ඇඟ කැසීම, දද කුෂ්ඨ, අළුහම්, සම රැලි වැටීම ඇතුළු විවිධ චර්ම රෝග හා ඊට ප්‍රතිකාර විධි

දෙසැම්බර් 25, 2020

පසුගිය සතියෙන් ඉතිරි...

දද, කුෂ්ට පණු කැවිලි සඳහා – ගංසූරිය මුලෙහි පොතු වෙනිවැල්ගැට අඹරා ගානු. දද කුෂ්ට ගෝමරවලට – කොහොඹ කොළ ,අමුකහ, කොකුම් පොතු, කොටා අව්වේ වියළා ඇගේ ගානු. ඇඟ වර්ණවත් වේ.

දද හා පණු කැවිලිවලට – ඇත්තෝර කොළ, දෙහි ඇට මද, සුදුලූණු, දෙහි ඇඹුලින් අඹරා ගාන්න.

හොරි,වණ, දද, කුෂ්ට,කඩුවේගන් ආදියට – අමු කොහොඹ කොළ කබලෙන් බැද සිනිඳුව අඹරා පිරිසුදු කොහොඹ තෙලින්ද අඹරා ගාන්න.

කුෂ්ට, වණ, දද, කුෂ්ට, කඩුවේගන් ආදියට – අමු කොහොඹ කොළ කබලෙන් බැද සිනිඳුව අඹරා පිරිසිදු කොහොඹ තෙලින් ද අඹරා ගාන්න.

කුෂ්ට, විෂ, දද, සහ අසාත්මිකතාවයට – ඇත්තෝර බීජ ලේපය හෝ පත්‍ර ස්වරසය ආලේප කරන්න. ඇත්තෝර කොළ මැල්ලුම යොදන්න.

ඊටම – කරඳ ඇට, කෙළිද ඇට අඹරා ගාන්න.

ඊටම – කරද ඇට, කොට්ටං . තුවර ඇට, ඇල්දියෙන් අඹරා ගාන්න.

දහදිය කුෂ්ටයට – දෙහි කොළ අමු කහ, කොහොඹ කොළ, නෙල්ලි එකට දමා තම්බා ගත් වතුරෙන් සෝදා නීල්‍යාදි තෙලට කහකුඩු ස්වල්පයක් මිශ්‍ර කර ගෑමෙන් වහා සුව කර ගත හැකිය.

කැසීම දාහය සහිත සමේ රෝග වලදී – කුඹුක් පොතු අමුකහ දමා තම්බා එම වතුරින් තුවාල හොඳින් සෝදන්න.

දද වලට – ඇත්තෝට ඇට රාබු අල යුෂයෙන් අඹරා ආලේප කරන්න. ඇත්තෝර කොළ යුෂ ආලේප කරන්න. ඇත්තෝර කොළ මිටියක් දෙකට කපා දදයේ අතුල්ලන්න.

දරුණු කුෂ්ට සඳහා – කැබැල්ල පොතු කොටා ගත් යුෂට තඹ කාසි 07 ක් දමා ළිප තබා කකාර ගාන්න. නැතහොත් කැබැල්ල පොතු අමුකහ දමා කොටා යුෂ ගෙන ළිප තබා කකාරා ගාන්න.

ඊටම – කුෂ්ටවලට මී තෙල් ආලේප කරන්න.

ඊටම – කැබැල්ල කොළ යුෂ බාහිරව ආලේප කරන්න.

අසාත්මිකතා හේතුවෙන් සමේ ඇතිවන කැසීම වලට – මී පොතු තලා අඹරා ද්‍රවනයක් ලෙස සාදාගෙන කසන ස්ථානවල දින කිහිපයක් ගාන්න. කැසීම් වේදනා නැතිවෙනවා පමණක් නොව දින කිහිපයකින් දදයත් සුව වෙයි. ( මී පොතුවල වේදනා නාශක ගුණය, ප්‍රදාහ නාශක ගුණය, වගේම විෂබීජ නාශක ගුණයෙන්ද යුක්තයි) පැරණි දරුණු කුෂ්ට සඳහා – කැබැල්ල පොතු, කොටා ගත් යුෂයට තඹ කාසි 7 ක් දමා ළිප තබා කකාරා ගාන්න.

ඊටම – කැබැල්ල පොතු, අමුකහ දමා කොටා යුෂ ගෙන ළිප තබා කකාරා ගාන්න.

දද කුෂ්ට කැළැල් නැති කර ගැනීමට

සූදුරු කබලේ බැද කුඩු කර එයට දෙහි ගෙඩි භාගයක් යුෂ එක්කර සීනි හා ලුණු ස්වල්පයක්ද ඊට එකතු කර පානය කරන්න. උදේ දවල් සවස ලෙස දිනකට තුන් වතාවක් බැගින් දින කිහිපයක් මෙය පානය කරන විට සිරුරේ ඇති දද, කුෂ්ට ලප කැළැල් ඉවත් වෙයි.

සමේ ඇතිවන තුවාල, බිබිලි /ගඩු සහ පැල්ලම්වලට

සමේ තුවාල සඳහා – කතුරුමුරුංගා කොළ යුෂ ගාන්න. අමු කහ තම්බා තුවාල සේදීමෙන් තුවාල සුව වේ.

කඩුවේගන් තුවාල සඳහා – ඉල්ල කොළ තුවාලය මත තබා බඳින්න

ඊටම – වෙඩිලුණු, ගෙන්දගම්, ඇත්තෝර දළු, සමව ගෙන දෙහි ඇඹුලින් වරින්වර අඹරා ගාන්න.

සමේ බිබිලි හටගත් විය – කහකුඩු තලතෙල් හා මිශ්‍ර කර ආලේප කරන්න.

තුවාල හා බිබිළි සඳහා – අශෝක පොතු ස්වල්පයක් පිරිසුදු කර අරගෙන හොඳින් ගලේ අඹරා කල්කයක් ලෙස සාදාගෙන එය තුවාලවල සැරව බිබිළිවල ආලේප කරන්න.

දහදිය බිබිළිවලට – කොහොඹ කොළ සහ මුරුංගා මල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කරන්න. පැය දෙකකින් පසු ස්නානය කර සෝදා හරින්න. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් සැලසෙනු ඇත.

දහදිය බිබිළි හා අසාමාන්‍ය දහදිය දුගඳට – අධික උෂ්ණය පවතින කාලවලදී දහදිය බිබිලි මතුවීම පමණක් නොව දහදිය ගද වැඩියෙන් මතුකරවයි. එහිදී බෙලි කොළ අඹරා සිරුරේ ආලේප කොට පැයකට පමණ පසු ස්නානය කිරීමෙන් දහදිය බිබිළි නැතිවී දුගද හැමීමද නැති කරයි.

දිය බිබිළි වලට – කොහොඹ කොළා හා මුරුංගා කොළ සිහින් වෙන්ට අඹරා දෙහි ඇඹුල් ස්වල්පයක් දමා ගෑමට හැකි ප්‍රමාණයට වතුර ද දමා එම ස්ථානයන්හි හොඳින් තවරන්න. දිය ගෙඩි හා බිබිළි ඉදිමුම් වහා සුවවනු ඇත.

සමේ බිබිළි ඇතුළු සමේ රෝග සඳහා – පොල්පලා සහමුලින් ගෙන ඇල්දියෙන් අඹරා ආලේප කරන්න.

දහදිය බිබිළි හා කුෂ්ටවලට – කරවිල කොළ ගෙන දෙහි ඇඹුල්වලින් සිහින්ව අඹරා කුෂ්ට දහදිය බිබිළිවල ආලේප කරන්න. ඇඟට සිසිල් බවක් ලබා දී සුවය සලසයි.

දහදිය බිබිලිවලට – දහදිය බිබිළි ඇති තැන පොල් වතුරෙන් තෙමන්න. සුවය සැලසේ.

සියලුම ගඩු සඳහා – කැටකෑල පොතු, රත්කෑලිය පොතු කොටා යුෂ ගෙන පැණි සිඳ ආලේප කරන්න.

ඊටම – කැටකෑල පොතු කැබැල්ල පොතු මදටිය පොතු, රන්මානිස්ස කොළ යුෂයෙන් හීනටි හාලෙ බත් අඹරා ආලේප කරන්න.

ඊටම – අංකෙන්ද, කුඩුමිරිස්ස , නික, රුක්අත්තන, මිල්ල ආදියේ පොතුවල යුෂ සමාභාගව ගෙන හීනටි හාලේ පිටි සමඟ අඹරා ගඩුවල ගාන්න.

උණුසුම් දේශගුණික තත්ත්වයකදී උෂ්ණ බිබිළි, දහදිය බිබිලි, හා ශරීර දැවිල්ල ආදිය සඳහා – නෙළුම් කොළ, සුදුහඳුන් සහ නෙල්ලිගෙඩි එකට අඹරා කල්කයක් සාදාගෙන එය ශරීරයේ ආලේපකර පැය 3 ක් පමණ නිදහසේ සිට ස්නානය කිරීම මගින් එම රෝග පීඩා සියල්ල සුව වෙයි.

ගඩු රළු බව නැසීමට – කැප්පිටිය දලු, පෝටා දලු, හාතාවාරිය දලු, තරුණ දලු, මිල්ල දලු ආදිය කහලුණු දමා කොටා මළවා බඳින්න.

මුහුණේ තිබෙන පැල්ලම් මැකීමට – වෙනිවැල් ගැට, සුවඳකොට්ටම්. කලාඳුරු අල, කොත්තමල්ලි එක පමණ ගෙන අව්වේ වේලා කුඩුකර වෙනිවැල්ගැට තැම්බූ වතුරින් අඹරා ගාන්න. (බෙහෙත් අඹරන ලද ගලක නම් වඩාත් හොඳයි) ඉන්පසු රස්නය නොයන පරිදි බෝතලයක අසුරන්න. පිපිඤ්ඤා ගෙඩියක් මිරිකා යුෂ ගෙන එයින් දින දෙක තුනක් මුහුණ සෝදන්න. දිනපතා නින්දට පෙර මෙය කරන්න. මුහුණේ තිබෙන අශෝභන පැල්ලම් නැතිවී යයි. මුහුණ දීප්තිමත් වේ.

මුහුණේ තිබෙන පැල්ලම් මැකීමට – වෙනිවැල් ගැට, සුවඳ කොට්ටම්, කලාඳුරුඅල, කොත්තමල්ලි එක පමණගෙන අව්වේ වේලා කුඩුකර වෙනිවැල්ගැට තැම්බූ වතුරින් අඹරා ගාන්න. (බෙහෙත් අඹරන ලද ගලක නම් වඩාත් හොඳයි) ඉන්පසු රස්නය නොයන පරිදි බෝතලයක අසුරන්න. පිපිඤ්ඤා ගෙඩියක් මිරිකා යුෂ ගෙන එයින් දින දෙක තුනක් මුහුණ සෝදන්න. දිනපතා නින්දට පෙර මෙය කරන්න. මුහුණේ තිබෙන අශෝබන පැල්ලම් නැති වී යයි. මුහුණ දීප්තිමත් වේ.

මුහුණේ තිත් ලපවලට – කටු ඉඹුල් ගහේ කටු එළකිරෙන් අඹරා රාත්‍රී නින්දට යන විට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.

ඊටම – කහ, වෙනිවැල්ගැට, ලොත් සුඹුළු, අබ, මනෝසීල, සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා නින්දට යන විට මුහුණේ ගාන්න. උදේට ඇල්දියෙන් මුහුණ සෝදන්න. (ක්‍රීම් පියර වර්ග ආදිය ආලේප නොකරන්න)

ඊටම – අමු කහ පොල් සමඟ කොටා ඉෂ්මගෙන ගාන්න. ලප මැකේ.

මුහුණ ඔපවත් වීමට – නුග පොතු කෂායකර මුහුණ සෝදන්න

දද, කුෂ්ට, හොරි, ලප, කැළැල්, ආදියට – ශෝධිත ගෙන්දගම් සහ මඤ්ඤොක්කා කොළ ස්වල්පය බැගින් මිශ්‍ර කර හොඳින් කොටා රෝගය පවතින ස්ථානවල ආලේප කරන්න.

සම රැළි වැටීම

වයස 35-40 පමණ වන විට කාන්තා සහ පිරිමි දෙපක්ෂයේම සම රැළි වැටීම ආරම්භ වීම සිදුවෙයි. මෙම තත්ත්වයෙන් බොහෝදුර වැළකී සිටීමට නම් සංවිධානාත්මක දින චරියාවක් පවත්වා ගැනීම වැදගත්ය.

අපේ සම, අපිචර්මය සහ චර්මය ලෙස කොටස් දෙකකි. චර්මය පිහිටා තිබෙන්නේ අපිචර්මයට යටිනි. සෛල ස්ථර ගණනාවක් එක මත එක පිහිටා අපිචර්මය සැකසී තිබේ. මෙම නිසල ස්ථරවල මතුපිට ඇති සෛල තුළ කෙරටින් වැඩි වශයෙන් අඩංගු වේ. මෙමගින් සමට ඇතිවන බාහිර උවදුරු වළක්වන අතරම ජලය සම හරහා යාමද වළක්වයි. චර්මයෙහි ඇති සෛල තුළ වර්ණක සහිත සෛල රුධිර නාළ හා රෝම කූපවල මූලයන් පිහිටා ඇත. සම රැළි වැටීමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සමෙහි අපිචර්මයට යටින් පිහිටි චර්මයයි.

සම රැළි වැටීම ඉක්මන් කරන හේතු

අද වයස 16 සහ 18 පටන්ම වාගේ යුවතියන් මෙන්ම තරුණ කාන්තාවන් නිතර පේෂල් කිරීම නිසාවෙන් රැළි වැටුනු සම තාවකාලිකව යම් යහපත් තත්ත්වයකට පත්වන නමුත් දැඩි ලෙස දිගින් දිගටම නොකඩවා පේෂල් කිරීමට යාමෙන් වයසට වඩා සමේ රැළි වැටීම දිගුකාලිනව ඇතිවිය හැකි බවත්, අවධාරණය කළ යුතුය. නිතර පේෂල් කිරීම නිසා සමේ ඇදෙන සුළු ස්වභාවය අඩුවී යන අතරම ස්ථූලතාවය අඩු කර ගැනීමට ඇතැම් කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑම පාලනය කිරීමට යාමෙන්ද සම රැළි වැටීම සිදුවේ.

අධික හිරු රැස් සමට හානි කරයි

අධික සූර්ය රශ්මිය සිරුරට පතිතවීම නිසා සමේ වියළි ස්වභාවය වැඩි වන්නට පටන් ගනී. එවගේම සමේ කිසියම් දැවිල්ලක්ද හට ගනී. ඒ හා සමඟම සිදුවන්නේ සම කැසීමට ලක්වීමයි. මෙහිදී සමහර විට සමේ කොරළ තත්ත්වයක් ඇතිවන්නටත් හැකියාව ලැබේ. එනිසාම ඒ ඒ පුද්ගලයන්ගේ සමෙහි විවිධාකාර රෝග තත්ත්වයන් මතුවන්නටද පටන් ගනී.

සම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. සමහර අයගේ සම ස්වභාවයෙන්ම වියළි බවක් ගනී. එහිදී එබදු අයට දද වැනි රෝග හට ගැනීමේ සම්භාවිතාව වැඩියි. සම කැසීමට ලක් වීම නිසා දියර ගැලීමක්ද සිදු වී ඇතැම් විට තුවාල පවා හටගත හැකියි. හිරු එළියට නිතර නිරාවරණය වීම නිසා සමෙහි ඉක්මනින් විවිධ රෝගාබාධ හට ගැනීම නිතැතින්ම සිදුවෙයි. එනිසා මෙබදු කැසීම ආදී රෝගාබාධවලට ලක්වී ඇති අය හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීම ඉතා සුදුසුයි. මෙවැනි අයට හිරු එළිය නිසා ඇතිවන සංවේදිතාවය වැඩි බවක් පෙන්වයි. එනිසාම අත, මුහුණ, බෙල්ල හා පපුව වැනි ප්‍රදේශයන්හි විවිධ වෙනස්කම් ඇති කරවයි.

මතු සම්බන්ධයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.