ඇඟ කැසීම, දද කුෂ්ඨ, අළුහම්, සම රැළි වැටීම ඇතුළු විවිධ චර්ම රෝග හා ඊට ප්‍රතිකාර විධි ඇඟ කැසීම

දෙසැම්බර් 18, 2020

නිතර ඇඟ කැසීම ඇතිවන්නේ කුමන හෝ රෝගයක් නිසාවෙනි. හිසෙන් පටන් ගෙන යටි පතුල් දක්වා මෙම කැසීම ව්‍යාප්ත විය හැකිය.

හිස් හොරි, පොතුකබර රෝගය, සමේ රෝග , විවිධ අසාත්මිකතා , රක්ත රෝග, සෙම් රෝග, විෂ සහිත කෘමින් ඇඟ ඇතිල්ලීම හෝ සපා කෑම , විෂ සහිත ගස්වල පත්‍ර හෝ බූව ඇඟෙහි තැවරීම, ආහාර පාන හා ඖෂධ වර්ග ශරීරයට අසාත්මික වීම වැනි හේතුන් නිසා මෙම කැසීම හට ගත හැකිය.

සම වියළීම හා සමේ තෙතමනය නොමැතිවීම නිසා ඇඟ නලියනවා මෙන් දැනී කැසීම පටන් ගන්නා අතර කසන්න කසන්න දැනෙන සනීපය අවසානයේ තුවාල පවා හට ගත හැකි එකක් වනු ඇත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ රක්තය දූෂණය වීම හේතුවෙන් ශරීරය කැසීමට ලක් වීම සිදුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එය ශරීරයට හිතකර බැක්ටීරියා මිය යාම නිසා හටගනු ලබන රෝගයක් ලෙස දැක්වේ.

ආයුර්වේදයට අනුව රක්ත දූෂණය නිසා කැසීම හට ගනු ලබන අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, පිළිකා රෝග, වකුගඩු රෝග, අක්මාවේ රෝග, යකඩ ඌනතාවය, හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම, දියවැඩියා රෝග ආදිය නිසා ද ශරීරය කැසීම්වලට ලක් කරයි. එපමණක් නොව මානසික ආබාධ, ආතතිය නිසාද කැසීමේ රෝගය හට ගත හැකි ය.

වයසට යන විට ආහාරපාන ගැනීමේ ප්‍රවණතාවය අඩුවීම හා දියර වර්ග නිසියාකාර ශරීරයට අවශෝෂණය නොවීම ආදිය හේතුවෙන් ශරීරයේ තෙතමනය අඩුවීම කරණකොටගෙන සම වියළි වීමද , ස්නානය කරන ජලය වෙනස් වීමද, කාලගුණික වෙනස්වීම් ද, මුහුදු ජලය හේතුවෙන් ද ඇඟ කැසීම ඇති කරවිය හැකි ය.

තක්කාලි, අන්නාසි, අබ, විනාකිරි දැමූ ආහාර, අච්චාරු ලුණු ඇඹුල් අධිකව දැමූ ආහාර, දෙල්, මැංගුස්, දූරියන්, ඇඹුල් කෙසෙල්, ලොවි, ගඩිගුඩා , රාබු, ගෝවා, මුරුංගා, මඤ්ඤොක්කා, කිරිඅල, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, කෙළවල්ලන්, හුරුල්ලන්, බලමාළු, සැමන්, උෂ්ණ කරවල වර්ග ආදිය ආහාරයට ගැනීම කැසීමේ රෝගය සඳහා සුදුසු නොවේ.

සම කැසීම නිසා සම රතුවීම , පැල්ලන් මතුවීම, පළු දැමීම, හිසෙහි නම් පොතු ගැලවීම, සම වියළි ස්වභාවයෙන් පවතී නම් කුඩා කැබලි ගැලවී යාම, සම පිපිරීම ඇතිවිය හැකි ය.

වර්තමාන සමාජයේ සිදුකරන රූපලාවණ්‍ය ක්‍රියාකාරකම් අනුව හිස ගල්වන ෂැම්පු වර්ග, ඩයි වර්ග, කෙස් වර්ණ ගැන්වීම්. ශරීරයේ ගල්වන නොයෙකුත් ක්‍රීම් වර්ග, විටමින් වර්ග, මුහුණ අලංකරණය කරන ක්‍රීම් වර්ග ,මේකප් වර්ග ආදිය නිසා ඒවා අසාත්මික වීම හේතු කොටගෙන ද සම කැසීමට ලක් විය හැකි ය.

කැසීම් රෝග තත්ත්වය සඳහා බාහිර ප්‍රතිකාර මෙන්ම ශරීර අභ්‍යන්තරයට ප්‍රතිකාර කිරීම කළ යුතු ය. ප්‍රථමයෙන්ම රුධිරය පිරිසුදු කිරීම සඳහා කෂාය වර්ග ලබා දිය යුතු ය. යට සඳහන් කරන ලද නුසුදුසු ආහාරවලින් වැළකිය යුතු ය. තමන් පාවිච්චි කරන ඇඳුම්. විශේෂයෙන්ම යට ඇඳුම්, තුවා, ඇද ඇතිරිළි, සබන් වර්ග, සුදුසු ආකාරයට පිරිසුදුව පාවිච්චි කිරීමත්. ඒවා තමන් පමණක්ම පාවිච්චිය සඳහා යොදා ගැනීමත් කළ යුතු ය.

බාහිර ප්‍රතිකාර වශයෙන් ගංසූරිය කොළ, පොතු, කොහොඹ කොළ පොතු. වෙනිවැල්ගැට, නිදිකුම්බා , අත්තික්කා පොතු, බෙලි කොළ, නික කොළ, අමු කහ ආදිය මිශ්‍රකර තම්බා ගත් වතුරෙන් ඇඟ සේදීම සුදුසුයි.

පිණ්ඩ තෙල්, ශීතෝදක , නීල්යාදි , සර්ව විෂාදී තෙල් ආලේප කරන්න.

බෙලිමල්, රණවරා, ඉරමුසු, වෙනිවැල් ගැට, බෙලි කොළ ආදිය පානයට සුදුසු වේ.

කුෂ්ට, දද හා පණු කැවිලි ආදි රෝග හා ඊට ප්‍රතිකාර

හේතු – කිරි සහ මස් වැනි එකිනෙකට විරුද්ධ වු විෂම ආහාර ගැනීම, අජීර්ණාදී ඇතිවී ආහාර ගෙන නැවත වැඩිපුර ආහාර ගැනීම, මලවේග දරා සිටීම, ව්‍යායාම නොකිරීම, අධික ලුණු ඇඹුල් ගැනීම, දහවල නිදා ගැනීම, රාත්‍රී නිදි වැරීම , භය ,ශෝකය, ක්‍රෝධය, ව්‍යාකූල භාවය, අපිරිසුදු භාවය, අධික දහදිය දැමීම හෝ නොදැමීම, අන් අයගේ වස්ත්‍ර පරිහරණය , සම රළු බව, තද සීතල ඇතුළුව තවත් කාරණා රැසක් කුෂ්ට සඳහා හේතු පාදක වන බව ආයුර්වේද ග්‍රන්ථ පෙන්වා දෙයි.

මඟුල් කරඳ පොතු, අරළු, අබ පියලි, කහ. බෝ ඇට, සවිද ලුණු, වළගසාල් එක පමණ ගෙන ගෝ මුත්‍රා වලින් අඹරා ගාන්න.

ඊටම – කොට්ටං ,සවිද ලුණු. අබ, වළඟසාල්, තෝර ඇට, එක පමණ ගෙන කාඩි දියෙන් අඹරා ගාන්න.

ඊටම – තල ඇට, තිපල්, තිකුළු, බදුලු ඇට එක පමණ ගෙන සීනි මී පැණි ගිතෙල් එක පමණ දමා ආහාරයට ගන්න.

ඊටම – රසකිඳ, තිපල්, වෙනිවැල්. කලං දෙකයි මංචාඩි අට බැගින් ගෙන කෂාය කර කකාරා දෙන්න.

ඊටම – බෝඹු ඇට චූර්ණය , එළ එඬරු හා මී පැණි දෙකින් අනා වළඳන්න. එළමෝරු ප්‍රතිවාප වේ.

ඊටම – තිපල්, කොට්ටං, වළගසාල්. තුන් වර්ගය එක පමණ ගෙන කුඩු කොට මී පැණියෙන් අනා ලේහ කොට වළඳන්න.

ඊටම – කොට්ටං දෙසදුන් එක පමණ ගෙන අඹරා කිරි කෂාය හා මී පැණි එක සමව ගෙන අනා ලේහ කරන්න.

ඊටම -රත්නිටුල්, බදුලු ඇට. වම්මුතු, වළගසාල් යන මේවා කලං 12 ක් ගෙන කෂාය කකාරා වළඳන්න.

ඊටම – ඇහැළ පිළිල කුඩු කොට කොහොඹ තෙලෙන් අනා මසක් උදේට වළඳන්න

ඊටම – වැල්මදට,අරළු, බුළු, නෙල්ලි, රසකිද. වෙනිවැල්ගැට. කලං 2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිද පෙරා උදේට එරඩු තෙල් සවසට සහිද ලුණු දමා බොන්න

ඊටම – වරා මුලේ පොතු සහ ඇහැළ ගසේ පොතු සමඟ ආඩතෝඩා මුල් ද ගෝ මූත්‍රයෙන් අඹරා ගෙන කුෂ්ටය මත ආලේප කරන්න.

ඊටම – රණවරා මුලේ පොතු, කීකිරිදිය, සූදුරු, කළාදුරු බෝධි ඇට යන මේවා අව්වේ වේලා කුඩුකර කොහොඹ තෙලින් ආලේප කරන්න.

ඊටම – සුවඳ කොට්ටන්, පෙති තෝර, වෙනිවැල්ගැට, කරද, වැල්මී, හිරියල්. සතකුප්ප යන මේවා මී පැණියෙන් අඹරා කුෂ්ටයේ ආලේප කරන්න.

ඊටම – බුළු ඇට. පිච්චමල්, ලාකඩ, වියළි ඉඟුරු, තිප්පිලි, ගම්මිරිස්, සමසේ ගෙන අඹරා ගල්වනු, කුෂ්ටය නසා සිරුර පැහැපත් කරවයි.

ඊටම – සුවඳ කොට්ටන්, මගුල් කරඳ සමසේ ගෙන සිහින්ව අඹරා කුෂ්ටයෙහි හොඳින් ගල්වන්න.

ඊටම – දෙසදුන්, ලොතු සුඹුළු, සවිදලුණු සමසේ ගෙන කුඩුකර ශරීරය ගැල්වීමෙන් කුෂ්ට නසයි.

ඊටම – වළගසාල්. ගම්මිරිස්, මනෝසීල සමසේ ගෙන එය ආලේප කිරීමෙන් කුෂ්ට නසයි.

ඊටම – කෙසෙල් පතුරු හා කරල් සැබේ මුල් පුලුස්සා අළු ගෙන තලතෙලින් ගාන්න.

ඊටම – අමු ඇට, පින්න කොළ, ලාකඩ ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි අඹරා කුඩුකර ගාන්න.

ඊටම – කැටකෑල දළු අඹරා ආලේප කරන්න.

ඊටම – අමු කහ වෙනිවැල් ගැට කුඩු සමඟ අඹරා එළඟිතෙලින් කකාරා ගාන්න.

ඊටම – ගම්මාළු කොළ ටිකක් ගෙන අඹරා ආලේප කරන්න.

ඊටම – කතුරුපිල ඇට, මුල්, කොළ ,පේර කොළ, ඔළිඳ කොළ, දීකිරි සමඟ අඹරා සමේ උපද්‍රව සහිත ප්‍රදේශයේ ආලේප කරන්න.

ඊටම – කුෂ්ට රෝගීන්ට වම්බටු ආහාරයක් මෙන්ම හොඳ ඖෂධයකි. ඕනෑම චර්ම රෝගයකට එය ගුණදායකය. වම්බටු ගෙඩි 3 ක් ගෙන හතරට ඉරා ශුද්ධ නෙල්ලික්කා ගෙන්දගම් කලං 2 ක් අඹරා ඇතුළට ලා, පොල් තෙලින් බැද තුන් උදයක් වළඳන්න. එයින්ම බත් කෑමට ගන්න. කුෂ්ට රෝගීන්ට ගුණයි.

ඊටම – නියං වැටකොළු ඇට, අබ ඇට, කරඳ ඇට ආදිය සම සමව එකට ගෙන කොටා මිරිකා කකාරවා ගත් තෙල ආලේප කරන්න.

ඊටම – ඇත්තෝර කොළ, කොහොඹ කොළ, නිදිකුම්බා කොළ, ගංසූරිය කොළ , ලුණුවිල, අමුකහ, වෙනිවැල්ගැට ආදිය එකට දමා තම්බා සෝදන්න.

ඊටම – අරළු, බුළු,නෙල්ලි, තළා දමා රත්කර ගත් වතුර කරවිල කොළ දෙහි යුෂින් අඹරා ගාන්න.

ඊටම – ගොටුකොළ තල තෙලින් මළවා බදින්න

ඊටම – මදුරුතාල, අමුකහ, කොටා මළවා බදින්න

ඊටම – කුෂ්ටවල සැරව පිරී ඇත්නම් හුළං විස්කෝතු ඇල්වතුරින් පොඟවා බදින්න.

ඊටම – රත්හඳුන්, සුදුහඳුන්, නෙල්ලි, රසකිද, විෂ්ණුක්‍රාන්ති, ලුණුවිල ආදි මින් එකක් දෙකක් තම්බා බොන්න.

පුද්ගල ශරීරයේ අභ්‍යන්තරයේ හටගත් රෝග සුවයට සේම ශරීරයේ බාහිරව හටගත් දද , කුෂ්ට, තුවාලවලට ද අනෝදා හොඳ වේදනානාශක ගුණ සපිරි ඔසුවකි.

කුෂ්ටයෙන් ඇතිවන දැවිල්ල සමනය වීමට

රතු කැකුළු හාල් ටිකක් මුදවාපු එළකිරෙන් අඹරා කුෂ්ටයේ ගාන්න.

ඊටම – තල ටිකක් කබලෙන් බැද ගිතෙලින් අඹරා කුෂ්ටයේ ගාන්න.

කුෂ්ටය සේදීමට – කොක් මොට තැම්බූ ජලයෙන් සෝදන්න

ඊටම – පෙති තෝර කොළ, දොඩම්පනා කොළ, සියඹලා කොළ, කොහොඹ කොළ, අමුකහ යන මේවා වතුර දමා තම්බා කුෂ්ටය සෝදා ඊට පසු බෙහෙත් ආලේප කරන්න.

කෂායක් –කුෂ්ටයට අදාළ ආලේප ගෑම සිදු කරන අතර මෙම කෂාය බීමට දෙන්න. අරළු, නෙල්ලි, දුම්මෑල්ල, පත්පාඩගම්, කටුකරෝසන, රසකිඳ, කළාදුරු අල, මුද්දරප්පලම් යන මේවා කලං 2 බැගින් ගෙන වතුර පත 8 -1 ට සිඳ සහිදලුණු දමා පත භාගය බැගින් උදේ සවස වඩි 6 ක් බොන්න.

දදය සේදීමට – කොහොඹ කොළ , අමුකහ, පෙති තෝර කොළ තම්බා එම වතුරෙන් සෝදන්න.

දදයට බෙහෙත් – බැදිහාල් පිටි එළඟිතෙලින් අඹරා ගාන්න.

ඊටම – හීල්බත්, හීන් උඳුපියළි, එළගිතෙලින් අඹරා ගාන්න.

ඊටම – ලොකු කැබැල්ල ගසක පොත්තක් ගලවා ගෙන මී පැණියෙන් ගලගා ගාන්න. කෂාය බොන දිනවල ස්නානය අගුණයි. එළවළු සමඟ බත් ආහාරයට ගන්න.

 

මතු සම්බන්ධයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.