිකුරු වෘශ්චිකයට හා නොවැම්බර් 13 දින බුධ වෘශ්චිකයට පැමිණේ. කුජගේ වක්‍රය අප සිතන තරම් ශුභ තත්ත්වයක් නොවේ. පාරිසරික විපත්වලට ඇති බලපෑම වැඩිය. ඒ අනුව පාරිසරික විපත්වලට ගොදුරුවන ඇතැම් ජන කොටස් ගැන අසන්නට ලැබේ. කඩින් කඩ වර්ෂාවද තදින් ඇද හැළෙයි. භූ චලනයන් ද පතල් අනතුරු ද සිදුවේ. මුදල් අවභාවිතාවීම් ද වංචා ද සොර සතුරු උපද්‍රව ද කුමන්ත්‍රණ ද බහුල වන බව පෙනේ. ස්ත්‍රීන්ට හා ළමයින්ට මුහුණ පෑමට සිදුවන උපද්‍රව මෙන්ම මරණද ඉහළ යා හැකිය. ගං වතුර, ජල විපත් තවදුරටත් බහුලවන බව පෙනේ. විවිධ රෝග පීඩාවන් පැතිරී යාම ද තීව්‍ර වීමට ඇති ඉඩකඩ වැඩිය. එලෙසම ආරක්ෂක අංශවලට විශේෂයෙන්ම යුද හමුදා අංශවලට වැඩ රාජකාරී අධික කාලයක් ඇති වන බව පෙනේ. යම් යම් පසුගාමී කුමන්ත්‍රණ හා බලපෑම් හේතුවෙන් රජය අපේක්ෂා කරන මූල්‍යමය විදේශාධාර පමාවීමකට ලක්විය හැකි ය. විවිධ ආයතනවල වැඩ වැරීම් සිදුවීම වැළැක්විය නොහැක. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වැඩිවිය හැක. මෙම කුජ වක්‍රය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේ දැයි විමසා බලමු.

 

මේෂ ලග්නය

තත්කාල මොහොතේ කුජගේම මේෂ ලග්නය උදාව පවතින අතර නවාංශකය ගුරු හිමි ධනු රැසවේ. 4 අධිපති සඳු මාරක වුවත් 9 වැන්නේ ධර්මස්ථානගතව සිටීම ශුභදායක වේ. දැහැමි ජීවිතය ඉතා වටී. මුල් අවධියේ ආර්ථික අපහසුතා පැවැතිය ද ඉදිරියේ දියුණුව ඇතිවේ.

වෘෂභ ලග්නය

කුජ 12 -7 අධිපතිව වක්‍රවීම නිසා අනුන් සමඟ කරන කියන කටයුතු ගැන සැලකිළිමත් වන්න. පවුල් ජීවිතයේදී ද ආරවුල් ප්‍රශ්න ඇතිවේ. කල්පනාවෙන් ක්‍රියාකරන්න. ලග්නාධිපති සිකුරු බලය පැතිරීම ශුභදායක වේ.

මිථුන ලග්නය

තත්කාල අවස්ථාවේ කුජ ලග්නයේ සිටියි. වක්‍රය සිදු වන්නේ 12 වැන්න වූ වෘෂභ රාශිය දිසාවටයි. එය තරමක අසහනකාරී බවක් ගෙනෙයි. පෙර පැවැති අනියම් සබඳතා ගැන පරිස්සම් වන්න. සිත් තැවුල් ඇති වීමට ද මිතුරන් සතුරු වීමට ද හේතු වෙයි.

කටක ලග්නය

අඟහරු 10 -5 වැන්න අධිපති වේ. 11 වැන්නේ වක්‍රය සිදුවේ. මිත්‍ර ග්‍රහයා වුවද 12 වැන්න ශුභ නැත. ශාරීරික පීඩා සිදුවිය හැකි බැවිනි. යානවාහන ගමන් පරිස්සමින් සිදුකරන්න. 4 වැන්නේ රවි, බුධ, සිකුරු යෝගය හිතකර වන්නේය.

සිංහ ලග්නය

9 වැන්න බාධක වුවත් 4 වැන්නාධිපති ශුභඵල ලබාදෙයි. කෙසේ වෙතත් පිටස්තර අය සමඟ කරනු ලබන මූල්‍යමය ගනුදෙනු ගැන වඩාත් කල්පනාකාරි වන්න. මුදල් ආයෝජන පිළිබඳව දෙවරක් සිතන්න. දුර බැහැර ගමන්වලට සිත යොමුවේ.

කන්‍යා ලග්නය

10 වැන්නේ සිට වක්‍රය සිදුවේ. 8 අධිපති මාරක වූවොත් අහිතකර ප්‍රතිඵල ගෙනේ. 10 වැන්නේ කුජ බලවත් වේ. අලුත් ආර්ථික මං පෙත් විවර වේ. සහෝදර සමාගම් ඇතිවේ. පවුල් ජීවිතයට බාධා විය හැකි සිදුවීම් ඇතිවිය හැකිය.

තුලා ලග්නය

2 -7 අධිපතිගේ වක්‍රය සිදුවන්නේ නව වැන්න ආශි‍්‍රතවයි. මේ වන විට ලග්නාධිපති රවි – බුධ සමඟ ලග්නයේ ගමන ශුභවේ. ආත්ම අභිමානයෙන් යුක්තව ජීවන ගමන සාර්ථක කර ගැනීමට හැකිවේ. විදේශ ගමන් ගැන සිතන්න. ආගමික කටයුතුවල යෙදෙන්න.

වෘශ්චික ලග්නය

ලග්නාධිපති සේම 06 වැන්නාධිපති ද කුජවේ. 8 වැන්න මාරක ස්ථානයේ බැවින් පරිස්සම් වන්න. නව ව්‍යාපාර ආරම්භ කිරීම හොඳයි. පවුල් ජීවිතයට බලපෑම් එල්ල විය හැක. විදේශ ධනය හිමිවේ.

ධනු ලග්නය

5-12 අධිපති සත්වැන්නේ වක්‍ර වේ. පාසල් වියේ සිටී නම් තරඟ විභාග ජය, රැකියා කටයුතු වෙනසකට ඉඩ ඇත. හවුල් ව්‍යාපාර ඇරැඹීමට සිතුවිලි පහළ වේ. අනියම් සබඳතා ගොඩනඟා ගනී.

මකර ලග්නය

04-11 අධිපති වේ. 6 වැන්නේ වක්‍රය සිදුවේ. සතුරු ස්ථානය ද එයම වේ. පාපියා 06 ට බලවත් වේ. තම ඥාතීන් අතර කැපී පෙනෙයි. මාමලාට ශුභ නැත. අඟහරුගේ දශා, අතුරු දශාව නම් කල්පනාකාරී වන්න.

කුම්භ ලග්නය

3 -10 වැන්නට අධිපති වේ. සහෝදර පිරිස් සමඟ ගනුදෙනු කිරීම ශුභදායක නොවේ. රැකියා කටයුතුවල වෙනසක් සිදුවේ. භූමිය සම්බන්ධ වැඩවලින් ලාභ ලැබිය හැකිය.

මීන ලග්නය

2 -9 අධිපති කුජ 4 වැන්නේ වක්‍රය සිදු කරයි.ඉඩකඩම්, ගේදොර, යානවාහන ප්‍රශ්න ඇතිවේ. ඒවාට මුදල් යෙදවීම, පදිංචිය වෙනස්වීමට පුළුවන. ඒරාෂ්ටක අපල ද බලපානු ඇත.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

වැලිගම

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.