වර්තමානයේ සුලබ වන විවිධ මුඛ රෝග

මාර්තු 26, 2021

අකාලයේ දත් සෙලවීමට

කයිප්පු, සහිඳලුණු කළන් 3 බැගින් ගෙන කුඩුකර ගෙන තාච්චියකට තලතෙල් තුන් කාලක් දමා එයට එම කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුණු පසුව ඉන් ටිකක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න. දිනකට තුන් වරයි. දත් සවි වේ.

ඊටම – පුවක් මුල්, කයිල මුල්, කරල් හැබ මුල්, අරළු, පිලමුල් කකාරා කට සෝදන්න.

සෙලවෙන දත් සවිවීමට – යව. සියඹලා, කංසා, පිල, කනේරු යන මේවායින් කවර හෝ මුලක් ගෙන දත් මදින්න. දින කිහිපයකින් දත් සවිවේ.

ඊටම – සීනක්කාරම්, කෙළිඳ හාල්, පල්මානික්කම්, තිප්පිලි, කරාබුනැටි, සාදික්කා, වසාවාසි. අරළු, බුළු, නෙල්ලි, කුරුඳු පොතු යන මේවා සමව ගෙන කුඩුකර දත් මදින්න (පල්මානික්කම් හා සීනක්කාරම් කබලෙන් බැද ගත යුතුයි) දත් සෙලවීම නවතී.

5.දත් මුල් දියවීම හා ලේ සැරව යාමට ( කට සේදීමට)

කපුරු, සීනක්කාරං, පල්මානික්කම්, ගම්මිරිස්. කබලෙන් බැද කුඩු කර තැඹිලි වතුරට දමා කට සෝදන්න.

ඊටම – ගොටු නැටි, මූණමල් පොතු සමව ගෙන තම්බා සීනක්කාරං බැද කුඩුකර ඊට යොදා පිරිසුදු තලතෙල් ටිකක් මිශ්‍රකර කට සෝදන්න.

ඊටම – අරළු, බුළු, නෙල්ලි, සිද්ධිගුරු , යබොර, කටු කරඬු මුල්, කුකුරුමුවන් ගෙඩි, කහ, පුවක් යන මේවා සමව ගෙන තම්බා ගත් වතුරෙන් දිනකට කිහිප වරක් කට සෝදන්න. මුඛ රෝග සුව වේ.

ඊටම – පිලමුල්, මූණමල් පොතු, නික කොළ තම්බා සීනක්කාරං කුඩු දමා දිනකට දෙතුන් වරක් කට සෝදන්න. දත් මුල් දියවීම සහ ලේ සැරව යාම නවතී.

ඊටම අරළු තම්බාගත් වතුරට සීනක්කාරං කුඩු ටිකක් දමා දිනපතා කට සෝදන්න.

ඊටම – කතුරුපිල මුල් චූර්ණය දත් මැදීමට ඉතා යෝග්‍ය වේ. කතුරුපිල දඩු හා මුල් වලින් දැහැටි කූරු සාදා දත් මැදීම යෝග්‍යයි.

විදුරුමස් දියවීමට

පේර කොළ තම්බා සීනක්කාරම් කුඩු දමා කට සෝදන්න

මූණ මල් පොතු. පිල මුල්. ගම්මිරිස් . අරත්ත අල, කරාබු නැටි, සීන මුල්. තල් පොතු, දැවූ අඟුරු සමභාග ගෙන මී පැණියෙන් අඹරා විදුරුමසේ ගාන්න. විදුරුමසෙන් ලේ යන විටත් මෙය ගුණයි

විදුරුමස් දියවීම නිසා කට සේදීමට – අරළු, බුළු, නෙල්ලි, සීනක්කාරම්, පිලමුල්, පුවක්මුල්, කලාඳුරු, සමන්පිච්ච කොළ සමව ගෙන තම්බා විටින් විට කට සෝදන්න

විදුරු මස් දියවීමෙන් වැළකීමට අවශ්‍ය ඖෂධයක් නිෂ්පාදනය කර ගැනීම

අවශ්‍ය දේවල් – සාමාන්‍ය ප්‍රමාණයේ අරළු ගෙඩි ග්‍රෑම් 200 ක් පමණ හා කරුංකා ගෙඩි ග්‍රෑම් 100 ක් පමණ

සාදාගන්නා ආකාරය

අරළුගෙඩි හොඳින් සෝදා කබලක දමා හොඳින් බැදගන්න. මෙය ගෙඩි පිටින් හෝ තලාගෙන බැද ගත හැකිය. හොඳින් රන්වන් පැහැය වෙන තුරු බැදගත් අරළු කොටා කූඩු කර හළා ගන්න. කරුංකා ගෙඩිද කබලේ දමා අඟුරු වෙනතුරු බැද ගන්න. අඟුරු කරුංකාද වංගෙඩියක දමා කොටා හළා ගන්න.

මුලින්ම අරළු කුඩු වලින් භාගයක් ඉවත් කර ගන්න. එම ප්‍රමාණය වෙනම බෝතලයක අහුරා ගන්න. ඉතිරි කුඩු වර්ග දෙක දැන් ග්‍රෑම් 100 බැගින් ඇත. එම කොටස් දෙක එක් කොට නැවත හළා ගන්න. මෙහිදී මෙම කුඩු හොඳින් මිශ්‍ර කරගත යුතුය. මෙම කුඩුද වෙනම බෝතලයකට අසුරා ගන්න. දැන් ඔබ සතුව බෙහෙත් වර්ග දෙකක් ඇත. පළමු කොටස තනිකර අරළු බැදගෙන කුඩුකර ග්ත කොටසය. අනික් කොටස අරළු සහ කරුංකා අඟුරු යන දෙවර්ගය එක් කොට සකසා ගත් කොටසය. මේවා වෙන වෙනම බෝතල් වල දමා ගන්න. එක් බෝතලයක් කළු පැහැයෙන් ද අනෙක් බෝතලය දුඹුරු පැහැයෙන් ද ඇති නිසා වෙන්කර හඳුනා ගත හැකි වනු ඇත.

පාවිච්චි කරන ආකාරය

රාත්‍රී නින්දට යන්නට පෙර සුපුරුදු පරිදි දත් මදින්න. ඉන් පසු අරළු පමණක් ඇති බෝතලයෙන් කුඩු ටිකක් අතට ගෙන තමාගේම ඇඟිල්ලෙන් විදුරුමස් වල හොඳින් ආලේප කරන්න. මෙහි ඇති තද කහට ගතිය හොඳින් විදුරුමස් තුළ කාවදින ලෙස ඇඟිල්ලෙන් මදින්න. නිදා ගන්නට පෙර කට සෝදන්නේ නැතිව හිටිය හැකිනම් එය තවත් ගුණදායක වේ. නැතිනම් වතුර ටිකකින් කට සෝදා ගන්න. මේ ප්‍රතිකාරය දින 30 ක් පමණ එක දිගට කරන්න. ඉන් පසුව සතියකට වාර 3-4 වතාවක් සිදු කරන්න. මෙසේ අවුරුද්දක් පමණ කාලයක් සිදු කළ යුතුය. වසරක් පමණ කාලයකට පසු තමාට අවශ්‍ය නම් මෙම ප්‍රතිකාර නවතා දැමිය හැකිය. නැතිනම් තවත් මාස 6 ක් පමණ සිදුකළාට කම් නැත. විදුරු මස් වලින් සියයට 30 ක් වත් තිබේනම් නැවත විදුරු මස් දළු ලා වැඩෙනු ඇති. එසේ නැතිනම් දැනට ඇති ඇති ප්‍රමාණයෙන් නවතා ගත හැකිය.

කරුංකා අඟුරු සහ අරළු කුඩු මිශ්‍ර කර සකසා ගත් ඉතිරි කුඩු ග්‍රෑම් 200 දත් මදින්නට යොදා ගන්න. මෙම කුඩු වලින් දත් මදින විට මුඛය සහ දත් හොඳින් පිරිසිදු වේ. මෙය නිරෝගි කෙනෙකුට වුවත් උචිතය. මෙම කුඩුවල තියෙන ඖෂධ දත් මුල් වල ඇති කේෂ නාලිකා හරහා අපද්‍රව්‍ය සහිත හිස් කබලේ යට ඇති සිවිය පිරිසුදු කරයි. මෙසේ එම සිවිය අපද්‍රව්‍ය වලින් තොර වීම නිසා ඉරුවාරදය ඇත්නම් එය සුව වේ. දත් මුල් දිය වීම නතර කර නැවත විදුරුමස් ලියලයි. මෙය දිනපතා පාවිච්චි කළ හැකි ඖෂධීය දත් බෙහෙතකි. අඟුරු යනු ඉතා හොඳ පවිත්‍රකාරකයක් බව අප දනිමු. අප මෙහිදී කරුංකා අඟුරු සහ බැදගත් අරුළු වලින් සිදු කරන්නේ අදාළ සිවිය පවිත්‍ර කිරීමයි. මේ අයුරින් දත් මුල් වල දිය වීමත් ඉරුවාරදයත් ඇස්වල ඇති වෙන වේදනාවත් සමනය වේ.

තොල් පැළීම, දිව කට වණ වීම, කටේ පණූු ගෙඩි වලට අමු බෙලි මද තනකිරි සමඟ අනා දෙතොලේ ආලේප කරන්න.

ඊටම – ඉඟුරු, ගම්මිරිස් , කරාබුනැටි, එනසාල් , සස්සඳ මුල්, සමන් පිචිච කොළ, කුරුඳු පොතු, අරත්ත අල, කලාදුරු අල කුඩුකර දත් මදින්න.

ඊටම – ඉඟුරු , ගම්මිරිස්, කහ, වදකහ, සුදුලූනු, සූදුරු, කළුඳුරු, අසමෝදගම්, එනසාල්, කොල්ලන් කොළ කුඩුකර රෙදි වැටියේ ඔතා තල තෙලින් හෝ කොහොඹ තෙලින් තෙමා ගිනි දල්වා නිවා දුම් උරන්න.

ඊටම – නික කොළ කොටා මිරිකා යුෂ ගෙන එපමණට තලතෙල් දමා හොඳින් කකාරා මුඛය සෝදන්න. දරුණු දත් කැක්කුම සුව වෙයි.

ඊටම – කතුරුමුරුංගා කොළ සහ මල් රතුලූනුූ සමඟ ගිතෙලින් උයා උදේ සවස ආහාරයට ගන්න.

කටතොල් පැළී වණ වෙනවාට

ගොටුකොළ සහමුළින්, රතුලූනු, හාතාවාරිය අල කළන් 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත භාගය බැගින් උදේ, සවස එළඟිතෙල් තේ හැන්ද බැගින් දමා දින කිහිපයක් පානය කරන්න.

ඊටම – ඉදි වැටුණු හබරල පිති ගෙන පුළුස්සා අළු ගෙන සුදුලූනු, වදකහ සමඟ අඹරා තල තෙලින් අනා තොලේ ගාන්න. මෙසේ දිනපතාම අට දිනක් කළ යුතු වේ.

උගුර කට තොල් වණ වෙනවාට - කරඳ ඇට, ඉරමුසු කොහොඹ කොළ, දුම්මෑල්ල කොළ, වණුවැල්, කහ සහ මී ඉටි මේවා සමව ගෙන එළඟිතෙලින් අඹරා එම තැන්වල ගන්න.

තොල්කට දිව පැලෙනවාට

අරළු, කේමාරිකා, රසකිද, කහට පුවක් කළන් 3 බැගින් වතුර පත 8-1 ට සිද පත භාගය බැගින් උදේ සවස සීනි සවිඳ ලුණු දමා බොන්න.

ඊටම – කතුරුමුරුංගා මල් සහ කොළ ගිතෙලින් මළවා කන්න

දිව පැළුණු විට

වෙනිවැල් ගැට, සමන්පිච්ච කොළ කහට පොත,ª මුවකීරිය , ලුණුවිල, මේ හැම පොල් කිරෙන් තම්බා අඹරා පැළුණු දිවේ ගාන්න. දිව පැළුම් රුජා අඩුවීම ගුණ ගෙන දෙයි.

උගුර කට වණ වී තිබෙන විට – කලාඳුරු අල, යවකාර ලුණු, මී පැණියෙන් අඹරා එයින්ම දියකර උගුර , කට සෝදන්න. සුව වේ.

තොල් සුදු වීමට

මුං ඇට කළන් 9 කීකිරිදිය කළන් 18 ගෙන වතුර පත 12-1 ට සිඳ පෙරා ගිතෙල් බින්දු කිහිපයක් දමා දින තුනකට වරක් සති දෙකක් බොන්න. තෝර ඇට, අමු කහ, තිත්ත කපුරු, කයිප්පු යන මේවා එක පමණ ගෙන වරාකිරි සමඟ අඹරා වරා කිරට දියකර එම කල්කය ගිතෙලට දමා පදමට කකාරා නිවා තබාගෙන දිනපතා තොල්වල ආලේප කරන්න.

කට දිව පැළීමට කල්කයක්

පිච්චමල් මිටක් ගෙන එළ ගොන් මුත්‍රයෙන් අඹරා දිව හා තොල්වල වරින්වර ආලේප කරන්න.

කටේ පණුගෙඩි වලට

වියළි ඉඟුරු, වැල්මී, ගම්මිරිස්, තිප්පිලි අක්‍රපට්ටා දෙහි ඇඹුලින් අඹරා මී පැණියෙන් අනා පණු ගෙඩිය මත තවරා සෙම අරින්න.

ඊටම – ඇඹරැල්ලා පොතු ලුණු දියෙන් ගලගා සෙම අරින්න. අත්තන ගෙඩියක් ඇට හැර තිත්ත තිබ්බටු ගෙඩි සමන්පිච්ච කොළ හා පෙරුම්කායම් සමව ගෙන අඹරා අත්තන ගෙඩිය තුළට බස්සවා හිරකර උණු අළුවෙන් තම්බා යුෂ මිරිකා දත මුල තබන්න.

 

ආයුර්වේද වෛද්‍ය

ආචාර්ය

ප්‍රභාත් සී.ඒ.ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.