රවි කුජ හිමි වෘශ්චික රාශියට යෑමෙන් ගොවිතැනට හිතකර කාලයක් උදා වෙයි...

නොවැම්බර් 11, 2022

 

2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම කුජහිමි වෘශ්චික රාශියට පැමිණ 2022 දෙසැම්බර් මස 16 තෙක් එහි ගමන් කරනු ඇත.‘විසා එක් අනුර, දෙට වෘශ්චිකය රැස‘ කීවා සේ ගුරුහිමි විසා නැකතේ 4 වැනි පාදයත් ශනි හිමි අනුර නැකත හා බුධ හිමි දෙට නැකතේ සම්පූර්ණ පාදත් වෘශ්චික රැසට අයත් වෙයි. වෘශ්චිකය කුජගේ ස්වක්ෂේත්‍ර රැසයි. ලංකා කේන්ද්‍රයේ දසවැන්නයි. මේෂ රැසෙහි අට වැන්න වේ. මේෂ වෘශ්චික දෙකම කුජට අයත් වේ. රවි සංක්‍රමණ වෙලාවේ කිවි හිමි වෘෂභ ලග්නයත් සඳු හිමි කටක නවාංශකයත් උදාව තිබේ. ලග්නයේ කුජ ද 4 වැන්නේ සඳු ද 7 වැන්නේ රවි, බුධ සිකුරු ද 9 වැන්නේ ශනි ද 10 වැන්නේ නෙප්චූන් ද 11 වැන්නේ ගුරු ද 12 වැන්නේ යුරේනස් ද සිටී. පාපයින් වැඩි පිරිසක් කේන්ද්‍රගතවීමත් සඳු පාප පීඩිතවීමත් ගැන සිතා බැලිය යුතුය. ගොවිතැන් කටයුතු විධිමත්ව කරගෙන යාමට රජයේ අනුග්‍රහය හිමිවෙයි. වෙළහෙළදාම් වැඩි දියුණු වෙයි. විදේශ ආයෝජන වැඩි වන අතර මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව ගිවිසුම් සකස් වෙයි. ස්ත්‍රීන් හා ළමුන් සම්බන්ධව හිංසන වැඩි වීමක් දක්නට ලැබෙන නිසා ඔවුන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. පාරිසරික විපත් ද බහුල විය හැක. මේ හේතුවෙන් මහජනතාව මානසික වශයෙන් උද්වේගකාරී තත්ත්වයන්ට පත්වන අතරම ඔවුන් තුළ විප්ලවකාරී අදහස් ද පෙන්වයි.

රවි මාරුව ලග්නවලට බලපාන්නේ මෙලෙසයි.

 

මේෂ

ලග්නයෙන් 8 වැන්නට රවි පැමිණේ. 6-7 අධිපතීන්ද රවි හා එක්ව සිටියි. පවුල් ජීවිතවලට අනතුරු දායක වේ. සමඟි සම්පන්නව ජීවන ගමන යායුතු කාලයකි. විදේශ ගමන්වලට යෝග්‍ය කාලයකි. ආදායම් සේම වැය පසද වැඩි වන කාලයකි.

වෘෂභ

සත්වැන්නේ යෝගය යෙදෙයි. ඉඩකඩම් ප්‍රශ්න ඇති වෙයි. මවුපස ඥාතීන්ට අපලදායක කාලයකි. බන්ධු මිත්‍රාදීන්ගේ විරෝධතා ඇතිවේ. අපේක්ෂිත ආදායම් අඩු වෙයි. විදෙස් ගමන් ගැන උනන්දු වන්න. දැහැමි ජීවිතය උතුම් වෙයි.

මිථුන

සයවැන්නේ යෝගය යෙදෙයි. අනුන් සමඟ කරන ගනුදෙනු පිළිබඳව දෙවරක් සිතන්න. අපවාද චෝදනාදියට ලක්විය හැක. නීති ප්‍රශ්න ද බලපායි. රැකියාවේ කටයුතුවලට බාධා ඇති වෙයි.

කටක

පස්වැන්නේ යෙදෙන යෝග බලය සුබ වෙයි. පවුලේ කටයුතු සඳහා දියුණුවේ මං සොයයි. ආර්ථිකය යහපත් වෙයි. ධනය ලැබේ. විදේශ ධනයකට ද හිමිකම් ඇත. අනියම් සබඳතා ද නැත්තේ නොවේ.

සිංහ

ලග්නාධිපති රවි 2-3 අධිපති සමඟ 4 වැන්නට පැමිණේ. එය ශුභ ග්‍රහ ගමනෙකි. රැකී රක්ෂා දියුණුව ඇති කෙරෙයි. ඉඩකඩම්, යානවාහන, ලාභ ද ඇති කෙරෙයි. අලුත් ස්ථාන ලාභ ද ඇති වෙයි. පදිංචියේ වෙනසකට ද හේතුයි.

කන්‍යා

ලග්නාධිපති බුධ රවි සිකුරු සමඟ 3 වැන්නේ ගමන නරක නැත. 9-10 අධිපතිගේ ධර්මකර්මාධිපති යෝගය ද එහි තිබේ. සිත ධෛර්යවත් කරයි. සහෝදර පක්ෂය ද හොඳයි.

තුලා

ලග්නාධිපති සිකුරු-රවි- බුධ හා යෝගව 2 වැන්නේ ගමන ශුභ වේ. ධනෝපායන මාර්ග ඇතිවේ. ව්‍යාපාර හෝ ගේදොර ඉඩකඩම් සම්බන්ධ දේට මුදල් වැය කරයි. ඉගෙනීමට ද ශුභයි.

වෘශ්චික

10 වැන්නාධිපති ලග්නයට පැමිණේ. විදේශ ගමන් හා රැකී රක්ෂාදියට හොඳයි. විවාහ යෝජනා ද පැමිණෙයි. ආර්ථික ලාභ ඇති කෙරෙයි.

ධනු

12 වැන්නට රවි යයි. ධර්මකර්මාධිපති රාජ යෝගය ද ලබයි. මේ කාලය තුළ ජනිතවන දරුවන්ට එම රාජ යෝගය පිහිටනවා ඇත.

මකර‍

11 වැන්නට මේ යෝගය ලාභදායකයි. රවි බුධ සිකුරු එක්වීම මඟින් රාජ යෝගයක් ද යෙදෙයි. අලුත් අදහස් පහළ වෙයි. මුදල් වැය කිරීමේදී සැලකිළිමත් වන්න.

කුම්භ

10 වැන්නේ රවි බොහෝ බලවත් වෙයි. බාධක කරදර ආවද එම අභියෝග බිඳ ඉදිරියට යන්න.

මීන

9 වැන්න වූ භාග්‍යස්ථානයේ යෙදේ. ධර්මස්ථානය ද එහිම වේ. දැහැමි ජීවිතයට පැමිණීමෙන් භාග්‍යය වාසනාව ගෙනදේ.

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - වැලිගම
කේ.එච්. ධනපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.