ගතට සිතට සුවය දෙන හිසතෙල් ගෑම

අප්‍රේල් 9, 2021

තෙල් සකස් කරගන්නා ඖෂධවලට අඩංගු ඖෂධ හා එහි ශුභ මුහූර්ත සහ ඉන් ලැබෙන මහඟු ඵල ප්‍රයෝජන සහිත විස්තරාත්මක පත්‍රිකා දැනට දශක තුනක පමණ කාලයක සිට පවතින රජයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් රටෙහි දසත පැතිර ඇති විහාරස්ථාන මඟින් හා දේශීය වෛද්‍යවරුන් මාර්ගයෙන් අපේ ජනතාව අතට පත් කිරීම සුවිශේෂී අවස්ථාවක් සේ සැලකිය හැක. මෙවර අපට මෙම හිසතෙල් ගෑම සිදු කිරීමට සිදු වන්නේ පැතිර පවතින මේ වසංගත රෝගය ව්‍යාප්ත වන අවදියකයි. එබැවින් මෙම චාරිත්‍ර විධි අනුගමනය කිරීම ඉතා වැදගත්ය.

 

ඉපැරණි හෙළ සිරිත් විරිත්වලට අනුව නොබෝ දිනකින් උදාවන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර විධි අතර හිසතෙල් ගෑම ද සුවිශේෂී අවස්ථාවකි. මෙම හිසතෙල් ගෑමේ සුවිශේෂී දිනය 2021 අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්ව භාග 7.16 ට යෙදී ඇත.

 

මෙම චාරිත්‍ර විධිය අපේ පැරණි මුතුන් මිත්තන් නොකඩවා ඉටුකර ඇත. එදා හෙළ දිව ග්‍රන්ථය ලියූ රොබට් නොක්ස් විසින් ද තම ග්‍රන්ථයේ එදා අපේ මුතුන් මිත්තෝ ගොවිතැනට මෙන්ම සිංහල අවුරුදු චාරිත්‍රවලට ද නැකැත් යොදා ගනිමින් කැපවීමෙන් ක්‍රියා කළ අයුරු අපූරුවට සඳහන් කර ඇත. ඉපැරණි රාජධානිවල රජ වාසලේ මෙම නැකැත් වට්ටෝරුව රාජකීය වෛද්‍යවරයා විසින් සකස් කළ අතර, ගම් නියම්ගම්වල ඒ ඒ ගම් ප්‍රධානීන් විසින් එය ඉටුකරන ලදී. ගමේ විහාරස්ථානයට ද මෙහිදී මුල් තැන ලැබූ අතර, වෙදරාළ මෙන්න ගමරාළට ද සුවිශේෂී නැකැත් ලැබිණ.

නවම් මසට නව එළියක් ලද ගැමියා මැදින් මස අවසන් වනවාත් සමඟ ඉදිරියේ එන බක්මසට සූදානම් වූහ. හේන් ගොවිතැනට ද වැඩි කාලයක් යොමු කළ ගැමියා බක්මස උදාවන අවුරුදු සැණකෙළිය සඳහා ගොඩමඩ ගොවිතැනින් අස්වනු නෙළා ගැනීමට උත්සුක වූහ. ඒ අතර අවුරුදු චාරිත්‍රවලට නියමිත හිසතෙල් ගාන දිනය ද එදිනට අවශ්‍ය ඖෂධ වර්ග පිළිබඳව ද කල්තියා විපරමෙන් සිටියහ.

සූර්ය සංක්‍රාන්තියෙන් පසුව උදාවන මෙම සුවිශේෂී අවස්ථාව පදනම්ව රවිට ඉඹුල් පත්‍ර ද සඳුට දිවුල් පත්‍ර ද කුජට කොළොන් පත්‍ර ද බුධට කොහොඹ පත්‍ර ද ගුරුට බෝ පත්‍ර ද සිකුරුට කරඳ පත්‍ර ද සෙනසුරුට නුග පත්‍ර ද යොදාගන්නා බවත් ඒ ඒ වර්ෂ වල ග්‍රහ ගමන් හා නැකැත් උදාවත් සමඟ යෙදෙන ග්‍රහ බල අනුව ඉහත කී ඖෂධ දෙවර්ගයක් යොදාගන්නා බව කල් තියාම ඔවුන් දැනගෙන සිටියා පමණක් නොව මෙම විශේෂ හිසතෙල් හා නානු සකස් කර ගැනීම පිළිබඳව ගමේ වැඩිහිටියන් බොහෝදෙනා දැන සිටියහ.

මෙම තෙල් සකස් කරගන්නා ඖෂධවලට අඩංගු ඖෂධ හා එහි ශුභ මුහූර්ත සහ ඉන් ලැබෙන මහඟු ඵල ප්‍රයෝජන සහිත විස්තරාත්මක පත්‍රිකා දැනට දශක තුනක පමණ කාලයක සිට පවතින රජයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් රටෙහි දසත පැතිර ඇති විහාරස්ථාන මඟින් හා දේශීය වෛද්‍යවරුන් මාර්ගයෙන් අපේ ජනතාව අතට පත් කිරීම සුවිශේෂී අවස්ථාවක් සේ සැලකිය හැක. මෙවර අපට මෙම හිසතෙල් ගෑම සිදු කිරීමට සිදු වන්නේ පැතිර පවතින මේ වසංගත රෝගය ව්‍යාප්ත වන අවදියකයි. එබැවින් මෙම චාරිත්‍ර විධි අනුගමනය කිරීම ඉතා වැදගත්ය. ඉන් ගම්‍ය වන්නේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉතාම වටිනා අවස්ථාථාවක් බවය.

කෙසේ වෙතත් මෙම හිසතෙල් සකස් කර ගැනීමට ගන්නා ප්‍රධාන ඖෂධ අතර, ඉරිවේරිය, සැවැන්දරා, බෙලිමුල් ගෝරෝචන, නෙළුම් දඬු, ගොඩමානෙල්, විෂ්ණු කාන්ති, වෙනිවැල් ගැට, ඊතණ, ඉරමුසු මුල්, සස්සඳ මුල්, නස්නාරං මුල්, කලාඳුරු අල ආදිය වේ. වා පිත් සෙම් නැසීමේ බලයක් උමතු විකාර දොස් නැසීමේ බලයක්, බුද්ධි වර්ධනයක්, ගතට සිතට සුව සහනයක් එක් කිරීමේ ප්‍රබල ශක්තියෙන් යුත් මෙම ඖෂධ භාවිතයෙන් අදත් මෙම හිසතෙල් ගෑමේ නානු පිළියෙල කිරීම බොහෝ පළාත්වල සිදු කරන අතර, එහිලා මූලිකත්වය ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේට ද පාරම්පරික අපේ වෛද්‍යවරුන්ට ද ගමේ සිල්වත් ගුණවත් වැඩිහිටියනට ද හිමි වී තිබේ. හිසතෙල් ගෑමකදී සිදු කරනුයේ ගෙවී ගිය දිනයට ආචාර කිරීමටත්, උදාවන දිනය ගෞරවයෙන් පිළිගැනීම යන තේමාවයි. තවත් පැත්තකින් බලන විට හිසේ සිට දෙපතුල දක්වා පවතින අටඅනූවක් රෝග දෙසීයතුනක් ආන්ත්‍රා ආදිය පහකර යැවීම සඳහා හිසේ හිසතෙල් ගෑමට පෙර දිනයට ගන්නා නියමිත ඖෂධය දෙපතුලට තබා ගැනීමත් උදාවන දිනයේ ඖෂධය හිස මත තබා ගැනීමෙනුත් සිදුවන බව පැවසිය හැක.

මෙවර හිසතෙල් ගෑමේ සුබ මුහූර්තය උදා වී තිබෙන්නේ 2021 අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්ව භාග 7.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බවයි. නුග රසයෙන් කෂාය වන අතර, ගුණයෙන් ගුරු සහ රූක්ෂ වෙයි. වීර්යයෙන් ශීත වන අතර, විපාකයෙන් කටුක වෙයි. දෝෂ අනුව සැලකීමේදී සෙම් හා පිත් සමනය කරනු ලබන අතර, සෙම් පිත් රෝග වලදී විශේෂයෙන් යොදනු ලබයි. මේ නුග පිළිබඳව ආයුර්වේදයේ ද්‍රව්‍ය විඥාණයේ දක්වා ඇති කෙටි අදහසකි.

හොඳින් වැඩෙන වනස්පති කුලයට අයත් මෙම රුක්ෂය විවිධ වර්ගවලින් දක්නට ලැබේ. සුජාතා සිටු දියණිය විසින් ගෞතම මහා බෝසතාණන් වහන්සේට කිරිපිඬු පිළිගන්වන ලද්දේ ද අජපල් නුග රුක්ෂය මුලදීය. හින්දු කෝවිල් අසල ද මෙකී නුග රුක්ෂය බෙහෝ විට දක්නට ලැබේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද විවිධ පළාත්වල හොඳින් වැඩෙන අතර, ඇතැම් පුරාණ ඇදුරෝ සෙනසුරු අපල සමනය සඳහා මෙම වෘක්ෂයට පහන් තැබීමට ද ඒ ආශ්‍රිතව කපුටු දාන තැබීම ද වර්තමානයේ පවා උපදෙස් දෙති.

කරඳ වෘක්ෂය ද පුරාණ කාලයේ පටන්ම දේශීය චිකිත්සාවේ විශිෂ්ටතම ඖෂධයකි. සෙම්, මේදස්, ගුල්ම චර්ම, විෂ ක්‍රිම්රෝග, රක්ත ශෝධක, වෘණ ශෝධක, ආම අතීසාර වැනි රෝග ගණනාවක් නසයි. උග්‍ර නාග විෂට නෂ්න යොදන ප්‍රබල ඖෂධයකි. එමෙන්ම දැහැටි දණ්ඩ ඖෂධයක් වශයෙන් ජනතාවට හුරු පුරුදු ඖෂධයකි. අදත් බොහෝ පලාත්වල පිරිත් දේශක භික්ෂූන් වහන්සේලා උදේ පාන්දර දැහැටි වළදා මුඛ සෝදනයට මෙම කරඳ උපයෝගි කර ගනී. සාමණේර බණ දහම් පොතේ ද දින චර්යාවේ සඳහන් කර ඇති ආකරයට අරුණට පළමුව දැහැටි වලඳා යනුවෙන් සඳහන් කර ඇත්තේ පාන්දර අවධිවන අපේ මුතුන් මිත්තෝ ගිහි පැවිදි සමාජයේ මෙකී දැහැටි දඬු මුව සේදීම සඳහා උපයෝගී කරගත් බවයි.

හිසට හා පයට මෙසේ ඖෂධ දෙකක් උපයෝගී කර ගෙන හිසතෙල් ගෑම පිළිබඳ විද්වත්හු විවිධ මත දරති. හිසේ පටන් පයේ දසැඟිලි දක්වා පවතින අට අනූවක් රෝග අතුරු ආන්ත්‍රා පහව ගොස් සූර්ය සංක්‍රාන්තියෙන් පසු උදාවන නව වසර ගතට සිතට සුවය දී දීර්ඝායු වින්දනය වේවායි පතන සුබ පැතුමක් ද මෙහි අන්තර්ගත වනු ඇත. ගමේ නගරයේ සියලු පොදු ජනතාවගේ සාමග්‍රිය ද හිසතෙල් ගෑමේ උත්සවයෙන් ගම්‍ය වේ. කුල මල භේදවලින් තොරව එකට එකතුවන ජනතාව වැඩිහිටි ගෞරවය සුරකිමින් මෙම නව ජීවිතය සාර්ථක කර ගැනීම එදා මෙන්ම අදත් හෙටටත් ඉතා වැදගත් සුවිශේෂී චාරිත්‍ර ධර්මයක් බව සඳහන් කළ හැක.

 

ඡ්‍යොතිෂවේදිනි

මෘදුකාංග ඉංජිනේරු

හසලක

හර්ෂණී විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.