Covid 19 සමග අද අප කොතැනද?

දෙසැම්බර් 4, 2020

සියලුම ලෝක බලවතුන් භීතියට පත් කරමින් හිස ඔසවා සිටින ජධමඪඤ 19 වෛරසය ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර, තවත් ජීවිත රාමුවකට කොටු කරමින් ලෝක ආර්ථිකය, සෞඛ්‍ය ,ජන ජීවිතය ඉතා පහත් මට්ටමකට ඇද දමමින් සිටියි.

අවි ආයුධ, අභ්‍යවකාශ යානා, දියුණු තාක්ෂණික මෙවලම්, රොබෝ තාක්ෂණ, නැනෝ තාක්ෂණය යන සෑම අංශයකින්ම දික් විජය කළ අප ලෝක බලවතුන් අද කොරෝනා වෛරසය හමුවේ දණ නමා ඇත. ඇමරිකාව බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි ලෝක බලවතුන් අභිභවා කොරෝනා වයිරසය ජය ගැනීමට අප මුතු ඇටයට හැකියාව ලැබී ඇත්තේ අතීතයේ සිටම අප අතර තිබූ චර්යා රටා හා ආහාර රටා නිසා විය හැකියි.කොරෝනා රෝගය රට වෙලා ගැනීමත් සමගම ජනතාව කහ, පෙරුම්කායම්, කොත්තමල්ලි ,වෙනිවැල්ගැට, රසකිඳ, නෙල්ලි වැනි දේ සොයා ආයුර්වේද ඔසුසල් පීරූහ. ඒ රෝගයට ප්‍රතිකාර සොයා නොව රෝගයට අවැසි ප්‍රතිශක්තිකරණය සොයාය.

ආයුර්වේද අනුකූල දින චර්යාව

කෙසේ වෙතත් ඈත අතීතයේ සිට අප මුතුන් මිත්තන් මේ සියලු බෝ නොවන මෙන්ම බෝවන රෝග වසංගත රෝග සඳහා අවැසි ප්‍රතිශක්තිය තම ආහාර පුරුදු ,චර්යා රටා තුළ ම ඇති කර ගත්හ. ආයුර්වේදයට අනුකූලව නියමිත දින චර්යාවක් ගත කළහ.

බ්‍රහ්ම මුහුර්තයෙන්( ඉර නැගීමට විනාඩි 45කට පෙර )අවදි වූ අප මුතුන් මිත්තන් ඉතා හරවත් ස්වසන අභ්‍යාස සිදුකර ආගම සිහිකර දවස ඇරඹූහ. එදා සිදු කළ ස්වසන අභ්‍යාස ,යෝග ක්‍රම වර්තමානයට ද ඉතාම වැදගත් බව මෙම වසංගත රෝග සමඟම විද්‍යාඥයින් විසින් පහදා දී ඇත. උදෑසනම පිරිසුදු හිරු එළියට නිරාවරණය වී ඉතා ගැඹුරු ආශ්වාසයකින් පෙනහළු පුරවා ගනිමින් රැ¼දී සිට ප්‍රශ්වාස කිරීම මගින් පෙනහලු ගර්ත ශක්තිමත් වීම පෙනහලු තුළ පවතින අපිරිසුදු වායුව ඉවත් වී පිරිසුදු වීම මගින් කොරෝනා වැනි වෛරස යන්ට පවා පෙනහලු තුළට යාමේ මාර්ගය ඇහිරීම සිදුවේ.

දත් මැදීම හා ගණ්ඩූෂධාරනය එදා සිදු කළේ ලුණු වර්ග ,ඖෂධීය අඟුරු වර්ග, දැහැටි වර්ග භාවිතයෙනි.දත් මැදීම බුරුසු වෙනුවට එදාකොහොඹ, කුඹුක් ,බෝඹු ,කරද වැනි දැහැටි මෙන්ම ගණ්ඩූෂධාරනට(කට සේදීමට )යොදා ගත් ලුණු මිශ්‍ර ජලය ,නෙල්ලි ,මූණමල්, රසකිඳ තැම්බූ ඖෂධීය ජලය ද , ඉඟුරු,ගම්මිරිස්, තිප්පිලි, එනසාල්, කොල්ලන් කොළ, කුරුඳු වැනි දේ චූර්ණ කර සහිඳ ලුණු, මීපැණි සමග මිශ්‍ර කර දත් බෙහෙත් ලෙස පැරැන්නන් භාවිතා කළහ.මෙහි අඩංගු සියලුම ද්‍රව්‍ය ඔබ අද වන විට ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ඔසුසල් පීරා සොයන ඖෂධ වර්ග නොවේද? මෙම ඖෂධ භාවිතයෙන් අප මුඛයේ උගුරේ තැන්පත්ව ඇති රෝග කාරක විෂබීජ විනාශ වී මුඛයේ විරස බව දුරුවී ප්‍රසන්න බවක් ඇති වේ. එදා මුහුණ අත් පා සේදීමට පවා සුදුහඳුන්, කොහොඹ ,කහ ,වෙනිවැල්, රත්මල් තැම්බූ ජලය භාවිතා කළහ. මද උණුසුම් ජලයෙන් වැඩි වශයෙන් මුහුණ අත් පා සේදීම සිදුකළහ.

නස්‍ය කිරීම, දුම්පානය, බුලත් සැපීම ද අප මුතුන් මිත්තන්ගේ දින චර්යාවේ ප්‍රධාන අංග විය. මෙම අංග තුන පිළිබඳ ඔබ මවිතයට පත්විය හැකිය. වර්තමානයේ දුම්පානය, බුලත් සැපීම , පිළිකා රෝගයට නිධානයන් වන අතර, ධූම පානය කොරෝනා රෝගයට අත වැනීමකි.නමුත් වර්තමානයේ මිනිසා විසින් මෙම චර්යා රටා විනාශ කර ඇත්තේ විනාශකාරී ද්‍රව්‍යයම යොදා ගනිමිනි. පැරැන්නන් දුම්පානයට භාවිතා කළේ මත්ද්‍රව්‍ය නොව නික ,පාවට්ට වැනි ඖෂධීය කොළ වර්ග වේලා තබා එළඟිතෙලින් පොඟවා දුම් පානය සිදු කළහ. එමගින් වා පිත් සෙම් රෝග සියල්ල දුරුවිය.අද මෙන් නොව එදා බුලත් සැපීමට ද සාදික්කා , කරාබු, කපුරු, වල් ගම්මිරිස්, එනසාල් ,ඉඟුරු ආදිය යොදා ගත්හ. එ මගින් උගුරේ රෝග පහවී දත් රෝග සුව වී මුඛයෙහි කාන්තිය ඇතිවෙයි.

ආහාර ගැනීමේදී පවා ඔවුන් සුදුසු සෞඛ්‍යමත් ආහාර පුරුදු පිළිපැදි අතර, ජලය පානයෙ දී පවා ඔවුන් ඒ පිළිබඳ සැලකිලිමත් වූහ. ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කළ අතර නියමිත වේලාවට ආහාර ලබා ගත්හ. රසකාරක වර්ණකාරක ක්ෂණික ආහාර ඔවුන් භාවිතා නොකළ අතර, රසකාරක වර්ණකාරක සඳහා ද ස්වභාවික කුළුබඩු යොදා ගත්හ. මෙලෙස සෞඛ්‍යයමත් ලෙස දවස ඇරඹි ආදි මුතුන් මිත්තන් නිරෝගී ලෙස දීර්ඝායුෂ වැලඳූහ.

අතීතයේ පැවති නිරෝධායන ක්‍රම

වසංගත රෝග මූලික කරගෙන අතීතයේ ද අප රටේ නිරෝධායනය සිදුකළහ. එදා කොරෝනා රෝගය ලෙස පැවති රෝග ජනපද උද්වංසන රෝග ලෙස හැඳීන්විය. ඇතැම් කාලවලදී විකෘති භාවයට පත් වූ ආහාර, ජලය, වායුව දේශීය කාලය ආදිය හේතුකොට යම් ප්‍රදේශයක ජනයා රෝගාතුර වී මිය යෑම ජනපද උද්වංසය ලෙස හැඳින්වීය.මෙම රෝගවලින් මිදීමට ඔවුන් නිරෝධායන ක්‍රම භාවිත කළහ. එම රෝගීන් සහිත නිවාස හඳුනාගැනීමට ගොක් අතු එල්ලා දැනුම් දීමක් සිදු කළහ. එවිට අසල්වැසියන් ඒ පිළිබඳ දැනුවත් වන අතර, රෝගී නිවසේ අයට අවශ්‍ය සියලුම ආහාර පාන අවශ්‍යතාවයන් නිවස අසලින් තබා ගියහ. එම නිසා රෝග සහිත නිවසේ පුද්ගලයින් කිසිවිටෙකත් කඩපිළට, මිනිසුන් ගැවසෙන ස්ථානවලට නොගියහ. ඔවුන් නිවසටම වී දින 14 ,21, 28 ලෙස නිරෝධායනය විය.එක් අයකු පමණක් රෝගී වුව ද රෝගියා නිවසේ වෙනම ම කාමරයක රඳවා එක් අයෙකු පමණක් ඔහුට සාත්තු කරමින් නිවෙසේ අනෙක් සාමාජිකයින් ද ප්‍රවේශම් විය. කිසිවෙකුත් නිවෙසින් පිටනොවීය. පැරැන්නන් මෙම රෝග දෙවියන්ගේ ලෙඩ ලෙසද සැළකූහ. එදා තාක්ෂණය, විද්‍යාව ,සන්නිවේදනය මෙතරම් දියුණු නො වුව ද මිනිසුන් අනෙකා ගැන සිතමින් ඉතා පරාර්ථකාමීව සෞඛ්‍යමත් දිවි පෙවෙතක් ගත කළහ. වර්තමානයේ රෝගී පුද්ගලයින් නිරෝධායනයට,හඳුනා ගැනීමට රජය මහත් පරිශ්‍රමයක යෙදිය යුතුව ඇත.නමුත් එදා අපේ ජනතාව නිතැතින්ම නිරෝධායනය විය. ඔවුන්ට රජයේ නීති අවශ්‍ය නොවීය. අසල්වැසියන් ද ඔවුන් කොන් නොකරමින් රෝගී වූ හිතවතුන්ගේ ඕනෑ එපාකම් සියල්ල දුරින් හිඳ සැපයූහ.

කොරෝනා සමඟ අපට වැටහුණේ අපේ පැරණි වැඩිහිටියන් තුළ පැවති සෞඛ්‍යමත් පුරුදු මෙන්ම මනුස්සකම් ද අපෙන් ගිලිහී ඇති අයුරු නොවේද? අද අප සතුව මිල මුදල් ,නවීන තාක්ෂණ දැනුම, ඖෂධ කොතරම් වුව ද අප ඒ සියල්ල සමඟ කොරෝනා වයිරසය හමුවේ දණ නමා ඇත. නමුදු අතීතයේදී අප සතුව මේ කිසිවක් නොමැති වුව ද මනුෂ්‍යත්වය,පරාර්ථකාමීත්වය ,සමගිය සහ සහයෝගය මේ සියලු උපක්‍රම භාවිතයෙන් එදා පැවති වසංගත රෝග නිවාරණය කරගත්හ. ජධමඪඤ 19 සමග අපට සිතන්නට යමක් ඉතිරි නොවේද? තාක්ෂණයේ දියුණුව කොතෙක් වුව ද අපගේ මනුෂ්‍යත්වයට , එදා පැවැති සෞඛ්‍ය පුරුදු වලට අත්ව ඇති ඉරණම කුමක්ද? මේ නැවතත් අපගේ හෙළ සිරිත් විරිත් දෙස හැරී හැරී බැලීමට කාලය නොවේද?

 

වෛද්‍යාචාරිනී

ගුණවතී එදිරිසිංහ

(ඩී.එස්.ඒ.සී.ගෞරව )

බෙහෙත්ශාලාව මැදගොඩ අමිතිරිගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.