කොහොඹා කංකාරියේ උපත

අප්‍රේල් 23, 2021

රෝගාබාධ දුරලා සුවය ලබා ගැනීම, දෙවියන් පුදා යහපත ළඟා කරගැනීම සශ්‍රීකත්වය පතා ආදි කල සිට කොහොඹා කංකාරිය නැටීම චාරිත්‍රයකි. එදා මේ රාත්‍රී කීපයක් එක දිගට නැටූ බව මෙයින් පෙනී යයි. කොහොඹා කංකාරිය ගැන ලිය වී ඇති ශාස්ත්‍රීය පොත්පත් කීපයක් ඇත. චාර්ල්ස් ගොඩකුඹුරේ පළ කළ කොහොඹා කංකාරිය ග්‍රන්ථය, ඒ ගැන දීර්ඝ හැඳින්වීමක් හා කංකාරියේ කවි පෙළ ඉදිරිපත් කරයි.

 

මේ කංකාරිය හතර කෝරළේ ආරම්භ වී ඇත. එහි රංග සම්ප්‍රදායන් ද හතර කෝරළෙන් ඇරඹී පැතිර ගොස් ඇත.

කොහොඹා කංකාරියේ කතාව අනුව මේ කතාවට පසුබිම් වූ සිද්ධිය විජය රජුගෙන් පසු රජ වූ පඬුවස් දෙව් රජුගේ කාලයට වැටෙයි. එහි කතා පුවත විජය රජු විසින් අත්හළ කුවේණි හා ඇගේ දරු දෙදෙනාගෙන් ඇරඹෙයි. ආර්ය කුමාරිකාවක් ගෙන ඒමට විජය රජු කුවේණි හා දරු දෙදෙන නෙරපයි. ඇගේ නෑයෝ ඇයට පහර දෙති. දරු දෙදෙන ශ්‍රීපාද අඩවියට පලායති. කුවේණි විජයට ශාප කරමින් වෛරයෙන් මියයයි. තද වෛරය නිසා ඇය දිවිදෙනක් වී උපදියි. පඬුවස් දෙව් රජ වූ පසු දිවිවෙස් ගත් කුවේණි ඇගේ දිග දිවි දිව ඈතට දිගු කොට පඬුවස් දෙව් රජුගේ යහන වෙත යොමු කරයි. කුවේණිගේ දිවි දෝෂයෙන් පඬුවස්දෙව් රජුට නින්ද නොලැබෙයි. මේ දිවි දොස් දුරලීමට සක්දෙවි මැදිහත් වෙයි. රාහු ඌරු වේශයක් මවාගනියි. මළල රජ කුමාරවරු තිදෙනාගේ උයනට ඌරු වෙස්ගත් රාහු පැන උයන වනසයි. මළල කුමාරවරු ඌරා ලුහුබඳිමින් ලංකාවට පැමිණෙති. ගන්නෝරු කැලේ දිවි දොස් කන්දේදී ඌරා අතුරුදහන් වෙයි. මළල කුමාරවරු රජුට සෙත්පතා දිවි දෝෂය දුරලති.

මළල කුමාරවරුන් මැදිහත්ව දිවි දොස් දුරලීමේ කතාව කුවේණි අස්න, සිහබා අස්න, රාජාවලිය, මළල කතාව, විජය රාජ කතාව වැනි පසුකාලීන ග්‍රන්ථවල වඩ වඩාත් අතුරු තොරතුරු එකතු වී රසවත් අද්භූත කතාවක් ලෙස එයි. දිවි දොස් කතාවේ හරය පඬුවස්දෙව් රජු යුගය වන විට වැලඳී පැතිර ගිය වසූරිය වැනි දරුණු බෝවෙන රෝගයක් මැඬලීමට කළ ශාන්ති කර්මයකි. වසූරිය වැලඳුණු විට ඒ දිවි දෝෂයක් ලෙස සැළකූ බව හැඟෙයි. මෙහිදී කොහොඹා දෙවි ප්‍රධාන දෙවියන් යැද පුද පූජා තබමින් යක්කම් නටයි. එසේම කංකාරියට ලංකාවේ විසිර සිටි වැද්දන්ට ආරාධනා කොට කැඳවයි. ඒ අනුව රට මැද හන්තාන, බෝගම්බර, හුන්නස්ගිරිය වැදි ජනාවාස බව පෙනී යයි. කිළි කුණුවලින් ඈත් ව ඉතා පවිත්‍රව නැට්ටුවෝ කංකාරිය රඟ දක්වති. උඩරට නැටුමේ අංග සම්පූර්ණ වෙස්නැටුම් කට්ටලය මුලින්ම භාවිතා කළේ කොහොඹා කංකාරියටයි. මේ කට්ටලයෙන් සැරසුණු නැට්ටුවා අතිශය ප්‍රෞඪ පෙනුමක් ගනී. ඒ කොහොඹා දෙවි නැත්නම් පායන හිරුගේ සංකේතයකි. 1915 යළි අරඹන විට ඒ වනතුරු කොහොඹා කංකාරියට සීමා වී තිබූ උඩරට වෙස් නැටුම මහනුවර ඇසළ පෙරහරට එකතු කළේ නුගවෙල දියවඩන නිළමේතුමා ය. කලක් යනතුරු ඒ පිළිබඳ විරෝධතා තිබී පසුව ඒවා යටපත් විය.

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

එස්. කේ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.